කරුමයේ අරුමය

ජූලි 21, 2023

විශ්ව ශක්තිය පිළිබඳව සැමගේ අවධානය යොමුව ඇති සම⁣යෙක, දැනුවත්ව හෝ නොදැනුවත්ව වුවද අපද ඒ හා සමඟ සහසම්බන්ධව කටයුතු කිරීමෙන් ලබා ගන්නා ප්‍රයෝජන පිළිබඳව ඔබ වෙත කරුණු ගෙන හැර පෑම මේ ලිපියෙන් අපේක්ෂා කරේ.

විශ්වයේ සියලු සිදුවීම් රටාවකට සිදුවන බවක් සොබා දහම දෙස හොඳීන් විමසා බැලීමේදී අපටද දැකිය හැකිය.ඇතැම් පුද්ගලයන් එකම වරද කිහිප වර කරනු ලබන අවස්ථාවන් අපට බොහෝ විට දක්නට ලැබේ. එසේ වනුයේ ඔවුනට එවැනි සමාන අවස්ථාවන්ට ජීවිතේ වරින් වර මුහුණ දීමට සිදුවන බැවිනි. ඊට හේතුව කුමක්ද?

අතීත භාරතීය ඍෂිවරුන්ගේ දැක්මට අනුව, සසර ගමන චක්‍රානුකූල වූ බැවින් සෑම භවයකම සත්ත්වයෝ ඒකාකාරී රටාවක් ජීවිතය ලෙස අත්විඳී. වරින් වර එකම සංසිද්ධීන් විවිධ මුහුණුවරින් අවස්ථාවන් ලෙස පුද්ගලයන් අභිමුව ඉදිරිපත් වන අතර ඔවුන් එයට මුහුණ දෙන ආකාරය මත ඊළඟ අවස්ථාව වර්ධනය වේ.

මහා ඍෂි බුදුරජාණන් වහන්සේගේ දේශනානුකූලව මේ සංසාර චක්‍රය සිඳළිය යුත්තකි. ඒ සඳහා උන්වහන්සේ අප වෙත නිර්වාණ මාර්ගය පෙන්වා වදාළ අතර ආර්යාෂ්ඨාංගික මඟ හරහා මැදුම් පිළිවෙතින් ගමන් කර මේ සසර ගමන නිමා කරනට උන්වහන්සේ අප වෙත මඟ පෙන්වාලූහ.

සසර ගමන නිම කිරීමට පමණ කුසල් මෝදු නොවූ පෘතඞජනයින් වශයෙන් අප, ලද දිවිය සාරවත්ව ගත කිරීම සඳහා ඉදිරි ගමන් රටාව හඳුනා ගැනීමට පුරාණ සෘෂිවරුන් විසින් ප්‍රකාශිත වේදයේ දැක්වෙන රටාව හඳුනා ගැනීම වැදගත් වේ.

ජ්‍යෝතීර් විද්‍යානුකූලව උත්පත්ති මොහොතේ ග්‍රහ පිහිටීම් මත ගණිතමය ක්‍රියාවලියකින් ජෝතිර්වේදියා විසින් නිගමනය කරනු ලබන ගමන් රටාවක්, පුද්ගල ජීවිතය ආවරණය කෙරේ. ඒ අනුව ඉදිරි කාල පරිච්ඡේදයන් මේ ආකාර තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බව මෙන්ම ගත වූ කාල සීමාවන්වල මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුව තිබූ බවද නිර්ණය කිරීමට ජෝතිර්වේදියාට හැකියාව තිබේ.

ජ්‍යෝතීර්වේදියා ගත වූ කාල නිර්ණයේ වූ සිදුවීම්, පුද්ගල චර්යාවන්, හැකියාවන් හා ඒ ඒ පුද්ගලයාට ආවේණික විශේෂිත තත්ත්වයන් නිවැරැදිව ප්‍රකාශ කිරීමට සමත් වන්නේ නම්, එය ගළපා අනාගත තොරතුරු පිළි ගැනීමේ හැකියාව ග්‍රාහකයාට තිබේ.

ඉදිරියේදී කටයුතු උදාවන්නා වූ ආකාරය පිළිබඳව දැනුවත්ව මේ ගමන යාමේදී, පෙර සූදානම තුළ අනතුරුදායී තත්වයන් මඟහරවා ගැනීමට මෙන්ම උදාවන්නා වූ අවස්ථාවන් තමන්ට වාසිදායක ලෙස සකසා ගැනීමේ හැකියාව ද ජන්ම පත්‍ර තොරතුරු විග්‍රහයෙන් ලබාගත හැකය.

පුද්ගලයකු මෙලොවට බිහිවන විටම ඔහුට තම පරම්පරාවේ සියලු ගති ලක්ෂණ හා හැකියාවන් සහිත ශරීරයක් හිමි වේ. නමුත් අප විසින් ප්‍රයෝජනයට ගනු ලබන්නේ එම ශක්තියෙන් සියයට දහයකටත් වඩා අඩු ප්‍රමාණයක් බව විද්‍යාඥයන් විසින් තහවුරු කර තිබේ. එම 10% ට අඩු ප්‍රමාණය කර්මානුරූපීව විපාක දීමට ක්‍රියාත්මක වන්නා වූ කොටසයි.

