යකැදුරාටම පාරාවළල්ලක් වන පිල්ලි

නොවැම්බර් 29, 2024

පිල්ලි යැවීම පිළිබඳව අප විසින් ලියන ලද පළමු ලිපිය කියැවූ, අප හිතවත් ගුප්ත විද්‍යා ගවේශකයකු වූ විශ්ව ශක්ති පර්යේෂක මෙරිසන් අතුකෝරළ මහතා පැවසුවේ, පිල්ලි යැවීම නම් ගුප්ත විද්‍යාත්මක ක්‍රමවේදය නීත්‍යානුකූලව තහනම් කළයුතු අපරාධයක් සේ සැලකිය යුතු බවය.

සිය ගවේෂණාත්මක කටයුතු සඳහා පිල්ලි යැවීම ඇතුළු භයානක මන්ත්‍ර ගුරුකම් පිළිබඳව ද තොරතුරු ඔහු විසින් එකතු කර තිබූ අතර, ඒවා අනෙක් මිනිසුන්ගේ ජීවිත මොන තරම් ඛේදජනක තත්ත්වයකට පත්කළ හැකිද යන්න ඔහු අපට පෙන්වා දුන්නේය.

ඒ සඳහා තමා විසින් රැස්කර ගත් භයානක සිද්ධීන් දෙක තුනක් පිළිබඳව අපට පැවසූ නමුදු හෙතෙම අවධාරණය කළේ මොන හේතුවක් නිසාවත්, තමා කිසිසේත්ම මේ ක්‍රියාදාමයන් අනුමත නොකරන බවය. මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ එම තොරතුරු මුල්කර ගනිමින් සැකසෙන ලිපියකි.

එක්තරා පුද්ගලයකු විසින් තමන්ගේ සීයාගේ තාත්තා කෙනෙකු ලැබූ අත්දැකීමක් පිළිබඳව අතුකෝරාළ මහතාට විස්තර කර තිබුණේ මේ අයුරිනි. යන්ත්‍ර ගුරුකම් ගැන හසළ දැනුමක් ලබා සිටි ඔහු දිනක් සිය මිදුල මධ්‍යයෙන් කුකුළු පැටවෙකු දෘශ්‍යමාන වන අන්දම දැක තිබේ. එහි විශේෂත්වය වූයේ එම සත්ත්වයා කොටස් වශයෙන් දර්ශනය වී පසුව එක සත්ත්වයෙකු ලෙස පෙනෙන්නට වීමය.

ඉන් මොහොතකට පසු ඒ අයුරින්ම තවත් කුකුළු පැටවකු දකින්නට ලැබුණු අතර, මේ සත්ත්වයින් දෙදෙනාම ප්‍රහාරයකට සූදානම් වන්නාක් මෙන් තමා දෙසට ඇවිදගෙන එන බවක් ඔහුට දැක ගැනීමට හැකි වී තිබේ. ඉක්බිති මේ ආකාරයෙන්ම තවත් සතුන් හත්අට දෙනෙකු ප්‍රාදූර්භූත වූ අතර, සියල්ලන්ම පෙළ ගැසෙන්නේ කුමකටදැයි මන්ත්‍රාචාර්යවරයාට සැණෙකින් වැටහී ගියේය.

මාස කීපයකට පෙර දුර බැහැර මලයාලී මන්ත්‍රාචාර්යවරයෙකු සමඟ ඇති වූ ආරෝවද, ටික දිනකින් තමාගේ හපන්කම් පෙන්වන බවට ඔහු තමාට කළ අභියෝගයද මොහොතකින් ඔහුගේ සිහියට ආවේය.

වහාම මන්ත්‍රයක් ජපකොට මිදුලේ පසෙක තිබූ කූඩුවකට එන එන කුකුළු පැටවා ඇතුළු කළ හෙතෙම කුස්සියේ ගෙනවිත් තිබූ අමුමස් කුට්ටිය ගෙන එයට මතුරා උල්පිහියකින් ඇන මිදුල ඉදිරිපිට කිරි ගසෙක රැඳවීය.

ඉක්බිති වහ වහා සිය මන්ත්‍ර පෙට්ටිය විවෘත කළ හෙතෙම අවශ්‍ය අඩුමකුඩුම එක්රැස් කර ගනිමින් ආවේශ වූවෙකු මෙන් බලගතු මන්ත්‍රයක් ජප කරන්නට විය.

නිශ්චිත වේලාවක් මැතිරීමෙන් අනතුරුව මස් කුට්ටිය රඳවා තිබූ ගස දෙසින් අද්භූත ශබ්දයක් පැන නඟින්නට පටන් ගත් අතර, කුකුළු පැටවුන් දමා තිබූ කූඩුව ඉබේම විවෘතව සියලු පැටවුන් අතුරුදහන් වී තිබිණි. ගසෙහි අමුණා තිබූ මස් කුට්ටියද දක්නට නොලැබිණි.

