ඔබගේ ව්‍යාපාරයේ නිවසේ වාස්තු දෝස නම් අවුල්

අප්‍රේල් 30, 2021

1.අපි ඉස්සෙල්ල හිටි ගෙදර පුංචි වුණත් නිදහසක් සතුටක් තිබුණා. මේ ගෙදර එහෙම නැහැ.

2.ඔක්කොම කිව්වේ මේ බිස්නස් එකින් මම ඔලුව උස්සනව කියල, තිබුණ එකත් නැති වුණා.

3 මේ ගෙදර ටික කාලයක සිට නිකං අමුත්තක් දැනෙනවා. කාවත් රුස්සන්නෙ නැහැ.

4.මේ වත්තේ නිධානයක් තිබෙනව කියල හැමදෙනාම කියනව කෝ සලකුණක් වත් නැහැනේ.

මේ හතරදෙනෙක් කියන කතා හතරක් හැබැයි හතර බීරි කතාවක් නම් කියල හිතන්ට එපා. ඒ අය කියන්නෙ ඇත්ත. එහෙනම් එහෙම වන්නට හේතුව මොකක්ද? අන්න ඒක හොයාගත්තොත් අපි දිනුම්. කෝ ඉතින් වාස්තු විද්‍යාඥයො කියල ආපු දෙන්නම කිව්වේ දෙවිදියක් නේ. මේක හරියට යන්ත්‍ර පලඳිනව වගේ. බෙල්ලෙ බලගතු යන්ත්‍රයක් තිබෙනවලු. ඒකේ නම වත් දන්නෙ නැහැ. බෙල්ලට දමන්න ඉස්සෙල්ල දැක්කෙත් නැහැ. ගුරුන්නාන්සේ පෙන්නුවෙත් නැහැ. ඒ වුණාට කිව්වේ බලගතු එකක් කියලා. මේවා කවුරුත් කිව්වට ඔබ රැවටෙන්න ඇයි? පුංචි උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔබේ යන්ත්‍රරාජයා බෙල්ලෙ තිබුණට ඔබට ඒ ගැන අවබෝධයක් නැත්නම් අඩුම තරමින් දැක්කෙත් නැත්නම් ඔබ කොච්චර වියදම් කළත් වැඩක් නැහැ ගුණ දෙන්නෙ නැහැ. කියල ගුරුකම් යන්ත්‍ර මන්ත්‍ර කරන කෙනෙක් හැටියට මම ඉතා විශ්වාසයෙන්, වගකීමෙන් කියනවා. අඩුම තරමින් පන්සිල් පද පහවත් කියන්න එපා. ඒකේ අර්ථය දන්නෙ නැත්නම් වැඩක් නැහැ. ඒකේ තේරුම් දැනගෙන කිව්වොත් අසීමිතව වටිනවා.

ඔබේ නිවස ඔබේ ව්‍යාපාරයේ ලොකු ලොකු වාස්තු දෝස ඇති කියල මම හිතන්නෙ නැහැ. ඒ පුංචි පුංචි දෝස ගැන ඔබට වැටහීමක් නැහැ. ඒ පුංචි පුංචි දෝසවලට පිළියම් කළාම හරි. මේ වගේ පුංචි පිලියම් මම බොහොම කියා දීලා තිබෙන බව වගකීමෙන් කියනවා. ව්‍යාපාරයක නිවසක වාස්තු ගැන කතාකරන කොට මූලික වශයෙන් ගෘහ වාස්තු, ආගමික වාස්තු, පොදු වාස්තු, අදෘශ්‍යමාන වාස්තු කියල මූලිකව කියැවෙනවා. පළමු කී වාස්තු වර්ග තුන ගැන කියන්න. ඡ්‍යෝතිෂය ඉගෙනගන්න අවශ්‍ය නැහැ. නමුත් හතරවැන්න ගැන කියන්න ඡ්‍යෝතිෂය විතරක් නොවේ ගුප්ත ශාස්ත්‍රයත් ඕනෑ වෙනවා. ඔය හතර වැනි කරුනේ කිසියම් ප්‍රශ්නයක් ඇත්නම් ඒක ඒ නිවසේදීම කරල අවසන් කරන්න ඕනෑ. මේ අතරම කියන්න කැමැතියි. අපේ වාස්තුවේදීන් මහත්තුරුන්ට දැනීම තිබූ පලියට ඒක නිවාසහිමියන්ට දැනගන්න අවශ්‍ය වන්නෙ නැහැ. අත්‍යාවශම දෝස කිව්වට කාරි නැහැ. ඒවා කියල හදන්නම වෙනවා. අපි හිතමු. නිවසෙ තරප්පු පෙළ උඩට ගිහිල්ලා. වමට හෝ ගිනිකොණ දිශාවට හරවල තිබෙනවා. ඒක වැරදි තමයි. ඒක වාස්තු වලට වැරදි වුණාට නගර සභාවට හෝ මහනගර සභාවට ඒ නිවස පාස්කරන්න ප්‍රශ්නයක් නොවේ. නොදන්නා කමින් බාස් උන්නැහේ කළාට දැන් ඒ වරද කියල හරියනවද ගෙයක් නිම කළාට පසු. එවැනි දෝස නැවත හදන්න බැහැ. එහෙම කරන්න ගියොත් විශාල මුදලක් වැය කරන්න වනවා. අනික එවැනි නිවැරදි කරන්න බැරි දෝස කිව්වම ඒක නිවස හිමියාගේ යටිමනසේ තැන්පත් වෙලා නැති කරදර ඇතිවෙනවා. ඒ වගේ ගැටලු නිරාකරනය කරන කොට අපේ උගත් වාස්තු මහත්වරු ප්‍රවේශම් විය යුතු බවට යෝජනා කරනවා.

