වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
අපේ විද්‍යාව මිත්‍යාවක්ද?
මිනිස් සම්භවය සිදුවූදා පටන් අද දක්වාම පරිසරය ජයගැනීම පිණිස මිනිසා විසින් අඛණ්ඩව කරගෙන එනු ලබන ගවේෂණයන් ගේ ප්‍රතිපල ‘දැනුම’ නමින් නැවතත් චක්‍රීයව, මිනිසා සහ සොබාදහම අතර පවත්නා නිරන්තර අරගලයේ දී මිනිසාගේ අවි ආයුධ බවට පත්වෙයි. මේ දැනුම සහ ඒවා සොයා යන ‘ක්‍රමවේදය’ විද්‍යාව ලෙසින් පරපුරෙන් පරපුරට රැගෙන ආ මිනිසා විසින්ම විටෙක එය මිනිස් වර්ගයාගේ උන්නතිය පිණිසත්, තවත් විටෙක විනාශය අත්කරදීම සඳහාත් උපයෝගී කරගනිමින් සිටියි. මේ ද්විරූපී උපයෝගීතාවයේ සමබරතාවය බිඳෙමින් පවතින යුගයක, සමස්ත ලෝක ඉතිහාසයේ මුල් වරට ගුවන් යානාවක් නිර්මාණය කළා යැයි කියවෙන පරපුරකට උරුම කම් කියන ශ්‍රී ලාංකික වූ අප විසින්ම ගර්හා පෙරදැරිව නොසලකා හළ ‘අපේ විද්‍යාව’ පිළිබඳ තොරතුරු අතරින් පතර පුරුක් අහිමි වූ දම්වැලක් සේ පෙළගස්වා ගන්නට අපට හැකිවෙයි. ඒ අහිමි වූ පුරුක් සොයා සපයා ගන්නට ඔබට කෙරෙන විවෘත ආරාධනයකි මේ.
විද්‍යාව ලෙස අද අප හඳුන්වන සියල්ල ශ්‍රී ලංකාවේ ඉපැරණි මුතුන්මිත්තන් විසින් හැඳීන්වූයේ ‘කලාව’ ලෙසිනි. කලාව යන වචනය ඇසු සැණින්ම ගොක්කොළ, තොරණ, දවුල් තම්මැට්ටම්, නැතහොත් මූර්ති හෝ චිත්‍ර මනසින් මවාගන්නා අපි ‘සිවුසැට කලාවට’ අයත් විෂයයන් 64ක් වූ ශිල්ප ශාස්ත්‍රයන්ගෙන් හඳුන්වනුයේ මොනවාද යන්න සිතීමට පවා උත්සුක නොවෙමු. අද පවතින ‘විද්‍යාවට’ අයත් විෂයයන් බොහොමයක් අක්ෂරය, ලිඛිතය, ගණිතය, ගාන්ධර්වය, මන්ත්‍රය, තන්ත්‍රය යනාදී විවිධාකාරී නම් වලින් යුතුව ඒ සිව්සැට කලාව තුළ සැඟවී විද්‍යාව සොයා බටහිරට ඇදී යන ශ්‍රී ලාංකික දූ පුතුන් දෙස කඳුළු පිරි දෙනෙතින් බලා සිටිනවා වැනිය. ආදි ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපන විෂය ධාරාව වූ සිව්සැට කලාවට ‘ආකාස ගමනය’, ‘අදෘශ්‍යකරණය’, ‘පරකාය ප්‍රවේශණය’ වැනි විෂයයන් ඇතුළත් වී ඇත්තේ කෙසේදැයි අඩුම තරමින් විමසා බලන්නටවත් උත්සුක නොවන්නට තරම් අපි අප පිළිබඳව හීන මානයකින් පෙළෙන්නෝ නොවෙමුද?
අපේ විද්‍යාවන් අතර දේශීය වෛද්‍ය විද්‍යාව, දේශීය තාරකා විද්‍යාව, දේශීය ගෘහ නිර්මාණ විද්‍යාව, දේශීය කෘෂි විද්‍යාව, දේශීය වාරී කර්මාන්ත විද්‍යාව, දේශීය ආර්ථික විද්‍යාව, දේශීය දේශපාලන විද්‍යාව මෙන්ම දේශීය අධ්‍යාපන විද්‍යාව යනාදී වූ විවිධාකාර ශාස්ත්‍ර ගණනාවක් වෙයි. මේ සෑම එකක් සඳහාම බටහිරට අයත් විවිධ සමාජ සංස්කෘතීන් තුළ බිහිවූ ඒ හා සමාන විද්‍යාවන් අප වෙත ආරෝපණය කෙරුණු අතර ක්‍රමවත් නිරීක්ෂණයක් හෝ නව අත්හදාබැලීම්වලින් තොරවම අපි විසින් ඒවා පවත්වාගෙන යනු ලබමින් සිටිමු.
