කැලණි ගඟට පැන්න කත මරුවාගෙන් බේරූ අරිෂ්ට භංග යෝග

ජුනි 28, 2024

මෙලොව උපදින සැමගේම පැතුම දීර්ඝ කාලයක් ජීවත් වීමයි. අප යමෙකු මුණ ගැසුණු විටද ආශිර්වාද කරන්නේ “ආයුබෝවන්” කියාය. ආයුෂය සැම දෙනාටම වටිනාම වස්තුවයි. බොහෝ කලක් ජීවත් වන්නාට බොහෝ පින්කම් කුසලකර්ම කරගත හැකි වන්නේ දීර්ඝායුෂ ලැබීමෙනි.

බහුතර ශ්‍රී ලාංකිකයින්ගේ ආගම වන බුදු දහම තුළද පැවසෙන්නේ ආයුෂ ලැබීම පෙර පින් මතම සිදුවන්නක් බවය. යමෙකු තම ජීවිතය තමා විසින්ම නසා ගතහොත් ඔහුට හෝ ඇයට යළි කිසිදා මනුෂ්‍ය භවයක් නොලැබෙන බව ආගමෙහි ද ඉගැන්වේ.

ඕනෑම අයකුගේ වටිනාම වස්තුව කුමක්ද යයි ඇසූවිට එකම නිර්ව්‍යාජ පිළිතුර වන්නේ තම ‘දරුවන්’ බවයි. තම දිවි නොතකා පුද්ගලයන් තම දරුවන් රකිනු ලබයි. සතුන් පවා එසේ කරන අවස්ථාව සුලභව දක්නට ඇත.

මෙවන් පරිසරයක පවා යමකු තම දිවි නසා ගැනීමට තරම් ප්‍රබල සිතුවිල්ලක්, දැඩි සිතක් ඇති කරගන්නේ කෙසේද? එය ක්‍රියාත්මක කරනු ලබන්නේ කෙසේද? එයට බලපාන සාධක කවරේද? යනාදී පැනවලට විවිධ ක්ෂේත්‍රවලින් විවිධ පිළිතුරු සපයනු ලැබේ. ආගමික පිළිතුරු, මනෝවිද්‍යාත්මක පිළිතුරු, සමාජ විද්‍යාත්මක පිළිතුරු මෙන්ම ඡ්‍යොතිෂය වැනි ශාස්ත්‍ර අනුවද පිළිතුරු සැපයේ. අපගේ උත්සාහය වන්නේ සියදිවි නසා ගැනීමට තැත් කිරීමේ මෙවන් සිදුවීමක් පසුබිම් කොට ගෙන ඡ්‍යොතිර් ශාස්ත්‍රයේ ඉගැන්වීම් එකී පුද්ගලයාගේ ජන්ම පත්‍රය හා ගළපා ඡ්‍යොතිෂයේ ශාස්ත්‍රීය භාවය විවෘත මනසකින් යුත් බුද්ධිමත් පාඨකයාට වටහා දීමයි.

පසුගිය මස එනම් 2024ක් වූ මැයි මස 29 වැනි දින රාත්‍රි අට පසුවී විනාඩි කිහිපයක් ගතවද්දී කාන්තාවක් බෝමිරිය ප්‍රදේශයෙන් තම දිවි නසා ගැනීමේ අරමුණින් දෙගොඩ තලා පිටාර යමින් තිබූ කැලණි ගඟට පැනීමේ සිදුවීමක් වාර්තා විය.

මෙසේ ගඟට පැන සියදිවි නසාගැනීමට තැත් කළ කාන්තාවට පිහිනීමේ දක්ෂතාවයක් හෝ නොතිබී ඇති අතර මෙවන් ගංවතුර තත්ත්වයක දක්ෂ පිහිනුම් ශූරයකුට පවා පිහිනා බේරීමට ඇති ඉඩකඩ ඉතා අල්ප බව ඕනෑ කෙනෙකුට පහසුවෙන් හැඟී යයි.

තත්ත්වය මෙසේ පවතිද්දී පුදුමය නම් මේ කාන්තාව සැතපුම් පහමාරක් පමණ දිය පහරේ ගසාගෙන කඩුවෙල ප්‍රදේශයේදී කඩුවෙල පොලිසිය සහ ගම්වැසියන් විසින් බේරාගන්නා ලද අතර ඇය නිරුපද්‍රිතව ජීවත් වෙයි. මෙවන් සිදුවීමක් සිදු විය හැකිද? පුදුම සහගත නේද? ඇයගේජීවිතය ආරක්ෂා වී දිවි බේරීමට හේතු වූ ඇයගේ ජන්ම කේන්ද්‍ර සටහන අපි පරික්ෂා කර බලමු.

මේ කේන්දරයේ මාරක පවතීද?