අපි ගෙයකට පදිංචි වෙන්න ඉන්නෙ කියලා හිතමු. අපේ ඡ්‍යෝතිර්වේදියා නියමිත නැකැත් දේවි.මේ නිවස හදන්න සියලුම නැකැත් ගෘහමූලික මහත්මයාගේ නැකතට සීහුම් වන්න ඕන බව දන්නවනේ. ඒක නිසා මේ ගෘහයට ප්‍රවිෂ්ඨ වීමත් ගෘහමූලිකගේ නැකතටම ගන්නවා.අන්න එතැන සිට වරදිනවා. ගේ හදන්න සියලුම නැකැත් මහත්තයගේ නැකතට ගත්තට ගෙට ප්‍රවිෂ්ඨ වන්නෙ ගෙදර නෝනා මහත්මියගේ නැකතට සීහුම් වන්නයි. වත්තේ පාලකයා ගේ හදන්න පාලකයා ගෘහ මූලිකයා වුණාට ගෙට යන්නේ ගෘහ බිරිඳ ගේ නැකතට සීහුම්වන්න පුර තිථියටයි. මේ නැකත් මුල වැරදුණොත් නැවත හදාගන්න බැහැ. ඒකනේ කිව්වේ කොට අදින අලි පෙරහැරේ යන්නෙ නැහැ කියලා. නිවසකට ගෙවදින කොට ඔබ ගන්න ඕනෑ ජලය පිරුණු නැවුම් කළය, දල්වන ලද පහන, ධාන්‍ය හා අනිකුත් දෑ ඒ වගේම හොඳට මතක තබාගත යුතු කරුණක් තමයි එදාට එවෙලෙට විතරක් ලුණු හා කහ ගන්නෙ නැහැ. හැබැයි ව්‍යාපාරයකට නම් ඒ දෙක අනිවාර්යයෙන්ම ගන්න ඕනෑ.

මේ විදියට ගෙයකට ප්‍රවිෂ්ඨ වී හෝ ව්‍යාපාරයක් ආරම්භ කර මාස 03 ක විතර කාලයක් ඒ කිව්වේ දින 90 ක් විතර කරදරයක් නැතිව කිසිම ප්‍රශ්නයක් නැතිව තියේවි. ඊට පසු පුංචි පුංචි කරදර ඒවි. ඒ ඔබේම පුංචි අතපසු වීමක් නිසා. ඔබ මේ ස්ථානය අයිති අදෘශ්‍යමාන බලවේගයට කළ උපකාරය මොකක්ද? මාස 03 ක් ඉඩදුන්නා නේද, මේ වගේ ගැටලුවලදී ස්ථානය ආරක්ෂා කිරීමක් අවශ්‍ය වේවි. බහිරව පූජාවක් කරන්න අපහසුනම් ඊශ්වර තටුවක් විතරක් හදා පේ‍්‍රත දොළක් දෙන්න. ඒක අත්‍යාවශ්‍ය වනවා. ස්ථානීය බහිරවයා ඒක බලාපොරාත්තුයි.

