සඳු ඔබට ගෙනෙන සුබ අසුබ

මාර්තු 13, 2020

අප වාසය කරන පෘථිවියට ආසන්න වශයෙන්ම පිහිටා ඇති ග්‍රහයා වන චන්ද්‍රයා පෘථීවියේ එකම උප ග්‍රහයා ද වේ. මේ හේතුව නිසාම ඡ්‍යොතිෂයේදී චන්ද්‍රයාගේ බලපෑම දෙවැනි වනුයේ සූර්යයාට පමණි. විශේෂයෙන් ම මිනිස් සිත සහ ස්ත්‍රීන් කෙරෙහි වැඩි බලපෑමක් සිදු කරන චන්ද්‍රයා පෘථිවියේ බොහෝ ක්‍රියාවලීන් හා සිද්ධීන් පිළිබඳව ඍජුවම බලපෑම් කරයි. ඡ්‍යොතිෂයේදී දිනට උදාවී පවතින නැකත ලෙස ගනු ලබන්නේ ද චන්ද්‍රයා ගමන් ගන්නා නැකත වේ. මේ ආකාරයට චන්ද්‍රයාගේ බලපෑම සුළු පටු නැත.

යම් ජන්මියකු උපන් අවස්ථාවේදී චන්ද්‍රයා පිහිටන භාවය අනුව විවිධ වූ ප්‍රතිඵල ලැබෙනු ඇත. ලග්නය කුමක් වුවත් චන්ද්‍රයා පිහිටන භාවය අනුව යම් ප්‍රතිඵලයක් පෙන්වාදිය හැකිය.

චන්ද්‍රයා මේසයේ නම් එහි අධිපති හා මුසුවීමෙන් කුජගේ ගුණ ලබාදෙන ස්වභාවයක් පෙන්වයි. එනම් ශරීරයේ මේෂය නියෝජනය කරන කොටස්වල උෂ්ණ ස්වභාවය ඉහළ යාම ද ජන්මියාගේ නොසන්සුන් භාවය ඉහළ යාම ද ප්‍රධාන වේ.

වෘෂභ රාශි ගත චන්ද්‍රයා උච්ඡ බැවින් පුර පක්ෂයේ හෝ ශුභ දෘෂ්ටි ලබා ඇති විට පූර්ණ ශුභ ඵල දෙයි. පියකරු ශරීරයක් හා නිරවුල් මනසක් හිමි වේ. පිරිස අතර කැපීපෙනීම සහ ගරු කටයුතු ස්වභාවය ඉහළ යයි.

බුධ හිමි මිථුනයේදී චන්ද්‍රයා බුධගේ ස්වභාවය අනුව ප්‍රතිඵල දෙයි. තැනට සුදුසු නුවන, බුද්ධිමත් ස්වභාවය, කඩිසරකම ආදීය මේ තුළින් උරුම වෙයි. නමුත් බුධ තත්කාලයේදී දෙන බලය අනුව යම් අවස්ථාවලදී කුඩා දරුවන් සේ ක්‍රියා කරන අවස්ථාද ඇත. එසේ වනුයේ බුධ කුඩා දරුවන් නියෝජනය කරන නිසාත් මිථුනය ද්වි ස්වභාවීය රාශියක් වීමත් නිසා ය.

කටක ලග්නයේදී චන්ද්‍රයා ස්වක්ෂේත්‍ර වේ. පුර පක්ෂයේ හා ශුභ දෘෂ්ටි ලැබූ විට පූර්ණ ශුභ වේ. සෞම්‍ය වූ මනසක් සහ අනුන්ගේ දුක සැප හඳුනාගෙන කටයුතු කිරීමට මනා හැකියාවක් ඇතිවේ. එනිසාම හිත හොඳ මිතුරෙකු ලෙස සමාජයේ ප්‍රකට වේ. ඕනෑම දෙයක් ඉතා ඉක්මනින් තේරුම් ගැනීමට හැකියාව ලැබේ.

සිංහ ලග්න ගත චන්ද්‍රයා රවිගේ ගුණ පෙන්වයි. පිළිවෙළකට වැඩ කිරීම, වගකීම් දැරීමට බිය නොවීම ද, නිතරම උද්යෝගීමත්වීමද බලවත් පුද්ගලයකු ලෙස පෙනීමද ඇති අතර කෙසේ හෝ දියුණු බවක් ඇතිකර ගැනීමට උත්සහවත් වේ.