මෙහිලා මා මතුකොට දක්වන්නට අදහස් කරන ‘අපේ විද්‍යාව’ අද පවතින මේ සංකීර්ණ සමාජ රටාවට අන්තර්ග්‍රහණය කළ නොහැකිය යන්න නැඟෙන එක් තර්කයකි. එය සත්‍යයකි. අපේ විද්‍යාව පමණක් නොව වෙනත් ඕනෑම විද්‍යාවක් කාලානුරූපීව වැඩි දියුණු කළ යුතුවේ. එසේ වැඩිදියුණු නොකළේ නම් ‘නවීන විද්‍යාවද’ තොම්ප්සන්ගේ පරමාණුක ආකෘතියෙන් ඩබ්බට ගමන් නොකරනු ඇත. එසේ වූවා නම් අද අපට ‘ඩිජිටල් තාක්ෂණයේ’ හෝ ඉන්ටර්නෙට් ජාලයේ සුව පහස විඳීන්නට නොලැබෙනු ඇත. අවාසනාවකට මෙන් අපද නවීන විද්‍යාවේ ප්‍රගතියට දරදිය ඇද්දේ ‘අපේ විද්‍යාවට’ අලංකාර කෞතුකාගාරයක් තනන අතර වාරයේය.
ඉපැරැණි ශ්‍රී ලාංකික වෛද්‍ය විද්‍යාව
ඉපැරණි ශ්‍රී ලාංකිකයන්ගේ වෛද්‍ය විද්‍යාව යනු භෞතික, රසායන හා ජීව යන ත්‍රිවිද්‍යාවන් සහ තවත් අතුරු විද්‍යාවන් ගණනාවක සංකලනයකි. ගැටලුවකට ඇත්තේ අද පවතින නවීන විද්‍යාවට අයත් මානයන්ගෙන් වටහාගත හැකි දෘශ්‍යමාන දේ පමණක් ගෙන තක්සේරු කිරීමට සිදුවී තිබීමයි. එසේ අසත්‍ය යැයි බැහැර කෙරෙන කොටස්වල සත්‍යතාවය හඳුනාගැනීමට තරම් නවීන විද්‍යාව දියුණු වන යුගයක් පැමිණිය හැකි නමුදු ඒ වන විට යට කී විශිෂ්ට විද්‍යා ශාස්ත්‍රයන් සදහටම අප අතරින් තුරන් වී තිබිය හැකිය.
ශ්‍රී ලාංකිකයන්ගේ පුරාණ වෛද්‍ය විද්‍යාවේ එක් අංගයක් වන ශාන්තිකර්ම වල එන විස්තරවලට අදාළව මිනිසාට ඇතිවන ආපදාවල වර්ගීකරණය විමසා බලන්නෙකුට බටහිර වෛද්‍ය විද්‍යාව මඟින් විසඳුම් ලබාදිය හැක්කේ මේවායින් කොතරම් සුළු ප්‍රමාණයකටද යන්න වටහා ගැනීම අසීරු නොවේ.
අපේ පාරම්පරික වෛද්‍ය විද්‍යාව තුළ මූලික වශයෙන් මිනිසාට ඇතිවන ආපදා වර්ග හතරකින් දක්වා තිබේ. එනම් ‘රෝග’ ‘ව්‍යාධි’ ‘අන්ත්‍රා’ සහ ‘දෝෂ’ වශයෙනි. මේවායින් රෝග යනු ශරීරය තුළ හටගන්නා අසමතුලිතතාවයන්ය. ඒවා වාත රෝග අසූවකටත්. පිත් රෝග හතළිහකටත්, සෙම් රෝග විස්සකටත් බෙදා වෙන්කර ඇත. තවත් වර්ගීකරණයකට අනුව රෝග අනූ අට ආකාරයකට බෙදා ඇත.
‘ව්‍යාධි’ යනු පිටතින් සිරුරට ඇතුළුවන රෝගකාරක හේතුවෙන් ඇතිවන කායික අසමතුලිතතාවයන්ය. මෙවැනි ව්‍යාධීන් අනූ නමයක් පිළිබඳව සඳහන්වේ. මේ අතර මිනිසාට පරිසරය තුළ දිවි ගෙවීමේදී මුහුණ පාන්නට සිදුවන්නේ ‘අන්ත්‍රා’ වලටය. මේවා ආකාර දෙසිය තුනකි.
මෙසේ ඉහත කී රෝග, ව්‍යාධි සහ අන්ත්‍රා යන්න බටහිර වෛද්‍ය විද්‍යාවේදී හමුවන ආපදාවන් හා සමපාත වන අවස්ථා සුලබය. එහෙත් ‘දෝෂ’ යනු බොහෝ විට බටහිර වෛද්‍ය විද්‍යාව මඟින් පිළිතුරු ලබා නොදෙන ආපදාවන් ලෙස සැලකිය හැකිය. නම් වශයෙන් සඳහන් කරතොත් ‘ග්‍රහ දෝෂ’, හින්දෝෂ, තිථි දෝෂ, නක්ෂත්‍ර දෝෂ, ඇස්වහ, කටවහ, හෝවහ දෝෂ, ඇවොල් දෙවොල් හදි හූනියම් දෝෂ සහ කල් කර්ම, අකල් කර්ම ... යනාදී වශයෙන් මේවා විවිධාකාරය. මිත්‍යාවන් ලෙස බටහිර විද්‍යාව උගත්තවුන් ගේ ගර්හාවට ලක්වන්නේද මේ වර්ගීකරණයට අයත් ආපදාවන් වේ. එසේ අවඥාවට ලක්වන්නේ නිවැරදි විග්‍රහ කිරීමක් නොමැතිවීමත් ඇතැම් අවස්ථාවාදීන් විසින් වාණිජ පරමාර්ථයෙන් යුතුව සමාජගත කර ඇති අපේ විද්‍යාව විශ්වාස කිරීමට අප තුළ ඇති මැළිකමත් නිසාය.
