දේහ ලක්ෂණ බලා සහකාරිය තෝරගන්න

සැප්තැම්බර් 22, 2023

 

විවාහ අපේක්ෂාවෙන් සිටින ඔබ සහකාරියක් තෝරා ගැනීමේදී ඇයගේ ගතිගුණ හා චරිතය පිළිබඳව යම්කිසි දැනුමක් ඔබට ලබාගත හැකි නම් එය ඔබේ විවාහ ජීවිතය වඩාත් සුබදායක වීමට හේතුවක් වනු ඇත. ඒ සඳහා ඇය තුළ පිහිටි විශේෂයෙන් බාහිරව දැකිය හැකි අශුභ දේහ ලක්ෂණ වේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට ඵලදායක වෙයි. ඒ පිළිබඳව ඔබව දැනුම්වත් කිරීමයි මේ ලිපියේ අරමුණ. අපේ පැරැණි ඍෂිවරු අශුභඵල දෙන දේහ ලක්ෂණ පිළිබඳව මේ අයුරින් දක්වා ඇත.

යම් ස්ත්‍රියකගේ නළල දික්ව පිහිටියේ නම් ඇයගේ ස්වාමි පුරුෂයා අකාලයේ මියයාමට හෝ ඔහුගෙන් වෙන්වීමට සිදුවන බවත්, නළල කෙළවර ගැට සහිතව පිහිටියේ නම් එම තැනැත්තිය සොර සිතක් ඇති සල්ලාල ගැහැණියක් බවත් පැරණි ඍෂිවරු ප්‍රකාශ කර ඇත. එමෙන්ම නළලෙහි බොහෝ රේඛා සහිතව ඇතකුගේ කුම්භස්ථලයක් හා සමාන පිරුණාවූ ස්වල්ප වශයෙන් රෝම සහිතවී නම් ඇය ස්වල්ප වේලාවකට හෝ ඉඩ ලද හොත් සල්ලාල ක්‍රියාවන්හි යෙදෙන අතිශයින්ම රාගාධික අනේක දුක් ලබන රෝගයන් වැලඳෙන දාසියක් හා සමානව කටයුතු කරන ස්ත්‍රියක් වන්නීය.

දුන්නක් ආකාරයෙන් ඇහි බැමි ඇති ස්ත්‍රිය ද, නීලවර්ණ ලොම්වලින් පිහිටියා වූ ඇහි බැමි ඇති ස්ත්‍රිය ද කාම සම්පත් හා වස්තු ලබන රාගාධික තැනැත්තියක වේ. යම් ස්ත්‍රියකගේ පයෙහි මහපට ඇඟිල්ල හෝ දෙවෙනි ඇඟිල්ල පොළොවෙහි ස්පර්ශ නොවීමත්, වම් අත්ලේ දබර ඇඟිල්ල වඩා දික්වීමත් සැමියාට අවාසනාව ගෙන දෙයි. විකෘති පා ඇඟිලි පිහිටීම වඳ බව පෙන්නුම් කරයි. ස්ත්‍රියක් සිනාසෙන විට දෙකම්මුල්වල මැද වළ ගැසේ නම් ඇය පතිවෘත්තාව නැතිකර ගන්නියකි. බොහෝවිට තරුණ වියේදීම වැන්දඹු වෙන ඇය බාල වයසේදීම නිරායාශයෙන්ම විවාහ වෙයි. නැතහොත් තමන්ට වඩා වයසින් ඉතා වැඩි පිරිමියෙකු ස්වාමිපුරුෂයා කර ගනී. නමුත් විවාහ දිවිය සාර්ථක නොවේ.

ඉතා කොට බෙල්ලක් ඇති ස්ත්‍රිය දිළිඳු වන්නිය. බෙල්ල දික්ව ඇති ස්ත්‍රිය තම කුලය නසන්නීය. පළල් හැඩයෙන් යුක්තව පෙනෙන බෙල්ලක් ඇති ඇය සැඩ පරුෂ තැනැත්තියක් වෙයි.

යම් ස්ත්‍රියකගේ ඇස් දෙකින් බැගෑපත් බව පෙන්නුම් කරන්නේ ද, පිඟුවන් පැහැයෙන් යුතුවී ද ඇය දුශ්ශීල තැනැත්තියක වේ. නිතර ඇසිපිය, හෙළන ස්වභාවයෙන් යුක්තව කළු පැහැයෙන් යුක්තවන ස්ත්‍රිය ද රෞද්‍ර ගතිගුණ ඇත්තියක් වේ. අතිශයින් රෝමයන්ගෙන් ගැවසුණු උඩුතොල ඇත්තීද අතිශයින් උස්වූ ශරීරය ඇති ස්ත්‍රීයද තම සැමියාට කීකරු නොවේ.

