හූනා හඬන හැම මොහොතම අසුබ නැත

දෙසැම්බර් 6, 2024

 

සුහුණන් ඇඟට වැටීම පිළිබඳ අප සමාජයේ ඇත්තේ විශේෂ පිළිගැනීම් රටාවකි. ශරීරයේ ඒ ඒ ස්ථාන අනුව සුහුනකු වැටුණ විට ගෙන දෙන සුබාසුබ පල පිළිබඳ පසුගිය සතියේ අපි කතා කළෙමු.

අද ඒ ඒ දිනය හා දිශාව අනුව සුබ කටයුත්තකදී හූනා හැඬීම සුබ අසුබ වන ආකාරය පිළිබඳ දැන ගනිමු. එවිට සැම විටම හූනකු හැඬීම අසුබවාදී ලෙස නොගැනීමට හේතුව ඔබට අවබෝධ වනු ඇත.

දිශාව අනුව සුබ අසුබ

මෙහිදී හූනා හඬන දිශාව විශේෂයෙන් වැදගත් ය. හඬන දිශාව අනුව සුබ පල පෙන්වන නිමිත්තක් ද අසුබ පල පෙන්වන නිමිත්තක්ද යන්න කියැවෙයි. දිසාව පමණක් නොව හඬන දිනය අනුව ද සුබ පල ද අසුබ පල ද යන්න වන්නේ ය. එසේ නම් හූනාගේ හැඬලීම මුළුමනින්ම අසුබ පල අත්කර දෙන්නෙකැයි යන මතය ඛණ්ඩනය වෙයි. බොහෝ දෙනාගේ හැඟීම වන්නේ හූනාගේ හඬ අසුබ පල උදාකරවන අයහපත් පෙරනිමිත්තක් ලෙස ය.

හූනා නැඟෙනහිර දිසාවෙන් හඬන්නේ නම්, ඔබ යන ගමන ඉතා සාර්ථක වන බව හූනු ශාස්ත්‍රය පෙන්වයි. එසේම බස්නාහිර දිශාවෙන් හඬන්නේ නම්, එය වස්තු සම්පත් ඓශ්චර්ය උදාකරවන්නේ ය. දකුණු දිසාවෙන් හැඬීම සැප සම්පත් ජයග්‍රහණ ලබා දෙද්දී උතුරු දිසාවෙන් හැඬි නම් සැප සම්පත් දුරු වී පරාජය උරුම කරවන බව කියයි. ගිනිකොනේ නම් කීර්තියත්, නිරිතයෙන් නම් කලකෝලාහල අඬදබරත්, වයඹෙන් නම් ගමනක් යෙදීමත්, ඊසානයෙන් නම් අප්‍රමාණ දුක් ලැබීමත්, බිම යට තැනක හිඳ හැඬීම නපුරු අයහපත් බවත්, හිස උඩ කෙලින් හැඬීම යස ඉසුරු ලැබීමක් බවත් පැවසේ.

මේ දස දිසාවේ හැඬීම සම්බන්ධයෙන් මගේ මතකයේ රැඳි කවි කීපයක් බහාලීම මැනවයි හැඟේ.

හැඬී නම් නැඟෙනහිර හූනා ගමන සුබ යි
හැඬී නම් බස්නාහිර හූනා වස්තු ලැබෙ යි
හැඬී නම් දකුණ සිරි සැප ජය අත්වෙනව යි
හැඬී නම් උතුර සැප නැතිකර පරාජය යි

ගිනිකොන හැ¾ඬී නම් යසසිරි වඩවන වා
නිරිතය හැ¾ඬී නම් දබරෙට පැන එන වා
වයඹට හැඬුවෙ යන එන ගමනක් වෙනවා
ඊසානයේ හැඬි නම් අප දුක් වෙනවා

බිම යම් තැනක හිඳ හැඬු නම් නපුරක්ය
හිස උඩ කෙළින් හැඬු නම් යස ඉසුරුම ය

මේ කියැවුනේ හූනා හඬන දිසාව අනුවය. දස දිසාව ඔස්සේ එබඳු පල දැක්වූවත් මේ පොදු වශයෙන් කියා පෑමක් වන අතර, දිනය හා සම්බන්ධ කර බලන කල සුබ අසුබ විවිධාකාර ඵල විපාක හූනු හඬ පිළිබඳ ශාස්ත්‍රඥයෝ පෙන්වා දෙති.