ග්‍රහ වස්තූන්ගේ විකීරණ ශක්තියෙන් මිනිස් ශරීරයේ සහ මනසේ සමතුලිතතාවයට හානි පැමිණීම ‘ග්‍රහ දෝෂ’ ලෙස අප පැරැන්නෝ හැඳීන්වූහ. නවීන සමාජය තුළ දැඩි ලෙස සමච්චලයට ලක්වන මේ පිළිබඳ ‘අපේ විද්‍යාව’ බටහිර ලෝකයේ ඉතා වටිනාකමකින් යුතුව සලකන තාරකා ශාස්ත්‍රය (ඒඵබපධතධඨර) සේම විශ්වය සහ ග්‍රහ වස්තූන් පිළිබඳව වූ විෂයයක් වුවද එමඟින් පිරික්සා නොබැලෙන ක්ෂේත්‍රයන් රැසක් විමසා බැලෙන ඉතා සූක්ෂ්ම වූ විද්‍යාවකි. සාමාන්‍ය ජනතාවට ග්‍රහණය කරගැනීමට පහසු කරවීම සඳහා සම්ප්‍රදායික ඇදහිලි සහ විශ්වාස තුළට රිංගවා ඉදිරිපත් කර තිබෙන විද්‍යාත්මක නියමයන් හඳුනාගත හැක්කේ නවීන විද්‍යාව පිළිබදවද හසළ දැනුමක් ඇති නිවහල් මනසකින් යුතු ප්‍රඥාවන්තයෙකුටම පමණි.
ග්‍රහවස්තූන්ගේ විකිරණ ශක්තියෙන් මිහිපිට වූ සත්ත්ව සහ ශාක සියල්ලට කෙරෙන බලපෑම ඉතා විශාලය. ඉතාම සරල උදාහරණයක් ලෙස ගත හොත් සූර්ය විකිරණයෙන් මුවා කර තැබෙන තෘණපත් දින කිහිපයකදී පැහැය වෙනස් වී මරණයට පත්වේ. සූර්යයාගෙන් කෙරෙන බලපෑම ඒ තරමටම විශාලය. මේ ආකාරයටම මිනිස් ශරීරයේ පැවැත්මට හා විනාශයට සූර්යයාගෙන් සිදුවන බලපෑම අති මහත්ය. එහෙත් පුදුමය වන්නේ සූර්යයා නමැති ග්‍රහ වස්තුවෙන් මිනිස් සිරුරේ සමතුලිතතාවයට කෙරෙන බලපෑම පිළිගන්නා අප සමාජය ‘රවි’ ග්‍රහයාගෙන් මිනිසුන්ට ඇතිවන ‘අපල’ නොපිළිගැනීමය. මේ දෙයාකාරය තුළ ඇති එකම වෙනස වන්නේ භාවිතා වන වචනවල වෙනස පමණි. ග්‍රහ වස්තූන් ගෙන් මිනිසාගේ සෞඛ්‍යයට කෙරෙන බලපෑම කායික සහ මානසික දෙයාකාරයෙන්ම සිදුවන බව ශාන්තිකර්ම පිළිබඳව අධ්‍යයනය කිරීමේදී පැහැදිලිවේ. උදාහරණයක් ලෙස චන්ද්‍රයා හා සම්බන්ධ දේ “ඹ්භදචප” නම් ඉංග්‍රීසි වචනයෙන් හැඳීන්වෙන අතර ‘ඹ්භදචජර’ හෝ ඹ්භදචබඪජ යනු මානසික රෝගය හැඳීන්වීමේදී යොදාගැනේ. එසේම ‘ර්ධධද’ යනු ඉංග්‍රීසියෙන් සඳ යන තේරුම ගෙනෙන අතර ‘ර්ධධද ඉබපභජඬ’ යනු මානසික රෝගය සඳහා යොදා ගන්නා වචනයකි. මේ මගින් සනාථ වන්නේ චන්ද්‍රයා සහ මිනිස් මනස අතර ඇති සබඳතාවයයි.
