පාද යාත්‍රාව ඔකඳින් පිටත්වීම 27න් අවසන්

ජුනි 23, 2023

කතරගම දෙවියන් උදෙසා පැවැත්වෙන කතරගම පෙරහැරට සහභාගි වීම සඳහා උතුරුකරයේ සිට පා ගමනින් පැමිණෙන බැතිමතුන්ගේ පාද යාත්‍රාව මේ මස 12 වැනිදා ආරම්භ විය.

පානම ඔකඳ දේවාලය ඔස්සේ පැමිණෙන මේ පිරිස වන ජීවි උද්‍යාන දෙකක් හරහා කතරගමට ළඟා වනු ඇත. කුමන ජාතික වනෝද්‍යානයේ භාරකරු ආර්.ඒ.ඩී.ඩී. සමරනායක මහතා සුබසෙතට පැවසුවේ අද වන විට උද්‍යානය පසු කර ඇති බැතිමතුන් සංඛ්‍යාව විසි පන් දහසකට අධික බවයි.

වැඩිදුරටත් ඒ පිළිබඳ අදහස් දැක්වූ සමරනායක මහතා මෙසේද පැවසුවේය.

“මේ පාද යාත්‍රාවේ වැඩිපුර පැමිණෙන්නේ හින්දු බැතිමතුන් ඒ වගේම ආදිවාසීන්, මාධ්‍යවේදීන් දෙස් විදෙස් සංචාරකයන් වැනි පිරිස් මෙයට එකතු වෙනවා. ඔකඳ දේවාලයට පැමිණෙන බැතිමතුන් එහි පුද පූජා පවත්වා කුමන සහ යාල වනෝද්‍යාන ඔස්සේ කතරගම දේවාලයට ගමන් කරන්නේ කිලෝමීටර් 113ක් පමණ දුරක් පා ගමනිනුයි.

පාද යාත්‍රාවේ පැමිණෙන පිරිස් අතර, පවතින විශ්වාසයක් වන්නේ කතරගම දෙවියන් ඔවුන්ට ඉදිරියෙන් පාද යාත්‍රාවේ ගමන් කරන බවයි. ඔකඳ දේවාලය පිහිටි ස්ථානය කතරගම දෙවියන් ඉන්දියාවේ සිට ලක්දිවට ගොඩබට ස්ථානය ලෙසත් විශ්වාස කෙරෙනවා.

ඔකඳ දේවාලය ඔස්සේ මේ පිරිස ගමන් කරන අවසන් දවස වන්නේ එළැඹෙන 27 වැනිදායි. ඉන්පසු එහි ගේට්ටු වසා දැමීම සිදුවෙනවා.”

මෙසේ පැවසූ සමරනායක මහතා අවධාරණය කළේ පෙරහැර දිනය වන විට තිස් දහසකට අධික පිරිසක් මේ වනෝද්‍යාන පසු කර ගෙන යන බැවින් වන සතුන්ට සහ පරිසරයට සිදුවන හානිය අවම වන ලෙස හැසිරීමෙන් අනාගත පරපුර වෙනුවෙන් අපේ වන ජීව උරුමය රැක ගැනීමට සහාය දෙන ලෙසයි.

 

සේයාරූ - සුලෝචන ගමගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.