නිදහස් දින කේන්දරයට අනුව රාජ්‍ය නායකයන් වෙනස් වුණේ මෙහෙමයි

ඔක්තෝබර් 4, 2024

පාරින්ද්‍ර සුගතදාසගේ ලිපියට උදම් පෙරේරාගේ පිළිතුර

ඡ්‍යොතිෂවේදී පාරින්ද්‍ර සුගතදාස මහතා විසින් පසුගිය සතියේ නිදහස් දින කේන්දරයට අනුව රාජ්‍ය නායකයන් වෙනස් වුණ අයුරු යනුවෙන් ලියන ලද ලිපියේ ලංකාවට අර්ධ ස්වාධීනත්වයක් ලබන විට හෙවත් ඩොමීනියන් තත්ත්වයක් ලබන විට සඳු ග්‍රහයා 10 වැන්නේ නීචව සිටි බව සඳහන් කොට ඇත. සඳු ග්‍රහයා එසේ 10 වැන්නේ නීච වීම දුර්වල පිහිටීමක් නොව බලවත් පිහිටීමකි. මක් නිසාද යත් පාපී සඳු 10 වැන්නට බලවත්වන හෙයිනි. ඉන් අදහස් කළේ අව සඳු 10 වැන්නට බලවත් වන බවයි.

මෙහිදී සඳු 10 වැන්නෙහි නීච වීම සඳු තැන්පත් රාශි අධිපති වන අඟහරු ලග්නයෙන් කේන්ද්‍ර ස්ථානයක් වන 7 වැන්න වූ සිංහ රාශියේ මිත්‍රව සිටීම සඳුගේ නීචය හංග කරන පිහිටීමකි. එමෙන්ම සඳුගෙන් ගජකේශරී යෝගයක් යෙදී තිබීම සඳු ලග්නයට අර්ධ යෝගකාරකත්වයක් දරන බුධ සහ යෝගකාර තත්ත්වය දරන සිකුරු යන ග්‍රහයන්ගේ කේන්ද්‍රය දෘෂ්ටියට ලක්ව සිටීම සඳු අතිශයින්ම බලවත් කරන සාධක වන්නේය.

එලෙස සතුරු ස්ථානාධිපති සඳු උපචය භාවයක් වන 10 වැන්නෙහි බලවත්ව පතිතව සිටීම අපට නිදහස ලැබීමට බොහෝ උපකාරී වී ඇත.

තවද ඒ මහතාගේ ලිපියේ 1956.04.16 වැනි දින ශ්‍රී ලංකා කේන්දරයේ ශනි 10 වැන්න වූ වෘශ්චික රැසෙහි ජන්ම ඒරාෂ්ටක අපලයේ මධ්‍ය අවස්ථාව පසු කරමින් සිටින විට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා බලයට පත් වූ බව සඳහන් කොට ඇත. මෙහිදී එලෙස බලගතු ඒරාෂ්ටක අපලයක් ලංකා කේන්දරයෙහි වුවද ලංකා කුම්භ ලග්න කේන්දරයට අනුව අර්ධ යෝගකාරක බුධ ග්‍රහයාගේ මහ දශාවේ යෝගකාරක සිකුරු ග්‍රහයාගේ අතුරු දශාව ලබා තිබීම නිසා ඒ මහතාට එකී ඒරාෂ්ටක අපලය පරයා මෙරට 4වැනි අගමැතිවරයා බවට පත්වීමට හැකි විය. ඒ අනුව එහිදී දශා අධිපති ලග්න කේන්දරයේ බලවත්ව පිහිටීම ඒරාෂ්ටක අපලය බල නොපෑමට ප්‍රධාන හේතුව වී ඇති බව ඉහත විග්‍රහයෙන් මනාව පැහැදිලි වන්නේ ය.

පාරින්ද්‍ර මහතාගේ එම ඒරාෂ්ටක ලිපියේ ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්දරයේ 2වැනි ජන්ම ඒරාෂ්ටක අපලය පැවති 1985.09.16 සිට 1987.12.17 අතර කාලය තුළ මැතිවරණයක් නොපැවැත්වූ බව සඳහන් කොට ඇත. මෙහිදී යෝගකාරක සිකුරු ග්‍රහයාගේ මහ දශාවේ ගජකේශරී යෝගය උදාකළ 10 වැන්නෙහි සඳු සමඟ සිටි ගුරු ග්‍රහයාගේ අතුරු දශාව ලබා තිබුණ හෙයින් දෙදෙනාම සහජ ශුභයන් වූ හෙයිනුත් රාජ්‍යයේ යම් කිසි අස්ථාවරත්වයක් තිබුණද මැතිවරණයක් නොපවත්වා රටෙහි පාලනය ගෙන යාමට යෝග කාරක සිකුරු ග්‍රහයාගේ මහ දශාවේ පැවතුණු ගුරු ග්‍රහයාගේ අතුරු දශාව හේතු වී ඇත. ඒ අනුව සෙනසුරු ඒරාෂ්ටකයේ අශුභ ඵල විපාක, ප්‍රකාශයට පත් කිරීම ලබා ඇති මහදශා අන්තර් දශා අනුව සිදුවන බව මනාව පැහැදිලි වන්නේය. එනම්, සෙනසුරු ඒරාෂ්ටක අපලයකදී ශුභ ග්‍රහ දශා, අන්තර් දශා ලබා ඇත්නම් අපල විපත් ඇති නොවන බවත් අශුභ ග්‍රහ දශා, අන්තර් දශා ලබා ඇත්නම් අපල විපත් ඇතිවන වග පැහැදිලිය.