මේ කේන්දරයට අනුව පළමු මාරකස්ථානාධිපති ‘ශනි’ ලග්නයේම වේ. ලග්නය කටක බැවින් ‘බුධ’ 12 වැන්නාධිපති ප්‍රබල පාපියෙකු ලෙස ලග්නයේම සිටියි. ලග්නයේම ශනි - බුධ සංයෝගය ප්‍රබල මාරකයක් නිර්මාණය කර ඇත.

ලග්නාධිපති 12 වැනි භාවයේය. එනම් අව චන්ද්‍රයා වැය භාවයේය. 12 වැනි භාවය ජීවිතයේ අවසානය නියෝජනය කරයි. රවිද 12 වැනි භාවයේම සිටියි. උපත සිදුවුණේ ජූලි 15 බැවින් එය අව තුදුස්වක තිථියයි. පසුදින අමාවක තිථියත් උදාවේ. රවි මුළු මහත් ආත්මය නියෝජනය කරයි. සඳු සිත නියෝජනය කරයි. ජීවය පවතින්නේ කය සහ මනසේ සුසංයෝගයෙනි. එම නියෝජනයන්ට අයත් රවි - චන්ද්‍රයා සංයෝගය 12 වැනි භාවය හෙවත් වැය භවනේ වීම මේ ජීවියාට දැඩි පීඩා ඇති කරනා පිහිටීමකි.

මෙම කේන්ද්‍රයේ දියේ ගිලීමක් පෙන්වයිද?

කේන්ද්‍ර පරීක්ෂාවේදී ලග්න කේන්ද්‍රයට මෙන්ම ඇතැම් විට ඊටත් වඩා වැදගත් තත්ත්වයක් චන්ද්‍ර කේන්ද්‍රයට හිමි වේ. බොහෝ පැරණි සම්භාව්‍ය ග්‍රන්ථවලට අනුව සෑම පිහිටීමක්ම ලග්න කේන්දරයෙන් මෙන්ම චන්ද්‍ර කේන්ද්‍රයෙන්ද බැලිය යුතු බව ඉගැන්වේ. ඒ අනුව බලන විට චන්ද්‍ර කේන්ද්‍රයේ ලග්න භාවයේම රවි + චන්ද්‍රයා සිටී. ජාතක රත්නාකරය නම් අප රටේ ලියැවුණු සම්භාව්‍ය ඡ්‍යොතිෂ ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් කර ඇත.

හිරු සඳු දෙදෙන මෙලෙසින

යෙදී සිටි කල ලග්නෙන

උපනොත් යම් කෙනෙකු නදන

දියේ ගිලීමෙන් මිය යන

ඉහත දක්වා ඇති යෙදුම මේ කේන්දරයේද දැකිය හැකිය. අකල් මරණ උදාකරන මෙවන් යෝග අරිෂ්ට යෝග නමින් හැඳින්වේ. මෙලෙස අරිෂ්ට යෝග පවතින තත්ත්වයක් තුළදී දියේ ගිලීමේ යෝග ද පවතිද්දී මේ කාන්තාව නොමැරී බේරෙයි.

ඇය නොමැරී බේරුණේ කෙසේද?

එය විද්වත් ඡ්‍යොතිෂ් ශාස්ත්‍ර ළැදි සැම හමුවේ ඇති ප්‍රබල ප්‍රශ්නයකි. මෙය මෙලෙස වීමට නම් ප්‍රබල අරිෂ්ට භංග යෝග පිහිටීම්ද මේ කේන්ද්‍රය තුළ තිබිය යුතුය. අප දැන් එය විමසා බලමු. මෙසේ සිදුවීමට නම් මේ කාන්තාවට ආයුෂ වැඩි පිහිටීමක් තිබිය යුතුය. සැබවින්ම එය මෙම කේන්ද්‍රයේම පිහිටා තිබේ. ඒ මෙසේය. ඕනෑම කේන්ද්‍රයක ආයුෂ ස්ථාන ලෙස සලකන්නේ 8,12 සහ 03 යන භාවයන්ය. අට අධිපති ග්‍රහයා ලග්නයේ සිටී නම් ආයුෂ වැඩි බව ජාතක රත්නාකාරය කර්තෘ පවසන්නේ ‘අට හිමියා සිටිකල කෙදුරට පැමිණ

තුටු කර කියව ආයුෂ වැඩි බව එතැන”

යනුවෙනි. මින් පෙනී යන්නේ මේ කාන්තාවට තරමක දීර්ඝ ආයුෂයක් හිමි බවයි. ශනි අටවැන්නාධිපති ලෙස ලග්නයට කේන්ද්‍රස්ථානයක වෙමින් මේ ආයුෂ වැඩි බව පෙන්වා ඇති බැවින් ඡ්‍යොතිෂ ඉගැන්වීම්වල සත්‍ය බව මනාව ප්‍රකට වේ. බුධද 12 අධිපති මෙන්ම 3වැනි භාවය එනම් ආයුෂස්ථාන දෙකක හිමිකරු වෙමින් ලග්නයේම සිටී. මේ පිහිටීමෙන්ද ආයුෂ වැඩි බව පෙන්වයි.

