යුරේනස් වක්‍ර ගමනින් මේෂයට තාක්ෂණික හා කාලගුණික විපර්යාස රැසක්

දෙසැම්බර් 13, 2024

2024 දෙසැම්බර් මස 13 උදේ 11.20 ට යුරේනස් ග්‍රහයා කුජ හිමි මේෂ රාශියට පැමිණෙන්නේ, කුම්භ ලග්න තත්කාලයක් උදාව ඇති මොහොතක සඳු ග්‍රහයාද කුම්භ රාශියේ ගෝචර වන අවස්ථාවකයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ, යුරේනස් ග්‍රහයා සෘජු ගමනකින් නොව වක්‍ර ගමනකින් මේෂ රාශියට පිවිසීමයි. සාමාන්‍ය ග්‍රහ ගමනකින් රාශි මාරුවක් වනවාට වඩා මෙහි වෙනසක් ඇති අතර ලෝකයත ඡ්‍යොතිෂය තුළ භූ දේශපාලනික විපර්යාසවලදී මන්දගාමී ග්‍රහයෙක් වක්‍ර ගමනින් පෙර රාශියට පිවිසීම විශේෂ කරුණකි. පෙරදිග ඡ්‍යොතිෂය තුළ ඉන්ද්‍ර ලෙසින් හඳුන්වන යුරේනස් යනු ස්වභාවයෙන්ම යුග පෙරළිකාරක ග්‍රහයෙකි. නවෝත්පාදනයන්, විද්‍යා හා තාක්ෂණ, හදිසි විපර්යාසයන්, නිදහස්කාමී විප්ලවීය පරිවර්තනයන් ගැන නිවේදනය කරන යුරේනස් සටන්කාමීත්වය සහ ආවේගශීලී බව නියෝජනය කරන මේෂ රාශියට වක්‍රව පිවිසීම මත මෙතෙක් පැවති පද්ධතීන් හි සාමූහික වෙනසක් ඇති කරවන බවත් ලොව පුරාම විස්මිත සිදුවීම්වලට මඟ විවර වන බවත් පෙන්වයි.

අවසන් වරට යුරේනස් මේෂ රාශිගතව සිටියේ 1928 - 1935 කාලයේ සහ 2011 -2019 කාල සීමාවන්හිදීය. මානව ඉතිහාසයේ නව යුගයකට පිවිසීම පිළිබඳව ඉඟි ගණනාවක්ම ඉදිරි කාලය තුළ දක්නට ලැබෙනු ඇත. විශේෂ සන්ධිස්ථානයක් ලෙස මනෝවිද්‍යා සහ මනෝ ප්‍රතිකාර ක්ෂේත්‍රය තුළට නව තාක්ෂණය මුසුවීම සහ පර්යේෂණ ක්‍රියාදාමයන් නිසා එකී ක්ෂේත්‍රය තුළ නව පිම්මක් තබන බවද ඉඟි කරයි. මිනිස් මොළය සම්බන්ධ පර්යේෂණ ගණනාවක්ම ලොව තුළ සිදුවෙන අතර නව බුද්ධිමය අදහස් හා මිනිස් හැඟීම් වඩ වඩාත් තාක්ෂණයට මුසුවන කාලයක් ලෙස ඉදිරි කාලය හැඳීන්විය හැකිය.

කාලගුණ මෙන්ම දේශගුණ විපර්යාස සහ විවිධ විෂමතාවයන් ගණනාවක්ම සිදුවීමේ ඉඩක් ඉදිරි දිනවලදීත් පෙන්වන අතර කුම්භ ලග්න ලංකා කේන්ද්‍ර සටහනේ තුන්වැන්න නියෝජනය කරන තැපැල්, දුම්රිය, විදුලි සංදේශ, ගමනාගමන, සන්නිවේදන, මාධ්‍යය, ලේඛන සහ සාහිත්‍ය අංශයන්හිද යම් වෙනස්කම් සිදුවන බව පෙනෙයි. දුම්රිය අනතුරු, වාහන අනතුරුවල වැඩිවීම් මෙන්ම අනපේක්ෂිත පිපිරීම්, නායයෑම් හෝ භූ චලන ආදිය පිළිබඳව ද විශේෂ අවධානයක් දිය යුතු කාලයක් ලෙස වසරේ අවසාන කාලය හැඳීන්විය හැකිය.

පාරම්පරික වෛද්‍ය, ඡ්‍යොතිෂ වාස්තු හා ගුප්තවිද්‍යා උපදේශක

රවිශංඛ සේනානායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.