ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 8-17-26 දිනයක නම් ස්ථිරසාර දියුණුවක් ඇත්තෙකි

දෙසැම්බර් 6, 2024

 

ජන්ම අංක අටෙන් උපදින අය සෙනසුරු ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. සෙනසුරු ඉතා සෙමින් ගමන් කරන ග්‍රහයෙකි. එක රාශියක් තුළ වසර දෙකහමාරක පමණ කාලයක් ගමන් කරයි. ඒ අනුව ජන්ම අංක අටෙන් උපන් අයද ඉතා සෙමින් කටයුතු කළත් බොහොම හොඳ ස්ථිරසාර භාවයක් මොවුන්ගේ ක්‍රියා කලාපයන් තුළ දැකිය හැකිය.

කරන කියන සියලු කටයුතුවල හොඳ ස්ථීරසාර භාවයක් ඇත. මොවුන් නිදහසේ කාටත් කරදරයක් නැතිව සමාජය තුළ ජීවත් වෙයි. මිතුරන් වෙනුවෙන් සියලු කැපකිරීම් හා උපකාර කිරීමට ඉදිරිපත් වෙනවා සේම සතුරන්ටද මොවුන්ගෙන් කිසිම සමාවක් බේරීමක් නැත. මොවුන් හොඳට හොඳ වගේම නරකට නරක පුද්ගලයන් වේ. යහපත් මෘදු ගතිගුණ මොවුන් තුළ ඇත. අනුන් ගැන විවේචනය කිරීම මොවුන්ගේ පුරුද්දක් නොවේ. එමෙන්ම කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා මොවුන් කාලය නාස්ති කිරීම අපරාධයක් ලෙස සිතයි. මොවුන් දෙස පිටින් බලා තේරුම් ගැනීමට ලෙහෙසි නැත. තරමක් සැඩපරුෂ මිනිසුන් ලෙස පිටතට දිස් වුවත් ඔවුන්ගේ හදවත ඉතාමත් සෞම්‍ය ගතිවලින් යුක්ත වෙයි. ඉතා සීමිත මිතුරන් ප්‍රමාණයක් ඇසුරු කරයි. ජීවිතේ ඉහළම තැනකට පත්ව සාර්ථකත්වය ලැබීමට මොවුන් අපේක්ෂා කරයි. ඒ වෙනුවෙන් උපරිම කැප කිරීම ද කරයි. කරන දේ ලොකුවටම කිරිමට කැමති මොවුන් පුංචි පුංචි දේවල් වෙනුවෙන් කාලය වැය කිරීමට කැමති නැත. මොවුන් සමාජ සේවය හා පොදු වැඩ කිරීම විනෝදාංශයක් මෙන් සලකා කටයුතු කරයි. අසරණ සතුන් හෝ මිනිසුන් වෙනුවෙන් උපකාර කිරීමට ඉදිරිපත් වෙයි.