ඒ ආකාරයට කුකුළු පැටවුන් ලෙස ඔහු ඉදිරියට පැමිණ ඇත්තේ තම ප්‍රතිවාදී මලයාලි යකදුරු විසින් එවන ලද පිල්ලියක් බව මේ මන්ත්‍රාචාර්යවරයා විසින් ප්‍රකාශ කර තිබේ.

මලයාලි ඇදුරාට වඩා බලසම්පන්න හැකියාවක් තිබූ හෙයින් මේ මන්ත්‍රාචාර්යවරයාට එම අනතුරෙන් මේ ආකාරයට ගැලවීමේ හැකියාව ලැබී ඇත. කොතරම් යක්ෂයන් භූතයන් සමඟ කටයුතු කරනු ලැබූවත් ඒ සියල්ලටම ඉහළින් තිසරණය ගැන විශ්වාසය තබා බුදුන් නැමදීම තමාගේ ආරක්ෂාවට හේතු වූ බව ඔහු හැමවිටම පාහේ ප්‍රකාශ කර ඇති දෙයකි.

මේ අන්දමට තෙරුවන් නැමදීම නිසා භයානක පිල්ලියකින් ජීවිතය බේරාගත් එක්තරා වෙළෙන්දෙකු සහ ඔහුගේ පිරිස පිළිබඳ කතාවක් අප රටෙහි ප්‍රකට සාහිත්‍ය රත්නයක් වූ සද්ධර්ම රත්නාවලියේ එන බවද අතුකෝරාළ මහතා අපට සිහිපත් කර දුන්නේය. එය නන්ද නැමැති තරුණ වෙළෙඳ නායකයාගේ කතා වස්තුවයි.

පෙර විසූ එක්තරා ඇමතිවරයකු රාජ්‍ය සංවිධාන කටයුතුවලට අදාළ රාජකාරියක් සඳහා මාගම්පුරයට පැමිණියේ ය.

අමාත්‍යවරයා පිළිගැනීම සඳහා මහත් උත්සවයක් සංවිධානය කර තිබූ අතර, මේ කටයුතුවලට සහභාගී වූ රූමත් තරුණ කාන්තාවක කෙරෙහි ඔහුගේ සිත ඇදී ගියේ ය.

බරපතළ ස්ත්‍රී ලෝලියෙකු වූ ඇමතිවරයා මේ තරුණ ස්ත්‍රීයගේ වතගොත සොයා බැලීමේදී ඇය එක්තරා වෙළෙඳ නායකයෙකුගේ බිරිඳ බවත්, හෙතෙම මේ වන විට නෞකාවකින් සාගර තරණයේ යෙදී සිටින බවත් දැන ගැනීමට ලැබිණි.

විවිධාකාර චාටු කතා බස්වලින්ද, තෑගි බෝග පිරිනැමීමට මෙන්ම මහත් ධනයක් පරිත්‍යාග කිරීමට පොරොන්දුවීමෙන්ද ඇයව තම වසඟයට පත්කර ගැනීමට ඇමතිවරයා විසින් ගනු ලැබූ සියලු උත්සාහයන් ව්‍යාර්ථ වී ගියේ ය. අවසානයේ දී ඔහු ඉල්ලා සිටියේ සැමියා අතැර පැමිණ තමා හා විවාහ වන ලෙසය.

ඔහුගේ නිරන්තර කන් කරච්චලයෙන් බේරෙනු පිණිස අවසානයේ ඇය පැවසුවේ සැමියා යම් කිසි දිනෙක මියගියහොත් විනා තමා කිසි දිානක වෙනත් පුරුෂයකු නොපතන බවය.

ඇය විසින් පවසන ලද මේ ප්‍රකාශය තම වාසිය පිණිස යොදාගත් සල්ලාල අමාත්‍යවරයා ඉතා දරුණු තීරණයකට එළඹීයේ ය. එය නම් හැකිතාක් ඉක්මනින් ඇගේ සැමියා වන මේනන්ද නම් කෙළෙඹි පුත්‍රයා මිය පරළොව යාමට කටයුතු සැලැස්වීමට ය.

මේ සඳහා මන්ත්‍ර ශාස්ත්‍රයෙහි හසළ දැනුමක් සහිත යකැදුරෙකු හමු වූ ඇමතිවරයා සිය අභිප්‍රාය ඉටුකර දෙන ලෙස පැවසුවේ ඔහුට විශාල ධනයක් පිරිනැමීමට පොරොන්දු වෙමිනි.