තවත් එම ලිපියේ 2014.11.03ත්, 2017.01.27ත් අතර කාල සීමාවේදී පැවති ලංකා කුම්භ ලග්න කේන්දරයේ යෙදුණු තෙවැනි ජන්ම ඒරාෂ්ටක අපල කාල සීමාවේ දී මහින්ද රාජපක්ෂ මහතා පරදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ වග සඳහන් කොට ඇත. මෙහිදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමයේ ඒ මහතා මෙරට ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවාගත් මුත් ආර්ථික සහ සාමාජික ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට වෙනත් නායකයකු අවශ්‍ය බව ජනතාව සිතුවේය. එම ඒරාෂ්ටක කාල සීමාවේදී රාජ්‍ය ස්ථානය වන 10 වැන්න පීඩා කරමින් යෙදුණු චන්ද්‍ර ඒරාෂ්ටක අපලයේදී අඟහරු ග්‍රහයාට අයත් මහ දශාව ලබා තිබුණු අතර, වෙළෙඳාමට සහ ආර්ථිකයට කාරක බුධ ග්‍රහයාගේ අතුරු දශා ලබා තිබිණි. මෙහිදී අඟහරුට අයත් රාජ්‍යභාවයක් වන 10 වැන්න වූ වෘශ්චිකය ජන්ම ඒරාෂ්ටක අපලයකින් පීඩා වුවත්, අතුරු දශා අධිපති බුධ අර්ධ යෝගකාරක ග්‍රහයා වෙමින් යෝග කාරක සිකුරු සමඟ ලංකා කේන්දරයේ ජන්ම රවි සහ සඳුගෙන් 3 වැන්නෙහි පාප පීඩිත නොවී ගෝචරය වීම නිසා මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කොට මෙරට හයවැනි විධායක ජනාධිපතිවරයා බවට පත්වූයේය.

අවසන් වශයෙන් ඒ මහතාගේ ලිපියෙහි 2044.09.01. සිට 2046.12.09 දක්වා වූ කාල සීමාව තුළදී ලංකා කේන්දරයේ 10 වැන්නෙහි යෙදෙන සිව්වැනි ජන්ම ඒරාෂ්ටක අපල කාලය තුළදී මැතිවරණයක් පැවතුණහොත් බල පෙරළියක් සිදුවන බව සඳහන් කොට ඇත. එහෙත් එකී කාල සීමා තුළ ඒරාෂ්ටක අපලයක් යෙදුණත් මැතිවරණයක් හෝ බල පෙරළියක් සිදු වන්නේ නැත. මන්දයත් ඒ වනවිට ගජකේශරී යෝගය උදා කළ ගුරුගේ මහ දශාවේ යෝග කාරක සිකුරු ග්‍රහයාගේ අතුරු දශාවට පවතින හෙයිනි. මෙහිදී ග්‍රහයන් දෙදෙනාම සහජ සෞම්‍යයන් වීම නිසා 1985.09.16 - 1987.12.17 අතර කාලයේදී ඇති වූ ඒරාෂ්ටකයේදී පැවති සිකුරුගේ ගුරු අන්තර් දශාවල මැතිවරණයක් නොපැවැත්වූවා මෙන් 2044.12.12 සිට 2046.09.01 දක්වා ලංකා කේන්දරයේ පවතින ජන්ම ඒරාෂ්ටක අපල කාල සීමාවේදී මැතිවරණවලින් තොරව රාජ්‍ය පාලනය ගෙන යනු ඇත.

ඒ අනුව දශා අන්තර් දශා උපයෝගි නොකර ගනිමින් ඒරාෂ්ටක පිළිබඳ නිවැරැදි අනාවැකියක් පැවසිය නොහැකි බව මා මෙහිදී සඳහන් කරමි.

