වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
අරුම පුදුම ලෙස නෙළූ උපුල්වන් ශ්‍රී විෂ්ණු දෙව්රුව
ඇයි මේ මිනිස්සු වැල්ලට දුවන්නෙ කියා ඇසුවේ. පන්සලේ සිටින උපාසක මහතාය.
ඔව් මාත් මේ ඒ ආරංචියට වැල්ලට යනවා කීවේ සුගතන් මුදලාලීය. ඈත මුහුදෙන් විශාල කොටයක් රැල්ලත් සමඟ වෙරළට එනවා කියනවා බලන්න යනවා කීවේ යමින් සිටි යදෝනිස්ය.
ඒ නිසාම තිදෙනාම මුහුදු වෙරළට ගියේ ඒක දැක බලාගැනීමටයි.
ආ අන්න කොටය පාවෙනවා. මේක නම් මහ පුදුමයක් මේ විශාල කොටයක් කොහොමද ඈත මුහුදට ගියේ යැයි කීවේ උපාසක මහතා ය.
ඒ කතාවට එක් වෙමින් එතනට ආ පන්සලේ කපු මහතා මේ කොටයේ මොකක් හෝ ගුප්ත බලයක් ඇති බවයි පෙනෙන්නේ බලන් ඉන්න කොටය රැල්ල පාරට වෙරළට එනව ගන්න යන කොට දියඹට යනවා තද රැල්ලකට අසුවෙන දෙයක් නැවත දියඹට යන්නේ නැහැ.
එයට පිළිතුරු දුන් උපාසක මහතා මම නම් කෙළින්ම කොටය දිහා බලන්නත් බැහැ. හරි පුදුම දෙයක් මේ වෙන්නෙ.
මේ ආරංචිය කන වැකුණු හැම කෙනෙක්ම මුහුදු වෙරළට ආවේ කොටය දැක බලා ගැනීමටයි. ඒ අතර සිටි ගම්මුලාදෑනි තැන කපු මහත්තයෝ උපාසක මහත්තයෝ මේ කලබගෑනිය ගැන අපි රජතුමාට දැන්විය යුතුයි. නැත්නම් විශාල දොසක් එන්න පුළුවන්. ඒ කීම අනුව පිරිස එවකට දෙවුන්දර රාජශි‍්‍රයට පත්ව සිටි දා පුළුසෙන් රජුට මේ බව සැළ කර සිටියහ. රජු පුරෝහිත හා රාජ පුරුෂයන් සමඟ වෙරළට සැපත් විය. ඈත මුහුදේ පාවෙමින් තිබූ කොටය දුටු රජු මුහුදු වෙරළට බැස කොටය දෙස බලන විට රැල්ලත් සමඟ ආ කොටය රජතුමා සිටි ස්ථානයේ ඉදිරියේ නතර විය. ඉන් පුදුමයට පත් රජතුමා පන්සලේ කපු මහතාගෙන් මේ කොටය කුමක්දැයි විමසීය.
එයට බැගෑපත්ව පිළිතුරු දුන් කපු මහතා මේ කිහිරි කොටයකි. රජතුමනි, මෙහි මොකක් හෝ හාස්කමක් ඇතැයි ද කීය. මහා පෙරහරක් පවත්වන්නැයි කී රජතුමා පෙරහරෙන් කිහිරි කොටය දෙවුන්දර පන්සලට වඩමවාගෙන ආවේය. එය දෙවිනුවර දේවාලයේ තැන්පත් කරන ලදී. එසේ තැන්පත් කරන ලද කිහිරි කොටයෙන් දෙව්රුවක් නෙළන ලෙස නියෝග කළ රජතුමා දෙවිනුවර වටා අණබෙරයකින් දන්වා සිටීමට නියෝග කළේ දක්ෂ වඩුවන් සිටී නම් දෙව්රුවක් නෙළීමට පැමිණෙන ලෙසයි. ඒ අනුව කියත් මිටි නියන් හා යතුකැට රැගෙන වඩු බාස්වරුන් රජමාළිගයට පැමිණ රජතුමාට පවසා සිටියේ දෙව්රුව නෙළීමට තම තමන් සූදානම් බවයි. ඒ අනුව කිහිරි කොටය ළඟට ගිය සෑම වඩුවෙක්ම නැවත පැමිණ පවසා සිටියේ දෙව්රුව නෙළීමට තමන්ට හැකියාවක් නොමැති බවයි. එක් වඩුවෙක් සඳහන් කළේ කිහිරි කොටයට කියත ළං කරන විට කාන්දමක් මෙන් කියත ඇලෙන බවයි.
මෙසේ තම තමන්ට වූ දේ කියමින් රජතුමා අසල වඩුවන් සිටින විට වයෝවෘද්ධ කිලිටි සරමක් පමණක් ඇඳ සිටි කියතක් හා මිටියක් ද නියනක් ද මල්ලක දාගෙන පැමිණි වඩුවකු තමන්ට දෙව්රුව නෙළීමට හැකි බව පැවසුවේය. ඊට විරුද්ධ වූ එහි සිටි වඩු බාස්වරු කියා සිටියේ රජතුමනි මෙවැනි වයසක අයකුට එය කළ නොහැකි බවත් මොහු මෙම ප්‍රදේශයේ කෙනකු නොවන බවත්ය. වඩු බාස්වරුන්ගේ විරුද්ධත්වය මැද ඔහු දිගින් දිගටම රජතුමාගෙන් ඉල්ලා සිටියේ දෙවිරුව නෙළීමට තමන්ට ඉඩ ලබා දෙන ලෙසයි. ඔහුගේ ඉල්ලීම ගැන කල්පනා කළ රජතුමා දෙව්රුව නෙළීමට ඔහුට අවසර ලබා දුනි.