මේ කොයි ආකාරයෙන් බැලුවද ග්‍රහයින්ගේ බලපෑම අප ජීවිතවලට කෙතරම් සමීපද යන්න රහසක් නොවේ. පොහොය දිනය සහ ඇතැම් රෝගයන්ගේ ව්‍යාප්තියේ සම්බන්ධය විමසා බලන්නෙකුට ග්‍රහවස්තුන් සහ ජීවීන් අතර සම්බන්ධය පෙනී යා යුතුය. හිරුගෙන් බලපෑම් තිබේ නම්, සඳුගෙන් බලපෑම් තිබේ නම් අඟහරුගෙන්, බ්‍රහ්ස්පතිගෙන්, සිකුරුගෙන් හෝ සෙනසුරුගෙන් බලපෑම් නැතැයි සිතීම නොදන්නා කමේ ආදීනවයක් මිස අනෙකක් නොවේ. ඉහතදී සඳහන්කළ ආකාරයට බටහිර වෛද්‍ය විද්‍යාවේදී හිරුගෙන් සහ සඳුගෙන් සිදුවන බලපෑම් පිළිබඳ පමණක් අවධානය යොමුකර තිබුණද ඡ්‍යොතිෂ විද්‍යාවේදී මෙන් ග්‍රහයින් නව දෙනාගෙන්ම සිදුවන බලපෑම් සැලකිල්ලට ගත බවක් පෙනෙන්නට නැත. ‘ර්ධධද ඉබපභජඬ ‘ පිළිගන්නා අපි කේන්ද්‍රය තුළ ‘චන්ද්‍රයාගේ නීච වීම’ මිත්‍යාවක් ලෙස ගැනීමටත් පෙලඹී සිටිමු. මෙසේ වීමට හේතුවී ඇත්තේ බටහිරින් පැමිණෙන දේ කොන්දේසි විරහිතව පිළිගැනීමටත්, අපේ විද්‍යාව අවිශ්වාසයෙන් යුතුව බැහැර කිරීමටත් තුඩු දෙන අධ්‍යාපන ක්‍රමයකට අප වහල්වී සිටින නිසාය.
ශ්‍රී ලාංකික සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ රසායන විද්‍යාත්මක පක්ෂය ආයූර්වේදය මගින් සැපිරෙන අතර භෞතික සහ මනෝවිද්‍යාත්මක පක්ෂය ශාන්තිකර්ම සහ තොවිල් පවිල් යනාදියෙන් සපුරාලයි. එසේවුවද මේ දෙපක්ෂයම අන්‍යොන්‍ය සබඳතාවකින් බැඳී තිබේ. තොවිල් පවිල්වලදී රසායනික බෙහෙත් හේත් යොදා ගැනීමත්, අයුර්වේදයේ දී ශාන්තිකර්ම සමග එක්ව ප්‍රතිකාර කිරීමත් මේ දෙයාකාරය තුළ ඇති සමීප සම්බන්ධතාවයට සාක්ෂි දරයි. එබැවින් එකක් අනෙකෙන් සම්පුර්ණයෙන්ම වෙන්කොට විග්‍රහ කිරීම උගහටය.
රසායන විද්‍යාව පදනම් කරගත් ආයූර්වේදය තරමක් දුරට හෝ විශ්වාස කිරීමට අප සමාජය පුරුදුවී ඇත්තේ එය හා බටහිර වෛද්‍ය විද්‍යාව අතර ඇත්තේ බෙහෙත් ලෙස යොදාගන්නා අමුද්‍රව්‍ය සහ ඒවායේ භාවිතය පිලිබඳ වෙනස්කම් පමණක් විය හැකි බැවිනි. එසේවුවද භෞතික විද්‍යාත්මක පක්ෂය සලකන කල්හි බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ භාවිතය සහ ශ්‍රී ලාංකික පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ භාවිතය අතර විශාල වෙනසක් පෙන්නුම් කරයි. විවිධ නවීන යන්ත්‍ර උපකරණ භාවිත කරමින් බටහිර වෛද්‍යවරුන් කරන දෙයට සමාන වූ දෙයක් ස්පර්ශය, දේහලක්‍ෂණ, ශබ්ද තරංග, මෝහනය, පරිසරයේ ඇති සත්ව, ශාක හා ඛනිජ ද්‍රව්‍ය කොටස් උපයෝගී කරමින් ‘අපේ විද්‍යාව’ මගින් සිදුකෙරේ. යාතුකර්ම වශයෙන් සුළු වශයෙන් හෝ ඉතිරිවී ඇත්තේ එම විද්‍යාවයි.
මේ ආකාරයටම අනිකුත් ‘දෝෂයන්ද’ නවීන විද්‍යාවේ වපසරියට ඔබ්බෙන් හමුවන ඒවා වුවද සාර්ථක පරීක්ෂණයක් මගින් ‘විද්‍යාත්මකව’ සනාථ කළ නොහැකි එවා නොවේ. උදාහරණයක් ලෙස අයහපත් ග්‍රහ පිහිටීම් හේතුකොටගෙන ඇතිවන දෝෂ ‘තිථි නක්ෂත්‍ර දෝෂ’ ලෙස හැඳීන්වේ. අයහපත් ග්‍රහ පිහිටීම් නැතැයි කිසිවෙකුට කිව නොහැකිය. මේ ආකාරයටම අයහපත් චේතනාවෙන් යුතු අයෙකුගේ බැල්මට හසුවීමෙන් ඇස්වහ දෝෂ ද, එවන් අයෙකුගේ මුවින් පිටවන වචනයෙන් සිදුවන ‘කටවහ දෝෂ’ද එවන් අයෙකුගේ නපුරු සිතුවිලි හේතුවෙන් ‘හෝවහ දෝෂ’ ද ඇතිවේ. ඇවොල් දෙවොල් හදි හූනියම් යනු මේ මූලධර්මයන් පදනම් කොටගෙන සකස්කොටගත් ක්‍රමවේදයන් වන අතර සිතිවිලි තරංග, ශබ්ද තරංග ආදිය පිළිබඳ ගැඹුරු වැටහීමක් නැති අයෙකුට සැක උපදවන කාරණා ලෙස හැඳීන්විය හැකිය.
