මහපොළ රටට දායාද කළ ඒරාෂ්ටකය

ජුනි 21, 2024

කීර්තිමත් දේශපාලනඥයකුව සිටි ලලිත් ඇතුලත්මුදලි මහතාගේ තදබලම ඒරාෂ්ටක කාල සීමා තුළ ඔහුට මුහුණදීමට සිදු වී ඇති සිදුවීම් පිළිබඳව කතාබහ කිරීමට අද දිනයේ දී බලාපොරොත්තු වෙමි.

ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව, ලග්නය ‘සිංහ’ වන අතර චන්ද්‍රයා 9 වැනි භාවය තුළ තැන්පත්ව ඇත. ඒ අනුව ඒ මහතාට 1977 සැප්තැම්බර් 7 වනදාත්, 1979 වසරෙහි නොවැම්බර් 4 වැනිදාත් අතර කාලය තුළ ද, 1980 මාර්තු 15 වැනිදාත්, 1980 ජුලි 27 වැනිදාත් අතර කාලය තුළද ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇත.

ඇතුලත්මුදලි මහතා මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත් වීම සහ අමාත්‍ය තනතුරක් දැරීම 1977 වසරෙහි ජුලි මාසයේ සිදු වී ඇති අතර ඒ වන විට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාවට ආසන්න වෙමින් ලග්න ඒරාෂ්ටකයේ පළමු අදියර ගත කර ඇති බව පෙනේ. 1978 වසරෙහි සැප්තැම්බර් මාසයේ දී ඇතුලත්මුදලි මහතා වෙළෙඳ හා නාවික ඇමැති පදවියට පත් වද්දී ද ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කර ඇති බව පෙනේ.

1979 වසරේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිහිටුවද්දී ද ඒ මහතා ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරමින් සිට ඇති අතර කොළඹ වරාය ලෝකයේ 138 වන ස්ථානයේ සිට 22 වන ස්ථානයට පත්ව ඇත්තේද ඇතුලත්මුදලි මහතාගේ අමාත්‍යධුර කාලය තුළය. ඒ අනුව, ලලිත් ඇතුලත්මුදලි මහතා අති ප්‍රබල ලග්න ඒරාෂ්ටක කාල සීමාවල අති විශිෂ්ට ජයග්‍රහණය ලබා ඇති බව පෙනේ.

ලලිත් ඇතුලත්මුදලි මහතා කියූ සැණින්ම අපට මතකයට එන සුවිශේෂී කරුණක් ඇත. ඒ අන් කිසිවක් නොව “මහපොළ” ශිෂ්‍යත්ව අරමුදලය. ගල්කිස්සේ මවුන්ට්පාත්හි පැවති රත්මලානේ සංවර්ධන පොළ පිළිබඳ අත්දැකීම, මහපොළ සංකල්පය ඇතුලත්මුදලි මහතාගේ සිතෙහි ඇතිවීමට හේතුව ලෙස සැලකේ.

මෙහි විශේෂත්වය වන්නේ එම කරුණ සිදු වී ඇති 1979 වර්ෂය වන විටද ඇතුලත්මුදලි මහතා ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරමින් සිටීමය. ඒ අනුව, දැයේ දුවා දරුවන් දහස් ගණනකගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් බිහි වූ මහපොළ ශිෂ්‍යත්ව අරමුදල නම් වූ උදාර සංකල්පය ඒ මහතාගේ සිත තුළ ඇති කරවීමට ප්‍රබල ඒරාෂ්ටක කාල වකවානුව බාධාවක් නොවී ඇති බව පෙනේ. එනම් අති ප්‍රබල ඒරාෂ්ටක කාලවකවානුවල ජීවිත කාලය පුරාම ප්‍රයෝජනයට ගත හැකි වටිනා අදහස් පවා සිතෙහි ඇති වන බව පෙනේ.

මීට අමතර ලෙස, ලලිත් ඇතුලත් මුදලි මහතාට 1937 පෙබරවාරි 25 වැනිදාත්, 1939 අප්‍රේල් 27 වැනිදාත් අතර කාල සීමාව තුළ අතිප්‍රබල අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වී ඇති බව පෙනේ. එම කාලය තුළ ඒ මහතාගේ පදිංචි ස්ථානයෙහි වෙනසක් සිදු වී ඇත.

එමෙන්ම, ඇතුලත්මුදලි මහතාට, 1939 අප්‍රේල් 27 වැනිදාත්, 1941 ජුනි 18 වැනිදාත් අතර කාලසීමාව තුළද, 1941 දෙසැම්බර් 14 වැනිදාත්, 1942 මාර්තු 4 වැනිදාත් අතර කාලසීමාව තුළද ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව පෙනේ. ඒ මහතා රාජකීය ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් වීම සහ කොළඹින් නික්ම උඩුගම්පොල පදිංචියට යාම සිදු වී ඇත්තේ මේ තදබල ඒරාෂ්ටක කාල වකවානුව තුළය.