යකැදුරුතැනගේ යෝජනාව වූයේ ඉතාමත් භයානක පිල්ලියක් යවා වෙළෙඳ පුත්‍රයාව සයුර මධ්‍යයේම නසා දැමීමය.

ඇමතිවරයා ඊට එක පයින් කැමැත්ත පළකළ අතර, යකැදුරුතැන අමු සොහොනකට ගොස් මළ සිරුරකට ජීවම් කොට පිල්ලියක් ලෙස එයට පණ ලබා දුන්නේ ය. ඉන් පසු මතුරන ලද අසිපතක් පිල්ලිය අතට පත්කොට කළ යුත්ත නියම කළේය.

වියරු ඝෝෂාවක් නගමින් යක්ෂයෙකු සමුදුරට ඉහළින් නෞකාව වෙත ළංවෙනු දුටු වෙළෙඳ නායකයා, එය තමා ඇතුළු පිරිස නසා දැමීමට පැමිණෙන පිල්ලියක් බව ඉතා හොඳීන් අවබෝධකර ගත්තේය.

නිරන්තරයෙන් තිසරණ සරණ සමාදන්ව සිටි වෙළෙඳ නායකයා තම පිරිස අමතා පන්සිල්හි පිහිටා බුදුන් සිහිපත් කරමින් දිගින් දිගටම ඉතිපිසෝ ගාථාව මතුරමින් සිටින ලෙස පිරිසට දන්වා සිටියේය.

වෙළෙඳ නායකයා සහ පිරිසද ඒ අනුව කටයුතු කළ අතර පිරිසට කිසිම අනතුරක් කළ නොහැකි වූ යක්ෂයා ආපසු යකැදුරුතැන වෙත පළා ගියේ ය. ඉක්බිති වඩාත් ප්‍රබල ජීවමක් මඟින් යළිත් පිල්ලිය නැවතත් නෞකාව වෙත එවීමට යකදුරුතැන උත්සාහ ගත්තේ ය. එහෙත් එවරද පිල්ලියට සිදු වූයේ බුදු ගුණ ඉදිරියේ පසු බැසීමටය. යකැදුරා නැවතද පිල්ලිය වඩාත් බලගන්වා නෞකාව වෙතට එවීමට සමත් වුවද, එවරද පිල්ලියට සිදු වූයේ පසු බැසීමට ය. නමුත් පිල්ලි යැවීම ක්‍රමවේදයේ පවතින නීතිරිති වලට අනුව යකැදුරා විසින් යවනු ලබන පිල්ලියට වඩා ඔහු ඉලක්ක කරන තැනැත්තා බලවත්වු කල්හි සිදුවන්නේ යකදුරා පිල්ලියේ ගොදුරක් බවට පත්වීමය. ඒ අනුව මෙහිදී ද සිදු වූයේ එවැනිම ඛේදවාචයකි.

කෝපයට පත් පිල්ලියගේ ප්‍රහාරයට ලක් වූ යකදුරා ඇමතිවරයා ඉදිරියේ නහයෙන් කටින් ලේ දමමින් මැරී වැටුණේ ය. සිද්ධියෙන් බරපතළ ලෙස බියට පත් අමාත්‍යවරයා රාජ්‍ය උත්සවය නිමවිමත් සමඟ සිය ගම්රට බලා පලා ගියේ ය.

එහෙත් අප මෙහි මුලින් සඳහන් කර ඇති ආකාරයට පිල්ලි යැවීම් උදෙසා අසන්නටත් බියක් දැනෙන ආකාරයේ ක්‍රමවේද වැඩිපුර භාවිත කර ඇත්තේ දකුණු ඉන්දියාවේ කොචින් සහ ට්‍රැවන්කෝර් යන ප්‍රදේශවාසීන් ය. ඒ අතරින්ද මේ ප්‍රදේශවලද ඉතා පහත් යයි සම්මත කුලවල දුප්පත් ජනයාවීම විශේෂත්වයකි.

අනෙකුත් පිල්ලි යැවීම් ගැන සසඳා බලන කල ශිෂ්ට සමාජයේ ඇඟ කිළිපොළා යන ආකාරයේ ම්ලේච්ඡ ක්‍රියා මාර්ගයක් ඔවුහු සිය පිල්ලි ගුරුකම් සඳහා භාවිත කරති.

මේ සඳහා ඔවුන්ගේ මන්ත්‍ර ගුරුකම් ක්‍රමවේද වඩාත් භයානකවීමට හේතු වී ඇත්තේ සියල්ලටම පළමු ..පිල්ලි තෙල්.. ලබා ගැනීමේ කටයුත්තට මුහුණදිමට සිදු වී තිබීමය. එය ඉතාමත් භයංකරය.

(විශ්ව ශක්ති ගවේශක මෙරින්සන් අතුකෝරාළ මහතා සමඟ සාකච්ඡාවකිනි)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.