මන්ත්‍ර විද්‍යාව
පැරණි ශ්‍රී ලාංකිකයන්ගේ සිව්සැට විද්‍යාවන් අතර ඇති ‘මන්ත්‍ර ශාස්ත්‍රය’ ද ඒ හා සම්බන්ධ තවත් විද්‍යාවන් සමඟ නවීන සමාජය තුළ දැඩි ගර්හාවට ලක්වූ එකකි. එසේ වුවද එය ශබ්ද විද්‍යාවේ අග්‍ර ඵලයකි. ඇතැම් විට යුරෝපීයයන් ශාක වල ඵල දැරීම වැඩිකර ගැනීම සඳහා සංගීතය යොදා ගැනීම හෝ ප්‍රසිද්ධ සටන් නළුවෙකු වූ බ්රූස් ලී සිය කටින් නිකුත් කළ ශබ්දයක් පමණක් යොදාගනිමින් බළලෙකු මරා දැමීම වැනිදේ ශබ්ද තරංග විද්‍යාවේ වික්‍රමයන් ලෙස සැලකුවද ‘මන්ත්‍රයක්’ උපයෝගී කරගෙන රෝගයක් සුව කළ හැකි යැයි නවීන සමාජය පිළිගන්නේ නැත.
මන්ත්‍ර ශාස්ත්‍රයේ විද්‍යාත්මක පසුබිම පිළිබඳව ගවේෂණය කරන්නට යමෙක් පෙළඹේ නම් එයට රුකුල් දෙන සාධකද විරල නොවේ. ශබ්ද තරංගයක තරංග ආයාමය සහ නිපදවෙන ස්පන්දයන් අතර සම්බන්ධය මන්ත්‍රයක යොදා ඇති අක්‍ෂර, වචන සහ උච්චාරණය වැනිදේ සමග කෙසේ ගැළපී ඇත්දැයි සොයා බැලීමට හැකියාව පවතී. එසේම යන්ත්‍ර ඇඳීම සඳහා රන්, රිදී, තඹ සහ තුනතනාගම් වැනි ලෝහ තහඩු යොදාගැනීමට පැරැන්නන් පෙළඹුණේ නූතන අවර්තිතා වගුවේ සඳහන් ආකාරයට ලෝහවල අයනික ව්‍යුහය, ප්‍රතික්‍රියතාව වැනි ගුණාංගයන් පිළිබඳව දැනුමකින් නොව අහම්බෙන් යැයි සිතන්නට තරම් අපි කුහක නොවිය යුතු වෙමු.
ශබ්ද තරංග නොකඩවා වැදීමට සැලැස්වීමෙන් ආරෝපිත ලෝහ තහඩුව මත අඳීන ලද රේඛාවල ස්වභාවය අනුව අයන රටාව පෙළගස්වා ගෙන එම ලෝහ තහඩුව යම් ආකාරයක විසමවූ ශක්තීන් අවශෝෂණය කළ හැකි චුම්බකයක් බඳු වස්තුවක් බවට පෙරළීමට හැකියාව තිබේ යැයි අපි මොහොතකට උපකල්පනය කළහොත් ඒ ඒ රෝගයට අනුව, ඒ ඒ ග්‍රහ විකිරණ අවශෝෂණය කළ හැකි රේඛා රටාව (යන්ත්‍රය) සහ ශබ්ද තරංග රටාව(මන්ත්‍රය) තීරණය කිරීමට අපේ ඉපැරණි විද්‍යාඥයන් සමත්වූවා විය හැකිය. එසේම ලෝහයන්ගේ රසායනික සංයුතිය පිළිබඳවද ඔවුන් දැනුවත්ව සිටි බව සනාථ වන්නේ ඇතැම් වසංගත රෝග සඳහා තුත්තනාගම් (ඛඪදඬ) ලෝහ තහඩුවලින් සකසා ගත් යන්ත්‍ර පමණක් පලඳීන සේ මන්ත්‍ර ශාස්ත්‍රයේ උපදේශ ග්‍රන්ථවල සඳහන්ව තිබීමෙනි.