එකිනෙකට අසමාන වූ දත් ඇති ස්ථූල වූ මුඛයක් ඇති ස්ත්‍රිය ද කළුවන් පැහැයෙන් විදුරුමසින් යුක්ත වූ තැනැත්තිය ද තම සැමියාට අහිතකර වේ. පළල් උරහිස්වලින් යුක්ත නම් අධිකාමුකය. පහතට කඩා වැටුණ උරහිස් නම් වැන්දඹු වේ. දිගු විලුඹ සහ කුලු හැඩ ඇති පතුල් අශුභය. පළල් පතුලක් හිමි නම් වංචාකාරිය. දත්කූරු කමින් නිදන කත සැමියා විනාශ කරයි.

මුහුණේ රෝම පිටේ රෝම සහ දෙපාවල රෝම ඇත්නම් ඉතා අශුභවන්නේ සැමියාටය. නාසයේ කළු ලප, දිවේ කළු ලප, අතේ ඇඟිලි ඉඟුරු අතුමෙන් පිහිටා තිබීමත්, අත්ල ඉතා කොටවීමත් විවාහයට යහපත් නොවේ. මුහුණේ වම්පැත්තේ කළු ලප තිබීමත් පිට මැද කළු ලප තිබීමත් අශුභ ලක්ෂණය.

සමහර ස්ත්‍රීන් හට අග මහත්වූ ද, මැද නැමුනාවූ ද, නාසයක් පිහිටියේ නම් ඇය පළිගන්නා වූ ද, ඊර්ෂ්‍යා කරන්නාවූ ද, ඕපාදූප කියන්නාවූ ද තැනැත්තියකි. රත් පැහැයෙන් යුත් නාසය නැවී ගිය ස්වභාවයෙන් යුක්තව පිහිටියේ නම් ඇය ස්වාමියා විසින් හැර දමනු ලැබූ ස්ත්‍රියකි. අග පැතලී වී ගිය නාසිකාව ඇති ස්ත්‍රිය අන්‍යයන්ට බැල මෙහෙවර කොට ඉතා දීන ලෙස දිවි ගෙවන්නීය.

ඉලිප්පී ගිය නහරවැල්වලින් ගැවසීගත් නළල් තලය පාපයෙන් ගැළෙන ස්ත්‍රීන් කෙරෙහි පිහිටන අංග ලක්ෂණයකි. නාසයේ මුල සිට ඉහළට විහිදුන රේඛාවකින් දෙබෑවී ගිය ආකාරයෙන් පෙන්නුම් කරන නලල් තලයක් ඇති ස්ත්‍රින් ද බොහෝවිට දැකිය හැකිය. ඇය හැට හතර මායම් දන්නීය. බෙහෙවින්ම පටු නළලින් නොමේරු මනසක් ඇති මනුෂ්‍යත්වයට නිගාදෙන පහත් ක්‍රියාවන්හි යෙදෙන ස්ත්‍රියක් හඳුනාගත හැකිය. කොතැනක ගියත් කාගේත් අවඥාවට ඔවුන් ලක්වෙන්නේ ඔවුන් තුළ ඇති එම පහත් ගති පැවතුම් නිසාමය.

ස්ත්‍රියකගේ නිකටෙහි උපන් ලපයක් ඇත්තේ නම් ඇය තමන්ට නොගැළපෙන විවාහයක් කරගන්නා බව කියැවේ. නිකටෙහි තල කැලලක් පිහිටීම ද සුබ ලකුණක් නොවේ. චංචල සිතක් ඇති එවැනි කාන්තාව දුක්බර ජීවිතයක් ගත කරන්නීය. දකුණු අත්ලෙහි තල කැලලක් පිහිටීම වස්තුභංගත්වය පෙන්නුම් කිරීමකි. ඇඟිලිවල උපන් ලප ඇතිවීම අසහනකාරි බව පෙන්නුම් කරන ලකුණක් වෙයි.

දිගු කෙස් කළඹකට අකමැති ස්ත්‍රිය හෙවත් කොණ්ඩය කොටට කපන ස්ත්‍රිය පාරම්පරික කුල සිරිත්වලට ගරු නොකරයි. අහංකාර බවින් යුක්ත වන අතර, ඔවුන් ආනාචාරශීලි වීමට ද බොහෝවිට ඉඩ ඇත. ඉබි වලිගයක් මෙන් සිහින් තුනී කොණ්ඩයක් හිමි ස්ත්‍රිය ද වාසනාවන්ත නොවේ. චරිතය අයහපත්ය. තමන් වෙතට ලක්වෙන ඕනෑම පිරිමියකු හා අනාචාරයෙහි හැසිරීමට ද පෙළඹේ. එහෙත් ගණිකාවන්ගේ තත්ත්වයට පත් නොවන්නීය. පිරිමියකුගේ මෙන් මුහුණේ රැවුල වැවෙන ස්ත්‍රිය කොතරම් ධනවත්, බලවත් පවුලක උපන්නත් අවාසනාවන්තියකි. යහපත් විවාහ ජීවිතයකට කොහෙත්ම වාසනාවක් නොමැත. විශාල දායාදයක් ඇතිව විවාහකර දුන්නත් කෙටි කලකින්ම විවාහය අසාර්ථක වනු ඇත.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.