සෙනසුරු ග්‍රහයාගෙන් යෙදෙන යෝග

සැප්තැම්බර් 22, 2023

ශනි නොහොත් සෙනසුරු මිනිසාට ඉවසීම දූරදර්ශීව සිතාමතා කටයුතු කිරීම, අර පිරිමැස්ම සහිතව කටයුතු කිරීමට පොලඹවන, වෙහෙස මහන්සි වී කටයුතු කිරීමේ හැකියාවක් ලබාදෙන ඕනෑම ශාරීරික හෝ මානසික පීඩාවක් විඳ දරා ගැනීමට හැකියාවක් ඇති මිනිසාගේ ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට මහෝපකාරීවන ග්‍රහයෙක් වන්නේ ය.

එහෙයින් සෙනසුරු ග්‍රහයා ලග්න කේන්දරයක 3, 6, 10, 11 යන උපවය භාවයක පාප පීඩිත නොවී බලවත්ව සිටීම මිනිසාගේ ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය යටකී ගති ලක්ෂණයන් නොඅඩුව ලබාදෙන අතර, දුෂ්ට භාවයක් වන 8 වැන්නෙහි පාප පීඩිත නොවී ශුභව සිටීමෙන් මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ආයුෂ හෙවත් දීර්ඝායුෂ ලබා දෙන්නේ ය. එහෙයින් සෙනසුරු ග්‍රහයා කේන්ද්‍ර කොටගෙන යෙදෙන ග්‍රහයෝග පිළිබඳව දැනුවත් වීම සාර්ථක පලාපල කථනයක් සඳහා මහෝපකාරී වන සාධකයක් වන අතර, ඒ අනුව පහත දක්වා ඇති ග්‍රහයෝග අන් ලග්නවලට වඩා සෙනසුරු ග්‍රහයා යෝගකාරක වන එනම් වෘෂභ, තුලා ලග්නවලට සහ සෙනසුරු ග‍්‍රහයා අර්ධ යෝගකාරකත්වය දරන මිථුන, කන්‍යා ලග්නවලට සහ සෙනසුරු ලග්නාධිපති වන මකර, කුම්භ යන ලග්නවලට උසස් ශුභ පල ලබා දෙන්නේ ය. අන්‍ය ලග්නවලට එකී යෝග යෙදීමෙන් ශුභපල ලැබෙන්නේ එකී යෝග උදා කළ සෙනසුරු ග්‍රහයාට එකී ලග්නවලට යෝග කාරක ග්‍රහයන්ගේ දෘෂ්ටියට හෝ සංයෝගයට ලක්වී ඇත්නම් පමණි. එමෙන්ම පහත දැක්වෙන යෝග සක්‍රිය වීමට නම් සෙනසුරු ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අතුරු දශා ලබා තිබිය යුතුය.

ඒ අනුව පහත දක්වා ඇත්තේ සෙනසුරු ග්‍රහයා මුල් කොට ගෙන යෙදෙන ග්‍රහයෝග පිළිබඳව කෙටි විග්‍රහයකි.

 

සස යෝගය

 

සෙනසුරු ග්‍රහයා මුල් කරගෙන යෙදෙන සස යෝගය ග්‍රහ යෝග අතරින් බලවත් යෝග විශේෂයක් වන, පංච මහා පුරුෂ යෝගයන්ට අයත් යෝගයකි. ඒ අනුව මෙකී යෝගය චර රාශි ලග්න වන මේෂ, කටක, තුලා, මකර සහ තිර රාශි ලග්න වන වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන ලග්නවල සෙනසුරු ග්‍රහයා කේන්ද්‍රස්ථානයක, ස්වක්ෂේත්‍ර, මූල ත්‍රිකෝණ උච්ච යනාදි බලයකින් යුතුව පිහිටා ඇති විට යෙදෙන්නේ ය.