මේ ‘යන්ත්‍ර’ තාක්ෂණය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සිදුකර වර්තමානයේ භාවිත වන පරිගණක දෘඩාංග සේ නිර්මාණය කර රෝග නිවාරණය පිණිස වෙළඳපොළට යැවියහැකි යැයි යමෙක් පැවසුවහොත් එය අවඥාවෙන් බැහැර කිරීමට ඉක්මන් නොවිය යුත්තේ ඒ තුළ යම් සත්‍යයක සේයාවක්ද පැවතිය හැකි බැවිනි.
මන්ත්‍ර විද්‍යාව රෝගෝපසමනය සඳහා පමණක්ම යොදාගත්තක් නොවේ. ගොවිතැන, ගෘහ නිර්මාණ ශිල්පය මෙන්ම යුද්ධයේදීද මන්ත්‍ර විද්‍යාවේ සහය ලබාගන්නට පැරැන්නන් පුරුදු වී සිටියේ එය එතරම්ම ප්‍රයෝගික විද්‍යාවක් වන බැවිනි. පුරාණ රජවරුන් සිය යුධ හමුදාවට ‘පුලවරු’ නමින් යුත් මන්ත්‍ර ශාස්ත්‍රය උගත් පිරිසක් එක්කර ගත්තේ යුද්ධයක ජයග්‍රහණය වෙනුවෙන් මන්ත්‍ර ශාස්ත්‍රයෙන් ඉටුවන මෙහෙය ප්‍රත්‍යක්ෂව දැන සිටි බැවිණි.
සූක්ෂ්ම විද්‍යා
‘අපේ විද්‍යාව’ ට අනුව ඕනෑම ශිල්ප ශාස්ත්‍රයක් ‘සූක්ෂ්ම විද්‍යාවක්’ ලෙස වැඩිදියුණු කර තිබුණි. උදාහරණයක් ලෙස ‘කිරුම් මිනුම් ශාස්ත්‍රයේ’ උපයෝගීතාවය හුදෙක් වෙළෙඳ ගනුදෙනුවකට හෝ බෙහෙත් වට්ටෝරුවක මිශ්‍ර කිරීමේ අනුපාතය දැක්වීමට සීමා නොකර එය පරතෙරට හැදෑරූ විද්‍යාඥයන් සිටි බවට සාක්ෂි කෑගල්ලේ පිහිටි අප නිවෙසේ අදටත් තැන්පත්කොට ඇති අප මාපියන් පරපුරෙන් උරුමකොටගෙන රැගෙන ආ පුස්කොලපොත් රාශිය අතරින් හමුවෙයි. ‘විස වීදියේ පැන් බත් සිරිත’ නම් වූ මාතෘකාවක් සහිතව එහි එන විස්තරයන්ට අනුව කිසිදු වස විෂ මිශ්‍රවීමකින් තොරව පිරිසුදුව පිසූ බත් මුට්ටියකින් වුවද එහි නියම කර ඇති ප්‍රමාණය යමෙකුට අනුභව කිරීමට සැළස්වුවහොත් හෝ ඔහුටම යම් නියමිත ක්‍රමයට මැනගත් පිරිසිදු ජලය ප්‍රමාණයක් බීමට සැලස්වුව හොත් එම පුද්ගලයා මරණයට පත්කළ හැකියැයි සඳහන් වේ. එසේ වන්නේ කිසිදු වසක් විෂක් නිසා නොව මිනිස් සිරුරේ සමබරතාවයට හානි පැමිණීමෙන් යැයි අනුමාන කළ හැකිය. එසේ නම් එම ක්‍රමවේදය නිර්මාණය කළ පුද්ගලයා මිනිස් අහාර මාර්ග පද්ධතිය හෘදය අනෙකුත් ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය මැනවින් දන සිටි අයෙකු විය යුතුය. එම දැනුම උපයෝගී කරගනිමින් කිසිදු ඖෂධයක් භාවිත නොකර යම් රෝග සුව කිරීමේ හැකියාව ‘අපේ විද්‍යාඥයින්’ සතුව තිබූ බව එමගින් ප්‍රත්‍යක්ෂ වේ.
සූර්යයාගේ බලපෑම මෙන්ම සඳු, අඟහරු, බුධ, බ්‍රහස්පති, සිකුරු, සෙනසුරු වැනි ග්‍රහයන්ගෙන් සිදුවන බලපෑමද ‘අපේ විද්‍යාව’ මගින් සූක්ෂ්ම ලෙස හඳුනාගෙන තිබූ බව පෙනීයයි. ඒපිළිබඳව සාක්ෂි ලැබෙන ජෝතිෂ්‍ය විද්‍යාව ‘සාත්තරයක්’ කොට ඉවත දැමුවද ක්‍රමානුකුලව වැඩිදියුණු කළේ නම් ‘දඬුමොනර’ තාක්ෂණයද සමග එක්ව අභ්‍යවකාශ තරණය දක්වා ගමන්කිරීමේ අවස්ථාව ලැබෙන්නට ඉඩ තිබුණි.