ලලිත් ඇතුලත්මුදලි මහතාට 1948 ජුලි 26 වැනිදාත්, 1950 සැප්තැම්බර් 20 වැනිදාත් අතර කාල සීමාව තුළ ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇත. මේ තදබල ඒරාෂ්ටක කාල වකවානුව තුළ ඒ මහතා රාජකීය විද්‍යාලයීය ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී එහි හොඳම ශිෂ්‍යයා ලෙස ත්‍යාග ලබා ඇති අතර රාජකීය ප්‍රාථමිකයෙන් රාජකීය විද්‍යාලයට ඇතුළත්ව ඇත්තේද මේ කාල සීමාව තුළය.

එමෙන්ම මේ තදබල ඒරාෂ්ටක කාල සීමාව තුළ, ඇතුලත්මුදලි මහතා ක්‍රීඩකයෙකු ලෙස ද කැපී පෙනෙන දක්ෂතා පෙන්වා ඇත. ඒ අනුව විදුහල තුළ ඒ මහතා, ප්‍රසිද්ධ චරිතයක් බවට පත්ව ඇත්තේ මේ තදබල ඒරාෂ්ටක කාලයේදීය. මීළඟට 1966 අප්‍රේල් 9 වැනිදාත්, 1966 නොවැම්බර් 2 වැනිදාත් අතර කාලය තුළ සහ 1966 දෙසැම්බර් 20 වැනිදාත් 1968 ජුනි 17 වනදාත් අතර කාලය තුළ ලලිත් ඇතුලත්මුදලි මහතාට ප්‍රබල අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වී ඇත. එම ප්‍රබල අෂ්ටම ඒරාෂ්ටක කාලය තුළ ඒ මහතාගේ විවාහය සිදු වීම සහ නීති විද්‍යාලයෙහි කථිකාචාර්යවරයෙකු ලෙස තේරී පත් වීම සිදු වී ඇත.

එසේනම් ඒරාෂ්ටක කාල සීමා තුළ අසුබ පල පමණක් ලැබෙන්නේ යැයි පවසන්නේ කෙසේද? 1968 ජුනි 17 වැනිදාත්, 1968 සැප්තැම්බර් 28 වැනිදාත් අතර කාලය තුළද, 1969 මාර්තු 7 වැනිදා 1971 අප්‍රේල් 28 වනදාත් අතර කාලය තුළද ඇතුලත්මුදලි මහතාට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇත.

ඒ අනුව 1970 වසරේ ආසනයක් තරග කිරීම සඳහා ඩඩ්ලි සේනානායක මහතාගෙන් ඇතුලත්මුදලි මහතාට ආරාධනයක් ලැබෙන විට ඇතුලත්මුදලි මහතාගේ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරමින් සිට ඒ බව පෙනේ.

කෙසේ වෙතත් ලලිත් ඇතුලත්මුදලි මහතා ක්‍රියාකාරී දේශපාලනයට පිවිස ඇත්තේ 1973 වසරේදී අගලවත්ත ආසනයේ සංවිධායක ධුරය භාර ගැනීමෙන් වන අතර ඒ වන විට ඒ මහතා ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත කරමින් සිට ඇත. ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීම ඒ මහතාගේ ජීවිතයේ තීරණාත්මක සංධිස්ථානනයක් නිසා ජීවිතයේ තීරණාත්මක සංධිස්ථාන ඒරාෂ්ටක කාල වකවානුවලදී ඇති වන බව යළිත් වතාවක් තහවුරු වෙයි.

මීළඟට ඒරාෂ්ටක කාල වකවානුවලදී නොසිතූ සුබ ප්‍රතිඵල ලැබුණ මා ඉතාම හොඳින් දන්නා විශේෂඥ වෛද්‍යවරියක පිළිබඳව කතාබහ කරන්නට බලාපොරොත්තු වෙමි. ඇයගේ ලග්නය ‘මේෂ’ වන අතර චන්ද්‍රයා 11 වැනි භාවය තුළ තැන්පත්ව ඇත. ඒ අනුව ඇයට 2023 වසරෙහි ජනවාරි සිට 2025 වසරෙහි අප්‍රේල් 1 වැනිදා දක්වා කාල සීමාව තුළ ජන්ම ඒරාෂ්ටකයේ පළ වන අදියර ගත වෙයි.

ඒ අනුව ඇය ඉහත කී කාල සීමාව තුළ මීට මාස කිහිපයකට පෙර දිනයක් දක්වා එංගලන්තයේදී විශේෂඥ වෛද්‍ය පුහුණුව ලැබූ අතර මේ වන විට විශේෂඥ වෛද්‍යවරියක ලෙස රජයේ ප්‍රධාන රෝහලක සේවය කරයි.

කෙසේ වෙතත් එංගලන්තයේ විශේෂඥ වෛද්‍ය පුහුණුවෙන් පසු මෙරටට පැමිණි ඇයට ගත වූ මාස කිහිපය තුළ, ඇයගේ මෝටර් රථය බලාපොරොත්තු රහිත ලෙස අනතුරුවලට ලක් වන ලදී. එම කිසිදු අවස්ථාවකදී ඇයට කිසිදු තුවාලයක්වත් සිදු නොවුණ ද ඇයගේ මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වූ අතරම ඇය මානසික වශයෙන් දැඩි සේ කම්පනයට පත් විය. ඒරාෂ්ටක කාලවල නරක මෙන්ම හොඳ ද සිදුවන බවට මේ උදාහරණ සාක්ෂි ලෙස ගත හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.