රජ අණින් දෙව්රුව නෙළීමට සූදානම් වූ එම වඩුබාස් රජතුමාගෙන් ඉල්ලා සිටියේ අවසර දේවයන්වහන්ස මේ දෙව්රුව නෙළීමට නම් වටතිර ඇද කිහිරි කොටය කිසිවකුටත් නොපෙනෙන ලෙස ආවරණය කළ යුතු බවත් මෙහි කිසිවකු නොසිටිය යුතු බවටත් ය. දෙව්රුව බැලීමට පසුදින උදෑසන සැපත්වන ලෙසත් ඔහු රජුගෙන් ඉල්ලා සිටියේ ය. රජුගේ නියමයෙන් වඩුබාස් කියූ පහසුකම් ඉටුකිරීමට නියෝග කළ පසු වඩු බාස් නික්ම ගියේ ය. වඩු බාස් දේවාලයට ගියේ දෙව්රුව නෙළීමටය.
පසුදින රාජපුරුෂයන්ද කැටිව දා පුළුසෙන් රජු දේවාලයට සැපත් වූයේ දෙව්රුව දැක ගැනීමේ අටියෙනි. රජතුමාගේ පැමිණීම ඇසූ දේවාලයේ කපු මහතාත් විහාරස්ථානයේ උපාසක මහතාත් අවට වැසියන් කීප දෙනෙකුත් ඊට එක් වූහ. කපු මහතා දේවාලයේ දොර හැර කිහිරි කොටය තිබූ ස්ථානයට ගියේ ය. රජතුමා ඇතුළු පිරිසද ඒ සමඟ වූහ. පුදුමයකි දෙව්රුව නෙළා අවසන් කොට ඇත. වඩුවා පෙනෙන තෙක් මානයකවත් නැත. දොරගුළු ලා තිබූ දේවාලයෙන් ඔහු පිටව ගියේ කෙසේද දෙව්රුව නෙළු කොටයේ ලී කෑලි, ලී කුඩු හෝ කිහිරි කොටයේ කිසිවක් ඉතිරි කර නැත. මේ උපුල්වන ශ්‍රී විෂ්ණු දෙවිඳුගේ පිළිරුවයි. රජු දෙව්රුව දෙස බැලීය. එවේලේම රජුට සිහිසුන් විය. වහාම පුරෝහිත ඇතුළු පිරිස රජුට පිරිත් පැන් ඉසීමෙන් රජු සුවපත් විය. එහිදී රජු ඉදිරියට පැමිණි කපු මහතා පවසා සිටියේ රජතුමනි, මේ තේජවන්ත දෙවිරුව දිහා බැලිය යුත්තේ දෙවිරුවේ පහළ සිට ඉහළට බවයි. එසේ දෙවිරුව දිහා බැලූ රජතුමා දෙඅත් එක්කොට දෙව්රුවට වැඳ නමස්කාර කරමින් දන්වා සිටියේ වහාම පුද පූජා පැවැත්වීමට කටයුතු කරන ලෙසයි.
දෙව්රුව තැනූ වඩුරාළ සෙවූ නමුත් ඔහු ආගිය සලකුණක්වත් නොමැති වූයෙන් කපු මහතා ඇතුළු පිරිස එහිදී කියා සිටියේ ඒ පැමිණ දෙව්රුව නෙළා ඇත්තේ වඩුවකු නොව විස්කම් දෙවියන් බවයි.
දෙවිනුවර ඉතිහාසය හා ජනප්‍රවාදයේ බොහෝ තොරතුරු පවතී. ඒ කතාවන් අතර ඉන්දියාවේ සිටි පැමිණි ඊශ්වර දෙවියන්ගේ පුත්‍ර වූ කඳකුමරු පැදවූ ගල් පහුර ළඟා වී ඇත්තේ දෙවිනුවර සිංහාසන වැල්ලටයි. කඳකුමරු එදා මේ ලක් දෙරණේ සිංහාසන වැල්ලට පැමිණ ඇත්තේ ඊශ්වර දෙවියන්ගේ මහා බලගතු වේලායුධයද රැගෙනය. එම වේලායුධය අතැතිව ගිය කඳ කුමරු එය දුටුගැමුණු රජුට දෙන ලදී. එම වේලායුධය ගත් දුටුගැමුණු රජු විසින් කරනු ලැබූ සටනින් මහත් ජයක් අත්කර ගන්නා ලදී. මෙම ජයග්‍රහණයත් සමඟ දුටුගැමුණු කුමරු අනුරාධපුරයේ රාජශි‍්‍රයට පත්විය.
ක්‍රි.පූ. එකසිය හැටේදී පමණ කතරගම දෙවොල ඉදිකරවා කඳ කුමරුට එය භාරදෙන, පුදන තෙක් කඳ කුමරු දෙවිනුවර දේවාලයේ වැඩ සිට ඇති බවද ජනප්‍රවාදයේ පවතී. මෙම දේව නගරයට දෙවියන් ගොඩබැසීම පිළිබඳව පවතින කතා බොහෝ ය. දෙවිනුවර ෙඓතිහාසික භූමි ප්‍රදේශය රාජධානියක් බවට පත්ව ඇත්තේ ක්‍රි.ව. හයසිය තිස් නමයේදී රජ බවට පත් පළමු වන දප්ඵුල රජ සමයේ දීය. ලංකාරක්ෂක උත්පල වර්ණ දෙවියන්ගේ ප්‍රතිමාවක් මුල්වරට කරවා ඇත්තේ ද එම රජු විසිනි.
බත්තරමුල්ල පැලවත්ත
රාජපුර වෙද මැදුරේ
ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත් රාජපුර