ගෘහ නිර්මාණ විද්‍යාව
ගෘහ නිර්මාණ විද්‍යාවේ පරතෙරට පැමිණසිටි පැරැණි සැලසුම් කරුවෝ අප අවට අවකාශයේ ඇති ස්ථිතිවිද්‍යුත් බලරේඛා පිළිබඳ හසළ දැනුමක් ඇත්තෝ වූහයි සිතිය හැකි සාධක බොහොමයක් ඇත. නිවසක පියස්සේ පලදෙක අතර කෝණය මගින් වෙන්කෙරෙන අවකාශය තුළ ස්ථිති විද්‍යුත් බල රේඛාවන්ගේ චලනය එහි වෙසෙන මිනිසුන්ට කායිකව සහ මානසිකව බලපානු ඇතැයි සිතීම අනුවණ කමක් යැයි සිතීම සාධාරණ නොවේ. පිරමීඩයක් තුළ ‘මමියක්’ නරක් නොවී තබා ගැනීම සඳහා පිරමීඩයේ පියස්සේ කෝණය ද ඉවහල් වී ඇතිබවද කියැවේ. අප කුඩා අවදියේදී වැඩිහිටියන් රැවුල බාන ‘රේසර් තල’ මිලදී ගන්නාවිට කුඩා කාඩ්බෝර්ඩ් පිරමීඩයක් ද ඒ සමග ලැබුණි. ඒ භාවිත කළ රේසර් තල පිරමීඩය තුළ තිබෙන්නට සැලැස්වීමෙන් එවා නැවත ඉබේම මුවහත් වේ යැයි විශ්වාස කළ නිසාය. එය විශ්වාසයක් පමණක් වියහැකි වූවත් අවකාශයක කෝණය මගින් ඇතිවන ස්ථිති විද්‍යුත් බලරේඛා රටාවේ බලපෑමක් ඇත්නම් එවන් කෝණයක් සහිත පියස්සකින් යුත් නිවෙසක නිවැසියන්ට එමගින් යම් බලපෑමක් ඇතිවේයැයි සිතීම යුක්ති යුක්තය. නිවෙසෙහි වසන මිනිසුන්ට යහපත් බලපෑමක් සහිත කෝණයක් තෝරාගැනීම සඳහා අවශ්‍ය මූලික නිර්ණායකයන් අපේ පැරැණි වාස්තු විද්‍යාව තුළ අන්තර්ගතව ඇත. ඒ සියල්ල මුසාවන් ලෙස අත් හළ අපි යුරෝපීය හෝ වෙනත් රටවල වාස්තුවිද්‍යා සම්ප්‍රදායන්ට අයත්වූණ ’පෙට්ටි’ හෝ ‘සිලින්ඩර’ බඳුවූ ගෘහයන්ට වී වසරකට වැඩි දින ගණනක් රෝගාතුරව වාසය කරමු.
මේ ආකාරයට වහලේ කෝණය පමණක් නොව නිවෙස තුළ වායු සංසරණයට බෙහෙවින්ම උපකාරී වන කවුළු සංඛ්‍යාව තීරණය කිරීම පවා අපගේ ඉන්ද්‍රියයන්ට ග්‍රහණය නොවන විවිධ බලපෑම් සැලකිල්ලට ගනිමින් සකස්කොට ඇතැයි සිතීම යෝග්‍යය. එහෙත් ඇසට පෙනෙන දේ පමණක් සත්‍ය යැයි පිළිගන්නා අපට ඒ සූක්ෂ්ම විද්‍යාවන්ගෙන් කවර පලක්ද? උදාහරණයක් ලෙස වෘත්තාකාර ගොඩනැඟිලි විහාර ආරාම හෝ පොදු කටයුතු සඳහා වූ භාවිතයට මිස ව්‍යාපාර සඳහා යෝග්‍ය නොවන බව දේශීය වාස්තුවිද්‍යාවට අනුව ගොඩනැඟිලි නිර්මාණය කළ පැරැන්නන්ගේ විශ්වාසයයි. මෙයට පටහැනිව ව්‍යාපාර සඳහා ඉදිකළ වෘත්තාකාර ගොඩනැඟිලි බොහොමයක් අත්හැරදමා හෝ වෙනත් පොදු අවශ්‍යතා සඳහා යොදාගෙන තිබෙන අයුරු නිරීක්ෂණය කළ අවස්ථා රාශියකි.