අප විසින් ප්‍රයෝජනයට ගනු ලබන ශක්ති ප්‍රමාණය හා ඒවා විකසිත වන කාල වකවානු නිර්ණය කිරීමේ ක්‍රමවේදයක් ජ්‍යෝතිර්වේදයේ සඳහන්ය. ඒ ඒ පුද්ගලයාට අනුරූපීව කර්මය විපාක දීමට සැකසී ඇති ආකාරය හඳුනා ගැන්මට වාසනාවත් වන ග්‍රාහකයාට, අදාළ වත් පිළිවෙත්වල නිරත වීම මඟින්,පෙර පුණ්‍ය මහිමයන් ඉස්මතු කරවා,ජීවිතේ වඩාත් පහසුදායි හා ක්‍රමානුකූල කර ගැනීමේ හැකියාව පවතී.

මේ සංසාර චක්‍රයේ ගමන් ගන්නා අප අත්විඳීමට සිදුවන සියල්ලට මුහුණ දෙනුයේ සසර පුරුදු විලසය. ආයාසයකින් තොරව පිනට හෝ පවට නැඹුරු වනුයේ සසර පුරුද්දටය. ජීවිතේ අත්විඳීන කිසිවක් අහම්බයන් නොවේ. පෙර හමුව මුහුණ දුන් අවස්ථාවන් යළි යළිදු අප ඉදිරියේ මැවෙයි. ඒවාට අප මුහුණ දෙන ආකාරය මත ඉදිරිය තීරණය වේ. කිසි දින දැක නැති ඇතැම් පුද්ගලයන් දුටු වහාම බැඳී යනුයේ ද සසර මතකයටය. නිම කළ යුතු ගනුදෙනු සහිත නිසා ම අතීත භවවල හමුවූවෝ මෙවර ද හමුව සතුට දුක රැගෙන අප හා ඇවිද යන්නෝය.

ජන්ම පත්‍ර විග්‍රහයකින් ඉදිරි කාල වකවානුව ගත වන ආකාරය හඳුනාගත හැකි අතර සිදුවන ක්‍රියාවලීන්වල රටාව තම දියුණුව උදෙසා බලගැන්වීමේ ලා විශ්ව ශක්තිය ඉවහල් කරගත හැකි ආකාරය අපට බුද්ධ දේශනාවෙන් උකහා ගත හැකිය. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මය ජීවිතයට ගළපා ගැනීම මඟින් ලද දිවිය සාර්ථක ගැනීම පිණිස නිති පන්සිල් පොහොය අටසිල් සුරැකීමේ පි⁣ළිවෙත සපුරා සහනශීලී පවුල් පරිසරයක් ගොඩනඟා ගැනීමට මෙන්ම දානමානාදී පුණ්‍ය කටයුතුවල නිරත වීම තුළ තමාට තිබෙනවාය කියන හැඟීම මතුවීම නිසා ධනාත්මක චින්තන රටාවට හුරු වීමෙන්, ග්‍රාහකයාගේ ජීවිතය සාර්ථක කර ගැනීමට උදාවන අවස්ථාවන් සකසා ගත හැකිය

චේතනාව විසින් කර්මය ගොඩනඟන බව බුද්ධ දේශනාවේ සඳහන් ය. ඒ අනුව වචනය හෝ ක්‍රියාව ඉක්මවා සිතුවිලි බලවත් වන බව පැහැදිලි ය. සිතුවිලිවල බලය පරිපූර්ණ වූ විට හැඟීම් ලෙස ක්‍රියාත්මක වේ. හැඟීම් ඉතා ප්‍රබල ය. එ සංවේදී ය . සිතුවිලි හැඟීම් බවට පරිවර්තනය වනුයේ එක්තරා මානසික තලයකදීය. ඒ දැහැන්ගත වීමකි. ධ්‍යාන මට්ටමේ දී සිතුවිලි කර්මය බවට සකස් වේ. ධනාත්මක චින්තනය ක්‍රියාත්මක වනුයේ මෙවන් තත්ත්වයක් යටතේ ය. ප්‍රබල අවශ්‍යතාව හැඟීමක් බවට පත්වී චිත්තරූප මැවීමේ ක්‍රියාවලිය සිදු වේ. ඒ සඳහා දැඩි විශ්වාසයක් අවශ්‍ය වේ. පවරනු ලබන වත්පිළිවෙත් නිසියාකාරව ඉටු කිරීම හා ධාර්මික චර්යාව අනුව ඇතිවන විශවසනීය මනෝභාවය තුළින් ගොඩ නැගෙණ නොවෙනස් හැඟීම් මත වාසනාවත් කර්ම පථයක් සැකසෙනු ඇත. නොඑසේ නම් පූර්ව පුණ්‍ය ශක්තීන් වර්තමාන කර්ම පථය කරා ආකර්ෂණය වනු ඇත.

ග්‍රහ තාරකාවන්ට කුමක් කළ හැකි දැයි වරෙක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර ඇත. එය එලෙසම ය. ග්‍රහ තාරකාවන් වෙතින් මඟ හඳුනා ගන්නා ග්‍රාහකයාට බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ක්‍රමවේදයට අනුව ගමන් කර, ඒ උතුම් නිවන් සුව හෝ ලෞකික ජීවිතය සැපවත් කර ගැනීමට අදාළව අනාගතය සකස් කරගත හැකි බව සඳහන් කරනු කැමැත්තෙමි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.