චන්ද්‍රයා කන්‍යාවේ සිටියදී බුධගේ ඥාන කාරක බලය ද කන්‍යාවේ ශක්තිය ද නිසා ත්‍රිමාණ ලෝකයෙන් එහා ස්පර්ශ වන විෂයන් ඉගෙනීමට හැකියාවක් ලබයි. එනම් ඡ්‍යොතිෂය, ගුප්ත විද්‍යාව, මනෝවිද්‍යාව ආදියයි. දුර දිග සිතා කටයුතු කරන බැවින් දියුණු විය හැකි ය.

තුලා රාශි ගත චන්ද්‍රයා සිකුරුගේ බලපෑම නිසා මෘදු සිතක් ලබාදෙයි. කලාවට දක්ෂය. සමාජශීලිය. බොහෝ මිතුරන් ඇත. දුර දිග බලා කටයුතු කරන අයෙකු වේ.

චන්ද්‍ර වෘශ්චිකයේ නම් එහි අධිපති කුජගේ ගුණ නිසා රළු ගති ඇතිවේ. අනුකම්පාව අඩු අයෙකු විය හැකි ය. විශ්වාසය හා ශක්තිය නිසා කිරීමට අපහසු වැඩක් වුව ද භාරගෙන කළ හැකි තරම් හැකියාවක් පෙන්වයි. භෞතික දියුණුවක් පෙන්වන අතර ආධ්‍යාත්මික දියුණුව අඩු කරයි.

ධනු ලග්න ගත චන්ද්‍රයා අධිපති වූ ගුරුගේ බලය අනුව ගුණ පෙන්වයි. රැකියා දෙකක් හෝ අමතර ආදායමක් ලබයි. විවිධ ගමන් යාමට නිතරම අවස්ථා උදාවනු ඇත. ඥානාන්විත ස්වභාවයක් පෙන්නුම් කරයි.

මකර ලග්නගත චන්ද්‍රයා ශනිගේ දරා ගැනීම වැඩි කරවයි. ආත්මාර්ථකාමී පුද්ගලයකු ලෙස පෙනෙන්නට ඇත. ලෞකික දියුණුව ඇතිවෙයි. තමාට ලාභ අපේක්ෂාවෙන් ම ක්‍රියාත්මක වනු දක්නට ලැබේ.

චන්ද්‍රයා කුම්භ ලග්නයේ නම් ශනිගේ වන යහපත් ගුණ දෙයි. මතුපිටින් පෙනෙන දෙයට වඩා සැඟවී ඇති සත්‍ය සෙවීමට උත්සහ වන ජන්මියා කාරුණික අයෙකු වේ. නව නිර්මාණ කරණය, තාක්ෂණික කටයුතු කෙරෙහි ඇල්මක් ඇත.

ගුප්ත විද්‍යා හා මනෝවිද්‍යා පිළිබඳවද උනන්දුවක් දක්වන අය වේ.

මීන රාශි ගත වූ චන්ද්‍රයා කුඩා දෙයටත් සිත වෙනස් කරන තත්වයක් ඇති කරයි. කතාකාරයෙකු වේ. ලිවීමෙහි දක්ෂ වේ. අහිතකර තත්වය නම් සෙම් රෝග වලට ගොදුරුවීමේ ප්‍රවණතාවයක් පැවතීමයි.

මෙලෙස පෙන්වා දෙන ලද්දේ පොදුවේ සඳුගෙන් ඇතිවිය හැකි විපාකයන්ය. චන්ද්‍රයා අධි සංවේදි බැවින් ග්‍රහ දෘෂ්ටි මත මෙම තත්වයෙන්ගේ අඩු වැඩිවීම් ඇතිවිය හැකිය. විශේෂයෙන්ම පුර පක්ෂයේ ශුභ තිථියකදී චන්ද්‍රයා පූර්ණ ශුභඵල දෙන අතර අව පක්ෂයේදි ශුභ ඵල හීන කරයි. අවපක්ෂයේ වුවද ස්වක්ෂේත්‍ර හෝ උච්ඡ නම් සමඵල දෙයි. තවද උපතින් චන්ද්‍රයා පතිත නැකතේ අධිපතිගේ තත්කාල බල දුබලතා අනුවද චන්ද්‍ර බලය වෙනස් විය හැකිය. මේ අනුව තමතමන්ගේ චන්ද්‍ර බලය යහපතට යොදාගැනීමට පිටුබලයක් වෙතැයි අප විශ්වාස කරමු.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.