පුරාණ ශ්‍රී ලාංකික ඉංජිනේරුවෝ
සීගිරි පර්වතය මුදුනට ජලය පොම්පකර ඒ මත අලංකාර ජාල තටාක තැනුවේ ඉපැරැණි ශ්‍රී ලාංකික ඉංජිනේරු විද්‍යාවේ බල මහිමයෙනි.ගලෙන්, මැටියෙන් හෝ දැවයෙන් එම නළමාර්ග සකස්කර තිබූ බවට පුරාවිද්‍යාත්මක සොයාගැනීම් සාක්ෂි දරයි. එතරම් උස පර්වතයක් මුදුනට ජලය රැගෙන ගිය තාක්ෂණය නිසැකවම සූක්ෂ්ම වුවක් බව අපි වටහාගත යුතු වෙමු. සැතපුමට එක් අඟලක් තරම් වූ බෑවුමක් සහිතව යෝධ ඇල නිර්මාණය කළ පැරණි ශ්‍රී ලාංකික ඉංජිනේරුවෝ වර්තමාන වාරි ඉංජිනේරුවන් පවා මවිතයට පත්කළ ‘බිසෝකොටු’ තාක්ෂණය රජරට වැව්වල ජලපාලනය සඳහා යොදාගත්හ. එසේ වුවද ඒ සා දැනුමකින් යුතුවූ ඉපැරණි ශ්‍රී ලාංකික ඉංජිනේරුවෝ මහවැලි ගඟ හෝ කොත්මලේ ඔය හරස්කොට රජරටට ජලය ලබාගැනීමට නොසිතුයේ ඔවුන්ට ඒ පිළිබඳ දැනුමක් නොවූ නිසා යැයි සිතීම සාධාරණ නොවේ. කඳු මුදුනකදී ගංගාවක් හරස්කිරීමෙන් සිදුවන කාලගුණික හා භූවිද්‍යාත්මක අනතුරු පිළිබඳව වූ මනා වැටහීම නිසා විය හැකිය.
මේ ආකාරයට මේ එක එකක් ‘අපේ විද්‍යාවන්’ ගේ විශිෂ්ටත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්චා කරන්නට මෙවන් කෙටි ලිපියකින් අවකාශ නොදේ. එසේම අප මෙසේ සාකච්චා කරමින් සිටින මොහොතක් පාසාම ඒ මහඟු ‘විද්‍යාවන්’ කැටිකොටගත් මහාග්‍රන්ථයන් බඳුවූ වෘද්ධවූ අප මාපියෝ ඒ ඥානයද සමඟ අප හැරයමින් සිටිති. මියගිය පසු ඔවුන්ගේ පිළිරූ තැනීමෙන් හෝ ඔවුන් සතුව පැවති ඒ සිව්සැටකලාව ට අදාළ මුලාශ්‍රයන් කෞතුකාගාර ගත කිරීමෙන් පමණක් නොනැවතී එවා පිළිබඳව ගවේෂණය කිරීමත්, එම ගවේෂණවල ප්‍රතිපල අනුව ඒවා වැඩිදියුණු කිරීමත්, ඒවා අධ්‍යයනය කළ හැකි නව විෂය ධාරාවන් ආරම්භ කිරීමත් නොකළහොත් අප කරන්නේ අප සතු වටිනා ඇඳුම් පැලඳුම් අලංකාර වීදුරු පෙට්ටියක ප්‍රදර්ශනයට සලස්වා නිරුවතින් සිට ඒ දෙස බලාසිටිනවා වැනි ක්‍රියාවකි.
අප සතු සිවුසැට කලා
1. අක්‍ෂරය
2. ලිඛිතය
3. ගණිතය
4. ගාන්ධර්වය
5. තර්ක ශාස්ත්‍රය
6. ව්‍යාකරණ
7. චන්දස
8. නිඝණ්ඩු
9. අලංකාර
10. ශාලිගෝත්‍ර
11. යන්ත්‍ර
12. මන්ත්‍ර
13. තන්ත්‍ර
14. ආත්මෝද
15. ජ්‍යෝතීර් ඥානය
16. ඉතිහාසය
17. පුරාණය
18. අග්නිස්ථම්භය
19. ජලස්ථම්භය
20. කෞමාරය
21. කූප ශාස්ත්‍රය
22. සූප ශාස්ත්‍රය
23. කාම ශාස්ත්‍රය
24. ශස්ත්‍ර වින්‍යාසය
25. ශස්ත්‍රකර්මය
26. අශ්වාරෝහණය
27. ගජාරෝහණය
28. අංකුස මාරණය
29. මාරණය
30. මෝහනය
31. ස්ථම්භනය
32. උච්චාඨනය
33. ත්‍රෝටනය
34. දූරගමනය
35. දූරදර්ශනය
36. භේරී ත්රෝටනය
37. පත්‍ර චේදනය
38. චිත්‍රකර්මය
39. මාලාබන්ධනය
40. ගන්ධයුක්තය
41. ධුතය
42. භාරතය
43. ස්ත්‍රී ලක්ෂණය
44. පුරුෂ ලක්ෂණය
45. නපුංසක ලක්ෂණය
46. පරහිත ඥානය
47. කනක පරීක්ෂාය
48. තෙනක පරීක්ෂාය
49. චාතුර්වාදය
50. ධාතුවාදය
51. ඛිලවාදය
52. කන්‍යාවාදය
53. ආකර්ෂණය
54. ආකාස ගමනය
55. රුප්‍යකර්මය
56. කාෂ්ඨකර්මය
57. හේමකර්මය
58. රත්නපරීක්ෂාය
59. කාන්ධිරඥානය
60. ශ්‍රරූයනය
61. අදෘශ්‍යකරණය
62. පරකාය ප්‍රවේශණය
63. වීණා වාදනය
64. විසහරණය
ප්‍රවීණ මාධ්‍යවේදී
එස්. එල්. සෙනෙහෙධීර
ලෙච්වර්ත් නගරය
එංගලන්තය