මෙකී සස යෝගයෙන් ජන්ම ලාභය ලබන ජන්මියා කෙරෙන් විද්‍යමාන වන ප්‍රධාන ගති ලක්ෂණයන් වන්නේ තමාට හමුවන කවර හෝ බාධක කම්කටොලු විඳ දරා ගනිමින් ඉදිරියටම ගොස් තම අරමුණ ඉටුකර ගැනීම, නොසැලෙන අධිෂ්ඨානයකින් සහ අප්‍රතිහත ධෛර්යකින් යුත් අයෙක් වීම, පීඩිත පන්තියේ හෙවත් වැඩ කරන කම්කරු ජනතාව කෙරෙහි විශේෂ ළැදියාවක් සහ ඒ අයගේ අයිතිවාසිකම් සඳහා සටන් කරන අයෙක් වීම, මෙකී සස යෝගය ලග්න කේන්දරයෙන් දහ වැන්නෙහි යෙදී ඇත්නම් හෝ රාජ යෝග උදාකළ ග්‍රහයන්ගේ දෘෂ්ටියට මෙකී සස යෝගය උදා කළ සෙනසුරු ග්‍රහයා ලක්ව ඇත්නම් මෙකී යෝගධාරියා කම්කරු නායකයෙක් හෝ රටකට, ගමකට, පළාතකට, නායකයෙක් වන්නේ ය. ශනි කෘෂි කර්මාන්තයට සහ පොළොව සම්බන්ධ කර්මාන්තවලට කාරකත්වයක් දරන ග්‍රහයෙක් කල හෙයින් රාජයෝග නොමැතත් ධන යෝග ඇත්නම් ධනයෝග උදා කළ ග්‍රහයන්ට මෙකී සස යෝග උදා කළ සෙනසුරු දෘෂ්ටි හෙළයි නම් එවන් ග්‍රහ පිහිටීමක් ඇති සස යෝගධාරියාට කෘෂි කර්මාන්තයෙන් හෝ පොළොවට සම්බන්ධ මිනිරන්, පතල්, ගල් අඟුරු ආකර මැණික් ගැරීම වැනි කර්මාන්තයන් මඟින් ධනවත් බලවත් පුද්ගලයෙක් වන්නේ ය.

 

සේනක යෝගය

 

ශනි නොහොත් සෙනසුරු ග්‍රහයා තමාගේ උච්ච රැස වන තුලා රාශියෙහි පතිතව සිටීමෙන් සේනක යෝගය පැන නඟින්නේ ය. මෙකී යෝගයෙන් ජන්ම ලාභය ලබන ජන්මින් දුක සැප දෙකේදීම එක සේ කම්පා නොවිඳ දරා ගැනීමේ ශක්තියෙන් යුත් අය වෙති. දුර දක්නා නුවණකින් සහ ආත්ම ශක්තියකින් මෙන්ම නොසැලෙන ධෛර්යකින් යුත් මෙකී යෝගධාරීන් විවිධ කටයුතු කර්මාන්තවලට දක්ෂ අය වෙති. තම අපේක්ෂිත අරමුණු කරා ළඟාවීමේදී කොපමණ බාධක අවහිරතා පැමිණියත් ඉන් අධෛර්යමත් නොවී ඉදිරියට යන්මෝ වෙති. මෙවැන්නන්ගේ විවාහය කල් යෑමට ඉඩ තිබෙන අතර, රාජයෝග උදාකළ ග්‍රහයන්ගේ දෘෂ්ටියට හෝ සංයෝගයට මෙකී සේනක යෝගය උදාකළ සෙනසුරු ග්‍රහයා ලක්වී ඇත්නම් මෙකී යෝගධාරියා ප්‍රදේශයකට, ගමකට, නගරයකට පළාතකට නායකයෙක් වන්නේය.

 

ජය යෝගය

 