තවත් ප්‍රබල අරිෂ්ට යෝග භංග විධි පෙන්වයිද?

සැබැවින්ම එය එසේය. ඉතා ප්‍රබල අරිෂ්ට භංග යෝග 2 ක් පවතී.

1. රාහු ස්වක්ෂේත්‍රව 3 වැනි භාවයේ පිහිටයි. ඒ අනුව එය අරිෂ්ඨ යෝග භංග කරන පිහිටීමකි. එකොළොස්වැනි භාවයේ සිටින සුබයින් වන ගුරු, සිකුරු සහ යෝග කාරක කුජ විසින් දැකීමෙන් රාහුගේ ප්‍රබලත්වය තව තවත් ඉස්මතු කර ඇත.

සම්භාව්‍ය කෘතියක් වන ජාතක රත්නාකරයේ මෙය දක්වා ඇත්තේ ලග්නයෙන් 11,3,6 සිටින රාහු සුබයින් විසින් දකීද එවිට හැම අරිෂ්ට යෝග භංග වන බවයි.

2. මේ කේන්දරයේ චන්ද්‍රයා සිටින්නේ මිථුන රාශියේය. මිථුන රාශියට අධිපති ‘බුධ’ලග්නයේම වේ. ඉහත සඳහන් ග්‍රන්ථයේම සඳහන් අයුරින් සඳු සිටින රාශි අධිපතියා කේන්ද්‍රස්ථානයක වේ නම් සියලු අරිෂ්ට දෝශ භංග වන බව දක්වයි.

මෙසේ මේ කාන්තාවට දීර්ඝ ආයුෂ හිමිව මාරක පරාජය කළ හැකි අරිෂ්ට භංග වන පිහිටීම්ද රැසක් පිහිටා ඇති තත්ත්වයක් පෙන්නුම් කෙරේ.

ඇයට ගඟට පැනීමට තරම් චිත්ත පීඩනයක් දැණුනේ කෙසේද?

ඊට බලපෑ ප්‍රධානතම සාධකය නම් ජන්ම කේන්ද්‍රයේ 12 වැනි භාවයේ පීඩිතව සිටින චන්ද්‍රයා ගෝචරයෙන් 2024 මැයි 29 දින අටවැන්නාධිපති ‘ශනි’ අටවැන්න (කුම්භ) රාශියේ යෙදී සිටියදී රාත්‍රි 08.06 ට චන්ද්‍රයා කුම්භ රාශියට ඇතුළුවීමයි. චන්ද්‍ර ශනි සංයෝගය ජන්මියන්ට දැඩි චිත්ත පීඩනයක් ගෙන දීමට සමත් සංයෝගයකි. ඊට හේතුව ශනි ඉතාම සෙමෙන් ගමන් කරනා ග්‍රහයා වීමත්, චන්ද්‍රයා වේගවත්ව ගමන් කරන ග්‍රහයා වීම මෙන්ම චිත්ත කාරකයා වීමත්ය. මේ සංයෝගය ඇති විටඋත්පත්ති කේනදරයේ ද චන්ද්‍රයා පීඩිතව සිටී නම් භංග වන පිහිටීම් ද රැසක් පිහිටා ඇති තත්ත්වයක් යටතේ වුවද ඇයට ගඟට පැණීමට තරම් චිත්ත පීඩනයක් ඇතිවී තිබුණි.

ඇයට මෙවන් පීඩනයක් දැනුණේ කෙසේද?

ඊට බලපෑ ප්‍රධානතම සාධකය නම් ජන්ම කේන්ද්‍රයේ 12 වැනි භාවයේ පීඩිතව සිටින චන්ද්‍රයා ගෝචරයෙන් 2024 මැයි 29 වැනිදා අට වැන්නාධිපති ‘ශනි‘ අටවැනන වූ කුම්භ රාශියේ යෙදී සිටිය දී රාත්‍රී 08.06ට චන්ද්‍රයා කුම්භ රාශියට ඇතුළුවීමයි. චන්ද්‍ර-ශනි සංයෝගය ජන්මියන්ට දැඩි චිත්ත පීඩනයක් ගෙන දීමට සමත් සංයෝගයකි. ඊට හේතුව ශනි ඉතාම සෙමෙන් ගමන් කරන ග්‍රහයා වීමත්

චන්ද්‍රයා වේගවත්ම ග්‍රහයා වීම මෙන්ම චිත්ත කාරකයා වීමත්ය. මේ සංයෝගය ඇති විට උප්පත්ති කේන්ද්‍රයේද චන්ද්‍රයා පීඩිතව සිටී නම් එවන් ජන්මීන් හට දැඩි චිත්ත පීඩා ඇතිවේ. තීරණ ගැනීමට දැඩි බාධා ඇතිවේ. මේ වන විට ඇයට ගතවෙමින් තිබූ දසාව කේතු මහ දසාවේ කුජ අන්තර් දසාවේ සිකුරු විදශාවේ ශනි ශූක්ෂ්ම දසාව වූ අතර මෙම සිදුවීමට ශනි සූක්ෂම දසාව බලපා ඇත.

