නිවෙසක් ඉදිකිරීමට භූමිය තෝරා ගැනීමේ දී මේ ගැනත් සැලකිලිමත් වන්න

මාර්තු 17, 2023

ඔබ කුමන තරාතිරමක අයකු වුවද නිවෙසක් ඉදිකර ගැනීමට භූමිය තෝරා ගැනීමේ දී ඒ පිළිබඳ මෙසේ අවධානයට ලක්කළ යුතු ය. මෙහිදී පළමුවෙන්ම ඔබ සිතිය යුතු වන්නේ නිවෙස ඉදිකරන ප්‍රදේශය තෝරා ගැනීමේ දී තමාට එදිනෙදා කටයුතුවලට පහසු යහපත් ප්‍රදේශයක් වීමයි.

 

එයින් අදහස් කළේ එම ප්‍රදේශය තුළ වෙළඳ පහසුකම්, ආරෝග්‍යශාලා පහසුකම්, අධ්‍යාපන පහසුකම් මාර්ග පහසුකම්වලට අමතරව සොරබිය නැතිවීම, නූගතුන් වෙසෙන ප්‍රදේශයක් නොවීම මෙන්ම ජලයෙන්, කඳු සහිත ප්‍රදේශවලින් සිදුවන ආපදාවලින් බැහැර ප්‍රදේශයක් වීමයි.

මීට අමතරව ජන්මියාගේ දෛවයට ගැළපෙන ප්‍රදේශයක, නගරයක, බිමක් තෝරා ගැනීමට උනන්දු විය යුතුයි. මේ සඳහා ගෙය ගොඩනඟන්නාගේ ජන්ම නැකතට හෝ අභිදාන නැකතට ගැළපෙන අයුරින් ප්‍රදේශය තෝරා ගැනීමට වගබලා ගත යුතුයි. නූතනයේ ඉඩම් හිඟයක් ඇතත් මේ සියලුම ගුණාංගයන්ගෙන් යුත් ඉඩමක් සෙවීම අසීරු වුවද, කෙසේ හෝ ලැබුණ ඉඩම වාස්තු විද්‍යානුකූලව දෝෂ රහිතව සකස් කර ගත හැකිනම් එය නිවෙසේ අඩිතාලම තරම්ම වැදගත් ය.

මෙහිදී ඉඩමේ හැඩය බෑවුම, පස මෙන්ම ඉඩම තුළ වෘක්ෂලතා වැවෙන තත්ත්වය මතද සුදුසු ඉඩම තෝරා ගැනීමට ද නිවාස ඉදිකරන්නන්ට මං පෙත් විවර කිරීමටත් මෙම විද්‍යාව ආරම්භක සාධකයකි.

නිසි බිමක් සොයන තවත් ක්‍රමයකි වර්ණය අනුව වර්ග කිරීම. සුදු, රතු, කහ, කළු යන පාටින් ඇති බිම් යහපත් භූමි බවයි. අද බොහෝ කටයුතුවලදී රතු පස් උපයෝගී කර ගැනීමෙන් පෙනී යන්නේ ඉපැරැණි තාක්ෂණය නූතන තාක්ෂණයේ ක්‍රමවේදයක් බවයි.

එසේම ඉඩම තෝරා ගැනීමේ දී තමා ජීවත්වන පරිසරයට සමීපව නොතිබිය යුතු අංග මොනවාදැයි යනුවෙන් ද විමසා බැලිය යුතුයි. සොහොන් පිටියක් හෝ වනාන්තරයක් අසල නොවිය යුතු අතර, නාය යා හැකි කඳු බෑවුම්, පිටාර ගලන ගංගා ඇළ දොළ මෙන්ම විශාල ගල්පර ඇති ස්ථානයන්ගෙන් ඈත්ව විසීම වඩාත් සුවදායකය. තවද සතුන් බහුලව ඇතිකරන ස්ථාන, සතුන් ඝාතනය කරන ස්ථාන, මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ස්ථාන මෙන්ම විශාල කර්මාන්ත ශාලා මෙන්ම නූගත් පිරිස් වාසය කරන ස්ථාන පිළිබඳවද විමසිලිමත් වීම වැදගත් වේ.

එසේම මේ කරුණුවලට අමතරව තවත් විශේෂයෙන් සොයා බැලිය යුතු කරුණු කීපයක්ද වෙයි. පදිංචියට තෝරා ගනු ලබන ඉඩමේ ඔප්පුව නිරවුල් පැහැදිලි එකක් විය යුතුයි. නිරවුල් මායිම් සහිත වීම මෙන්ම, ඉඩම ත්‍රිකෝණාකාර එකක් ද නොවිය යුතු ය. ඉහත සඳහන් කරුණු සෑම එකක්ම යහපත් යැයි සිතුවද ඡ්‍යෝතිෂ්‍යානුකූලව තමන් පදිංචියට තෝරා ගන්නා ප්‍රදේශය සුබදායකද කියා සලකා බැලිය යුතු ය. මේ සඳහා නිවෙස ඉදිකරන්නන්ගේ ජන්ම නැකතට ගැළපෙන අයුරින් ප්‍රදේශය තෝරා ගන්න.

 

වාස්තු විද්‍යාවේදි, සුනිල් කුමාර වත්තගේ

සටහන - ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.