සෙනසුරු ග්‍රහයා තම මූල ත්‍රිකෝණ බලය ලබන රාශියවන කුම්භ රාශිගතව සිටීමෙන් ජය යෝගය යෙදෙන්නේ ය. මෙකී ජය යෝගයෙන් උපන් ජන්මින් කිසිවකුට නොදෙවෙනි වන නොසැලෙන ආත්ම ශක්තියකින් නොපසුබට ධෛර්යකින් සහ උට්ඨාන වීර්යෙන් යුත් අයවලුන් වෙති. කුම්භ ස්ථිර රැසක් වන හෙයින් මෙකී යෝගධාරීන් බොහෝ විට කෘෂි කර්මාන්තයෙන් දියුණුවක් ලබන්නෝ වෙති. ජය යෝගය යෙදෙන කුම්භ රැස කලයක් අතින් ගත් පුරුෂයෙක් සංකේතවත් කෙරෙන රැසක් වන හෙයින් මෙකී යෝගධාරීන් ඉතිරි කිරීමට දක්ෂ අයවලුන් වන අතර ඉන් දියුණුවක් ලබන්නෝ වෙති. ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්නා මෙකී යෝගධාරීන්, අනුන්ගේ චෝදනා නොලබන ලෙස සෑම වැඩක්ම කිරීමට උත්සහ ගන්නෝ වෙති. මෙකී ජය යෝගයට සම්බන්ධ සෙනසුරු රාජයෝගයකට සම්බන්ධව ඇත්නම් එවැන්මෝ රටකට, නගරයකට, ගමකට, පළාතකට, ප්‍රදේශයකට නායකත්ව දරන අයවලුන් වන්නෝ ය.

 

ශ්‍රී කාන්ති යෝගය

 

සෙනසුරු ග්‍රහයා තම ස්වක්ෂේත්‍ර රැසවන මකර රැසෙහි පතිතව සිටීමෙන් ශ්‍රී කාන්ති යෝගය පැන නඟින්නේ ය. මෙකී යෝගයෙන් ජන්ම ලාභය ලබන ජන්මින් බොහෝ දෙනා ආශ්‍රය කරන සමාජශීලී ගේ දොර, ඉඩකඩම් සම්බන්ධ දියුණුවක් ලබන අයවලුන් වෙති. එසේම මෙකී යෝගධාරීන් ස්වකීය උත්සාහය මුල්කොට දියුණුවන ලබන, ඉවසිලිවන්ත, බාධක අවහිරතාවලින් නොසැලී ඉදිරියට ගොස් තම අරමුණු සාක්ෂාත් කර ගන්නා අතර, අරපිරිමැස්ම සහ සකසුරුවම්කම නිසා වියදම් සීමා සහිතව පවත්වාගෙන ගොස් ඉන් ආර්ථික දියුණුවක් ලබන්නෝ වෙති. මෙකී ශ්‍රී කාන්ති යෝගයට සම්බන්ධ ශනි රාජ යෝග උදා කළ ග්‍රහයන්ගේ දෘෂ්ටියට හෝ සංයෝගයට ලක්ව ඇත්නම් ඔවුන් නායකත්වයක් ලබන්නෝ වෙති.

 

ශනි දිප්ත යෝගය

 

රාහු කේතු යන ඡායා ග්‍රහයන්ගෙන් එක් පසෙක සෙනසුරු ග්‍රහයා පමණක් පතිතව සිටීමෙන් ශනි දීප්ත යෝගය පැන නඟින්නේය. මෙකී යෝගයෙන් වඩාත් ශුභඵල ලැබෙන්නේ ලිපිය මුලදී සඳහන් කළ සෙනසුරු ලග්නාධිපති වන ලග්නවලට සහ සෙනසුරු ග්‍රහයා යෝග කාරක සහ අර්ධ යෝග කාරකත්වයක් උසුලන ලග්නවලට ය. ඒ අනුව මෙකී යෝගයේ පලවිපාක සක්‍රිය වීමට නම් මෙකී යෝගයෙන් උපන් ජන්මීන්ට සෙනසුරු ග්‍රහයාගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ලැබිය යුතුය. ඒ අනුව මෙකී යෝග පලවිපාක වන්නේ මෙකී යෝගධාරියාට ජීවිතයේ මුල් කාලයේදී අඟහිඟකම් බාධක අවහිරතා තිබුණද පසු කලෙකදී, ඉවසිලිවන්ත බව දුර දක්නා නුවණ වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ හැකියාව, අරපිරිමැස්ම හා සකසුරුවම් බව, හැඟීම් ආවේග පාලනය කර ගැනීමට ඇති හැකියා යන ගති ලක්ෂණයන් නිසා පසු කලෙකදී දියුණු සමෘද්ධිමත් පුද්ගලයෙක් බවට පත්වෙයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.