පටන් ගත් වැඩක අවසන් වනතුරු නිරතවීම මොවුන්ගේ එකම අභිලාෂයයි. වගකීම් භාර දීමට ඉතා සුදුසු පුද්ගලයන් වෙයි. මොවුන් කරන කියන කටයුතුවලින්ම විනෝදය ලබන අතර වෙනම විනෝද වීමට කියා කාලයක් යෙදවීමට මොවුන් කැමැති නැත. මොවුන්ගේ ජීවිත නිතර උස් පහත් වන ස්වභාවයෙන් යුක්ත වෙයි. විටෙක වාසනාවන්ත ලෙස ජීවිතය ගොඩනඟා ගන්නා මොවුන් වරෙක අවාසනාවන්ත තත්ත්වයට පත්වනු පෙනේ. ජීවිත කාලය තුළ ඔබට නොයෙක් අර්බුද ප්‍රශ්න ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදුවනු ඇත. මොන තරම් අභියෝග පැමිණිය ද ඒ සියලු දේවල් දරාගැනීමේ හැකියාව ඇති ඔබ ඕනෑම දෙයකට ඔරොත්තු දෙන ගතියෙන් යුක්ත වෙයි. යහළු මිත්‍රයන් හිතවතුන් සහ සමාජය වෙනුවෙන් ඔබ කරන කැප කිරීමට සාපේක්ෂව අනිත් පැත්තෙන් ඔබට සාධාරණයක් ඉටු වෙනවා ද යන්න පිළිබඳ ගැටලුවක් පවතී. අන් අය කෙරේ සැකමුසු ස්වභාවයෙන් බැලීම ඔබගේ එක් දුර්වලතාවයක් ලෙස සඳහන් කළ හැකිය. තරමක් ගුප්ත ගතිද ඔබේ සිත තුළ පවතියි. විසඳාගත යුතු ප්‍රශ්න ගණනාවක් ඔබේ සිත තුළ නිරන්තරයෙන් පවතී. එහෙත් පිටතින් ඔබ ඉතාමත් වැදගත් ගෞරවණීය පුද්ගලයකු ලෙස අන් අයට පෙනෙයි.

අධ්‍යාත්මික ජීවිතයකට වඩා ලෞකික ජීවිතය පිළිබඳ අපේක්ෂාවන්ගෙන් යුක්ත වෙයි. මුදල් ඉපයීමට ඉහළ දක්ෂතාවයක් මොවුන් තුළ ඇත. තරමක් සිහින් ශරීරයකට මොවුන් හිමිකම් කියයි. ජීවිත කාලය තුළ මොවුන් මත්පැන් මත්ද්‍රව්‍ය වැනි දේවලින් දුරස් වී සිටිය යුතු වන්නේ එවැනි දේවල්වලට පහසුවෙන් ඇබ්බැහි වන අතර ඇබ්බැහි වූ වු පසු එයින් මිදීමට ඔවුන්ට පහසු නැති බැවිනි. මොවුන් පිරිස් පාලනයට ආයතන ප්‍රධානත්වයට සහ පරිපාලනය වැනි කටයුතු වලට ඉතාමත් දක්ෂ වෙයි. ඔවුන්ට හොඳ කථිකත්වයක් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් ඇත. බුද්ධිමත් තීන්දු තීරණ ගන්නා මොවුන් දාර්ශනික අදහස්වලින්ද යුක්ත වෙයි. මොවුන්ගේ තවත් එක් දුර්වලතාවයක් වන්නේ හැම අවස්ථාවකදීම අන්තගාමි වීමයි. එය හොඳ හෝ නරක විය හැකිය. යහපත් හෝ අයහපත් විය හැකිය. දියුණුව හෝ අසාර්ථකත්වය විය හැකිය. මේ ඉහළ පහළ යෑම ජීවිතය පුරාම පවතී. මොවුන් ස්වභාවයෙන් තරමක් කාර්යබහුල ගතියක් පෙන්නුම් කරයි. ආදරය සහ ප්‍රේමය, විවාහය ආදී කාරණාවලදි වඩා සංවේදී පුද්ගලයෙක් ලෙස ක්‍රියා කරයි. එසේ වුවත් ඔවුන්ට ඒ වෙනුවෙන් කාලය යෙදවීම තරමක් අපහසු වෙයි. මොවුන් කෙසේ හෝ තමන්ගේ තත්ත්වය තරාතිරම රැක ගැනීමට උත්සාහ කරයි. දේශපාලන කටයුතුවලට ද මොවුන්ගේ උනන්දුවක් ඇත. අවුරුදු හතළිහෙන් පසුව ජීවිතය ස්ථාවර වෙයි. ඔබට සතුරු කරදරද නොසිතූ අවස්ථාවන්වලදී ක්‍රියාත්මක විය හැකි මුත් ඔබව පරාජය කිරීම පහසු නැත.

(ජන්ම අංක 9 හිමි ඔබ පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තුන්න.)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.