ඊළඟට නිවසට ව්‍යාපාරයට ගිහිල්ල ඇතුළුවන හා පිටවන දිශා පරික්ෂා කළාද? අද තත්ත්වය පරික්ෂා කළාද? මාලිමාව තබල නිවැරදි දිශාව බලාගන්න. චන්ද්‍රයා ඉන්න දිශාව වතුර තිබ්බට කාරි නැහැ. හැබැයි ඒ වතුර පල්වෙන්න බැහැ. ඔබගේ වැසිකිළිවල වගේ නාන කාමරය කාරි නැහැ. වතුර එකතැන හිිටින්නෙ නැති නිසා. ඔය දිසාව ගැන හරියට ප්‍රවේශම් වන්න ඕනෑ. ඔබ ශරීර කෘත්‍යය කරන කොට ගිනිකොණ පැත්තට හිටියා නම් වැඩි දවසක් නොගොස් ඔබට අර්ශස් අමාරුව හැදේවි. ඔබේ නිවස /ව්‍යාපාරය නරක නැහැ. ඒක හරියට හදාගන්න. ඔය අදෘශ්‍යමාන චලනය දී බාධා ඇතිවුණොත් දෘශ්‍යමාන අයට අවුල් ඇතිවනවා. ගිනිකොණ දිසාවේ පොල්ලෙලි මඩු, දරමඩු තබන එක නුසුදුසුයි. අනික ඔබ බස්නාහිරට අකැමැතියි. එහෙම නැහැ. ඒකත් දිශාවක් පමණයි. ඒක තමයි ඕනෑම දෙයක් ගබඩා වන පැත්ත. විශේෂයෙන්ම කාංසි නින්ද ඔබට නින්ද අඩුනම් නින්ද කැඩෙනව නම් වරක් දෙවරක් බටහිරට ඔලුව දාලා නිදන්න. උදේ එළිවෙලා තවත් ටික වෙලාවක් යනකං නින්ද යාවි. ඔබ ගෙදරින් පිටවෙලා යන්නෙ ගිනිකොණට නම් කේන්ති ගිහිල්ලා ගිය ගමන එක සිතින් කර ගන්න බැරි වනවා. ඔබ කිසියම් විශේෂ කරුණකට නිවසින් පිටවනවා කියමු. දෙවියන් ඉෂ්ඨ දේවතා නැමැද රාහු කාලය අතහැර පිටවනවා. එතකොට බොහෝවිට ගමනේ ප්‍රතිඵල හොඳයි. ඔබ අතර මඟදි වෙනත් ස්ථානයකට ගියොත් නැකත කැඩෙනවා. තව දෙයක් තමයි ඔබට මුලින්ම මුණ ගැහෙන කෙනා ඔබේ ඉදිරියට කපාපු නැති මාළු කදක් හෝ පන්සලේ වැඩහිඳිනව කියල වාසය කරන හාමුදුරුකෙනෙක් මුනගැහිලා යන්න වැඩේ හරි . ඒ ඇයි කියල නම් අහන්න එපා. බලන්න ප්‍රධාන උළුවස්සට පළලින් වැඩි තවත් උළුවහු තිබෙන වද කියලා. එනම් ආදායම අඩුයි. වියදම වැඩිවේවි.

මූලික උළුහවුවේ පුපුරපු තැනක් තිබෙනවද? නැත්නම් ඇන ගසා හෝ ගැසූ ඇන කඩා තිබෙනවද? සුව නොවන රෝගියක් ඇති ගෙදර අළුයම නැගෙනහිරින් ගේ තුළට වැටෙන්නට කිරණ කීපයක් සලස්වන්න. මේවා ඡ්‍යෝතිෂයේ සඳහන් වන්නේ මුදුන් ආකාශයෙන් වැටෙන කෝණ කිරණ කියලා. අර්ථ ත්‍රිකෝණයටයි වැටෙන්නේ. එහෙනම් ඒ විදියට සැලැස්සුවාම හැම කටයුත්තක්ම අර්ථවත් වනවා. ඉක්මනින් පැළවෙන කිරි ගහක් ඉදිරියේ පොළොවේ පැළකරන්න. හැමදාම වතුර දමන්න. ටික දිනකින් දලු දාලා ඒවි. ඒ වගේම ඔබේ ව්‍යාපාරයක් දලු ලා වැඩේවි. ඔබේ නිවස ව්‍යාපාරය දන්නා කෙනෙකුට කියලා බලවා ගන්න. ඔය නමින් වාස්තුවේදීන්ට කියන්න නම් එපා. දක්ෂයා ඔබට සරලව කියාදේවි. වාස්තුවල කරන්න තිබෙන්නේ පුංචි දෙයයි. මාස 6 කට වරක් වත් ව්‍යාපාරයේ ඇස්වහ කටවහ මතුරවා, අඹ අත්තෙන් අත්ත ගහ මතුරවා ගන්න. ඒකට අභිසම්භිධාන හොඳටම ඇති. එදා දිශාව නොවේ අද පවතින්නේ. අපි ඇතුළු සැම වෙනස් වනවා. මොකද අපි ඉන්නෙ මොහොතින් මොහොත වෙනස් වන පෘථිවි තලේ උඩ.

 

පාරම්පරික ගුප්ත විද්‍යාධර /ඡ්‍යෝතිෂවේදී

සම්මාන /සහතික ලාභි

මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.