දවස සහ දිශාව අනුව සුබ අසුබ

නැඟෙනහිර දෙසින් ඉරුදින හඬන ලද්දේ නම්, භය, සඳු දින නම් ධනලාභ, කුජ දින නම් සම්පත්, බුධ දින නම් සතුට, ගුරු දින නම් අසුබ, කිවි දින නම් සුබ, ශනි දින නම් යහපත් දේ ලැබීම යනාදී ලෙසින් දැක්වේ.

බස්නාහිර දෙසින් ඉරු දින හැඬි නම් අඬදබර ද, සඳු දින නම් රාජ ගෞරවද, කුජ දින නම් මධ්‍යම සුබ පල ද, බුධ දින නම් බය ඇතිවීමද, ගුරු දින නම් දේපළ විනාශයද, කිවි දින නම් සතුටද, ශනි දින නම් වස්තු ලාභ ද යනාදී ලෙසින් පල විපාක ගෙන දෙන බව පෙන්වයි.

දකුණු දිසාවෙන් ඉරු දින හැඬී නම් සැප ද, සඳු දින සතුරු බය ද, කුජ දින රෝග පීඩා ද, බුද දින ශරීර පීඩාද, ගුරු දින ධන ලාභද, කිවි දින සහ ශනි දිනවල නම් ඥාතීන් පැමිණීම ද ප්‍රතිඵල වේ.

උතුරු දෙසින් ඉරු දින හැඬී නම් ධන ලාභ ද සඳු දින ධන ලාභද, කුජ දින සතුරු බයද, බුධ දින සැපද, ගුරු දින කටයුතු අවුල් වීම ද, කිවිදින අපි‍්‍රයජනක කතා අසන්නට වීමද, ශනි දින සුබ සතුටු කරවන පුවත් ආරංචි ලැබීම ද පලාපලය.

ගිනිකොන දෙසින් ඉරු දින හැඬි නම් අසුබය. සඳු දින නම් දබර ද කුජ දින නම් මිත්‍ර සමාගමයද (මිත්‍ර ලාභ) බුධ දින නම් දාස දාසියන්ගේ ලාභද ගුරු දින නම් මිත්‍ර ලාභද කිවි දින සහ ශනි දිනවල නම් වස්තු ලාභ ද ලෙස පෙන්වා දෙයි.

නිරිත දෙසින් ඉරු දින හැඬුවේ නම් මිත්‍රලාභද සඳු දින නම් අවුල් වියවුල් ද, කුජ දින නම් සතුරු භයද බුධ දින නම් මිත්‍රයින්ට විපත්ද ගුරු දින නම් කටයුතු ඉෂ්ට වීම, කිවි දින නම් යහපත් සුබ ආරංචි ලැබීමද ශනි දින නම් රෝග පීඩා උවදුරු ද යනාදී ලෙසින් කරුණු සිදු වෙතැයි හූනු හඬ පිළිබඳ ශාස්ත්‍රඥයෝ දක්වති.

හූනා වයඹ දෙසින් ඉරු දින හැඬුවේ නම් නොයෙකුත් වස්තු ලාභද සඳු දින නම් දුක් ද කුජ දින නම් සුබ ආරංචිද බුධ දින නම් ධන හානිද ගුරු දින නම් සුබ ආරංචි ද කිවි දින නම් ගෙදර අවුල් වියවුල් ද ශනි දින නම් ස්ත්‍රී සැප ද ලැබේ.

ඊසාන දෙසින් ඉරු දින නම් ලාභ, සඳු දින නම් යහපත් දේ, කුජ දින වාහන ලාභ, බුධ දින කටයුතු කාර්යයන්ට බාධා, ගුරු දින සැප, කිවි දින සතුරු බය, ශනි දින සොර බිය ආදී ලෙස පෙන්වා දේ.