එසේම පාරින්ද්‍ර මහතා සඳහන් නොකළ කරුණු දෙකක් මෙහිදී සඳහන් කළ යුතුය. එනම් ලංකා කුම්භ ලග්න කේන්දරයේ ජන්ම ඒරාෂ්ටක අපලයේ අවසන් අදියරයේදී එනම් ශනි ග්‍රහයා 2017/10/28 සිට 2020/01/24 දක්වා කාලය තුළ 11 වැන්න වූ ධනු රාශියේ ගෝචරය වෙමින් සිටි කාලසීමාව තුළ 2019/11/16 වෙනි දින පැවති ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා පරදවා ඡන්ද 69 ලක්ෂයක් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත්විය. ඒවන විට ලංකා කුම්භ ලග්න කේන්දරයේ රාහු මහ දශාවේ රාහු අතුරු දශාව ලබා තිබුණි. රාහු ලංකා කේන්දරයේ 3 වැන්න වූ වික්‍රමස්ථානයේ සතුරුව සිටි අතර, එහි අධිපති අඟහරු 7 වැන්න වූ සිංහ රාශියෙහි මිත්‍රව සිටියේ රාජ්‍ය කේන්දරයෙන් 10 වැන්නේය. රාහු රාජ්‍ය කේන්දරයෙන් 6 වැන්න වූ මේෂයේ සිටියේය. ඒ අනුව එතැනදී මෙරට සතුරු ත්‍රස්තවාදීන් (රාහු ත්‍රස්තවාදින්ද කුජ හමුදාව නිවේදනය කෙරේ) ග්‍රහණයෙන් මුදවා ගැනීමට උර දුන් පුද්ගලයකු මෙරට ජනාධිපතිවන බව පෙන්වා දෙන ග්‍රහ බලයක් වන අතර සෙනුසරු යමක් වැඩි කරදෙන භාවයක් වන එමෙන්ම ගජකේෂරී යෝගයයි සම්බන්ධ වන රාශියක්වන 11 වැන්න වූ ධනු රාශියේ යමක් කිරීම නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 69 ලක්ෂයකින් ජයග්‍රහණය කිරීමට හැකි විය. මෙහිදී රාහු භාව බලයෙන් යුතුව සිටියද ස්ථාන බලයෙන් ලග්න නවාංශක දෙකේම නීච වීම නිසා ඒ මහතාට වැඩිකල් එම තනතුරේ රැඳීසිටීමට නොහැකි වූඅතර, ඉන් පසුව එනම් 2020/01/ 24 සිට 2023/10/19 දක්වා කාලය සීමාව තුළ ලංකා කේන්දර ශනි ග්‍රහයා සූර්ය ඒරාෂ්ටක අපලයේ මධ්‍ය අවස්ථාවේ ලග්න ඒරාෂ්ඨක අපලයේ මුල් අවස්ථාව පසු කරමින් සිටින විටදී 2020/03/08 සිට 2022/08/02 දක්වා පැවති රාහු මහ දශාවේ ගුරුගේ අතුරු දශාව තුළ එක අසුනක් සහිතව සිටි රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපතිවරයා වශයෙන් පාර්ලිමේන්තු ඡන්දයකින් තේරී පත්විය. ගුරු පාර්ලිමේන්තුවේ ඇමැතිවරුන් නිවේදනය කරන ග්‍රහයින්ගේ ඥාණකාරක ග්‍රහයා වීම නිසා රනිල් වික්‍රමසිංහ මහතා රාහු මහ දශාවේ ගජකේශරී යෝගයට සම්බන්ධ ගුරුගේ අතුරු දශාවේදී මෙරට ජනාධිපතිවරයා බවට පාර්ලිමේන්තුවෙන් තේරී පත් වූයේ ආර්ථික ප්‍රශ්න රැසකට රට මැදිහත්ව තිබියදීය. මන්දයත් ගුරු ධනකාරක සෞභාග්‍යකාරක ග්‍රහයා වන නිසාය.

එමෙන්ම පසුගිය සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණ සමයේ සෙනසරු වක්‍රව සිටියද ලංකා කේන්දරයට යෝගකාරක සිකුරු තුලා රාශියේ තැන්පත්ව සෙනසරුගේ පූර්ණ දෘෂ්ටියට ලක් විය. එබැවින් සෙනසුරු අපලයක බලපෑම පැවතිය ද නව තරුණ නායකයකු මෙරට ජනාධිපති ලෙස පත් කරමින් අනුර දිසානායක මහතාට ජනපතිධුරය හිමි විය. ඒ අතර සැප්තැම්බර් 23 වැනිදා බුධ ග්‍රහයා කන්‍යා රාශියේ ස්වක්ෂේත්‍ර වූ අතර බුධ ලංකා කුම්භ ලග්න කේන්දරයට අර්ධ යෝගකාරක ග්‍රහයෙකි. එය කුම්භ ලග්න කේන්දරයට බලපෑමක් නැති වුවද එය ලග්නයෙන් 8වැන්නට ප්‍රවිෂ්ට වීම පාපී ශනිගේ සූර්ය ලග්න ඒරාෂ්ටකයේ බලපෑම තුනී වී යෑමයක් ලෙස සැලකිය හැකිය. මේ වන විට සූර්ය ඒරාෂ්ටකටයේ අවසාන අදියර මෙන්ම ලග්න ඒරාෂ්ටකයේ මධ්‍ය අවදිය ගත කිරීම නිසා මෙන්ම භාග්‍යස්ථානාධිපති තුලාවට ගොස් සෙනසුරුගේ පූර්ණ දෘෂ්ටියට ලක් වීම නිසා මෙවැනි වෙනස් තීරණයක් ගැනීමට රටේ ජනතාව අතර උනන්දුවක් ඇති වූ බව අවසන් වශයෙන් සඳහන් කරනු කැමැත්තෙමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.