නමුත් කේතු මහ දසාවෙන් හෝ කුජ අන්තර් දසාවෙන් හෝ සිකුරු විදසාවෙන් මරණයට කිසිදු උත්තේජනයක් ලබා නොදුන් බැවින් ඇය මරණයෙන් බේරුණේය. අනතුරට මුහුණ දුන් කාන්තාව මාධ්‍යවලට ප්‍රකාශ කර ඇති අන්දමට ගඟට පැන්න විගසම ඇයට ‘අනේ මම කුමක්ද මේ කරගත්තේ’ යන හැඟීම ඇති වු බව ප්‍රකාශ වී තිබිණි. එසේ වූයේ කෙසේද?

ඇයට දෙවරක් සිතීමට අවකාශයක් නොලැබුණේ ඇයි?

මේ පැනයටද ඉතා පැහැදිලි පිළිතුරක් ඇයගේ කේන්දරයේම සටහන්ව ඇත. ඇය උපත ලැබුවේ අද නැකතේ ය. අද නැකත ‘රාහු’ ට අයත් නැකතකි. ‘රාහු’ ඉතා වේගවත්ය. උපතේදී චන්ද්‍රයා පිහිටියේ මේ රාහුගේ නැකතක බැවින් ඇයගේ සිතිවිලිද වේගවත්ය. විසිරෙන සුලුය. ඇයට එන සිතුවිලි වහා ක්‍රියාත්මක වේ. චන්ද්‍ර -ශනි සංයෝගය ගෝචරයේදී යෙදීමෙන් ඇතිවු චිත්ත පීඩාවද සිතිවිලිවල ඇති වේගවත් භාවයද පදනම් කොටගෙන ඇයට හරි වැරැද්ද තේරුම් ගත නොහැකි වුවද ඇය ජන්මයෙන්ම ලබා තිබුණු අරිෂ්ට යෝග භංග වීම් මඟින් ඇයගේ ජීවිතය ඇයට ආරක්ෂා කර දී ඇත. එය ඇයම කළ පුන්‍යකර්මයක ඵලයකි.

මින් අප බොහෝ දෙනාට ලබාගත හැකි ආදර්ශය කුමක්ද?

අප කළ පින් පව් අනුව අපට ලැබෙන දඬුවම්ද එසේම ඒවායෙන් බේරී සිටීමේ බලය ද මනා කේන්ද්‍ර පරීක්ෂාවකින් දැන ගත හැකි බවය.

තව තවත් පින් රැස් කළ යුතු බවත් කුඩා හෝ පාපයන්ගෙන් මිදී සිටිය යුතු බවත්, කර්ම හා කර්මඵල විශ්වාසයෙන් කුඩා හෝ ජන්මියකුගේ ජීවිතය නැසීමට ක්‍රියා නොකිරීමත් ජීවිතය ආරක්ෂාකාරි කිරීමට උපකාරිවන කෑම බීම්, දන්දීම, ගස්වැල් රෝපණය වැනි ක්‍රියවල යෙදීම තුළින් අප අතින් සිදුව ඇති පාප යටපත් කොට පින මතු කොට ගත හැකි බවත්ය.

විසෙන් විස නසනවා මෙන් අසුබ ග්‍රහ පිහිටීම් ද කේන්ද්‍රයේම පවතින අසුබ ග්‍රහ පිහිටීම් තුළින් භංග කළ හැකි බවට මෙම කාන්තාවගේ කේන්ද්‍ර සටහන මහා අනර්ඝ නිදසුන් සපයයි. කේන්ද්‍ර සටහන ලබාදීමෙන් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට ජීවමාන අත්දැකීමක් තුළින් ආලෝකයක් ලබාදීමට දැක්වූ සහාය පිළිබඳව ඇයට සහ ඇයගේ පවුලේ සැමට ස්තුතිවන්ත වන අතර බොහෝ දෙනාගේ හිත සුව පිණිස එය ලබා දීමෙන් ලද පින තුළින් ඇයට ඉක්මන් සුවය සහ ආලෝකවත් ජීවිතයක් ලැබේවා’යි අපි පතමු.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.