යට දිසාවෙන් ඉරු දින හැඬි නම් අදහස් ඉටුවේ. සඳු දින නම් යස ඉසුරු ලැබේ. කුජ දින නම් ලාභ ලැබේ. බුධ දින නොයෙක් යස ඉසුරු සම්පත් හිමි වේ. ගුරු දින භයානක විපත් ද කිවි දින රෝග පීඩා ද වන අතර, ශනි දින නම් සියලු කටයුතු ඉටු වීම ද ප්‍රතිඵල වේ.

උඩ දිසාවෙන් හූනා ඉරු දින හැඬුවේ නම් ජය ලැබීමද සඳු දින නම් සිත් තැවුල් ද, කුජ දින නම් විවිධ හානි ද බුධ දින නම් යහපත් පුවත් සුබ ආරංචිද ගුරු දින නම් අඬදබර

කලකෝලාහල ද කිවි දින නම් වස්තු ලාභ ද ශනි දින කම් කටයුතු හානි වීමද යනාදී ලෙසින් දක්වාලයි.

බෙහෙවින් අප සමාජය තුළ පවත්නා ආකල්පය වන්නේ හූනාගේ හැඬීම ඉතා අසුබ ලෙස ය. ඇතැම්හු කුමන අවස්ථාවක හෝ වයඹ දෙස සිට හූනා හැඬුයේ නම් ඉතා නරක ප්‍රතිඵල ගෙන දෙතැය යි පවසති.

නිරිත දෙස සිට හැඬීම ද ශුභදායක නොවේ යයි කියති. එසේ වුවත් හූනා හඬන දිසාවත් සතියේ ඒ ඒ දින අනුව ප්‍රතිඵල විවිධ වන බව මෙහි ඉහත දැක් වූ අයුරින් පෙනී යනු ඇත.

ගමනක් බිමනක් යාමට නිවෙසින් පිටවන කල කෑරලාගේ හඬ, බල්ලාගේ කන්පට ගැසීම මෙන්ම හූනාගේ හඬද ගමන බිමන වළක්වාලන අසුබ පෙරනිමිත්තක් සේ ජන සමාජය බොහෝ තදින්ම පිළිගන්නා කරුණකි. එබඳු විට මඳක් ආපස්සට නතරව වාඩි වී සිට අලුතෙන්ම ගමන ආරම්භ කිරීම සිරිතය. අපේ ගැමියා වයස්ගත හරකකු වතුර පිපාසය නිවා ගන්නා තුරු වතුර බොන තරම් වේලාවක් ප්‍රමාදව යළි ගමන ආරම්භ කිරීම එලෙස හූනු හඬ වූ කල කළ යුතු සිරතක් සේ දැක්වේ.

මෙසේ බලන විට පුංචි සතකු මිනිස් ජීවිතයට විශාල බලපෑමක් කරන්නකැයි හැඟේ. පුංචි හූනා ලොකු වැඩකාරයෙක් ලෙස පෙනී යයි.

හූනා වසන්නේ ගොඩබිමය. කිඹුලා වසන්නේ ජලයෙහිය. දෙදෙනා ඥාතිත්වයෙන් සහෝදර බව අදහසය. වතුරේදී කිඹුලාගෙන් පහර කා ගෙදර යන අයෙකුට තමුසෙ මගෙන් බේරුණාට මගෙ මල්ලි ගෙදර ඉන්න බව මතක තබාගන්නයි කිඹුලා කියන බව කියැවේ. මේ නිසා කිඹුලාගේ පහරකින් බේරී ආ තැනැත්තාට හූනාගෙන් කරදරයක් නොවන සේ තබාගැනීමට කටයුතු කරන බව ද කියැවේ. පුංචි හූනෝ මෙපරිදි බලන කල නුඹ ලොකු වැඩකාරයෙක් ලෙස පෙනී යනු ඇති බව මම හූනා කියන්නා සේ කියමි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.