ඡ්‍යොතිෂයෙන් අනාගතය කියූ කතුවරයා

ජුනි 30, 2023

කැප්ටන් චන්ද්‍ර ශ්‍රී කුලරත්න

අද හොඳ දවසක්. තරු පිරුණු රෑ අහස දෙස බැලූ ඔහුට ඉබේටම කියැවිණි. පැහැදිළි අහසේ තරු පන්ති රූ රටා අදිමින් දිළෙයි. සඳ පායාගෙන එන අහස් කුස පැහැදිලිව පෙනෙන මෙවැනි රාත්‍රීන්වලට ඔහු බොහෝ සේ ඇලුම් කරයි. සුපුරුදු පරිදි එළිමහනට පිවිසෙන ඔහු තම දෙනෙතින් තරු රටා පිළිබඳ විමසිලිමත් වෙයි. ඒ අතර පැහැදිලි තරු රටාවක් ඔහුට නිරීක්ෂණය වෙයි. තව තවත් ඒ ගැන සොයා බලන්නට ඔහු උත්සුක වෙයි.

 

දෝ සිරිත

එම තරු රටාව ගැන තම අත වූ සටහන් පොතේ සීරුවට සටහනක් තබන ඔහු අනතුරුව තම දරුවන් සිවු දෙනා එතැනට කැඳවයි. ඔවුන්ට ද එම තරු රටා නිරීක්ෂණය කරන්නට දෙයි. ඒ ගැන නොයෙක් ප්‍රශ්න විචාරයි. පසුව එම විශේෂ තරු පන්ති පිළිබඳව දරුවන්ට විස්තර කර දෙයි. එනිසාම අහසේ තරු රටා, ග්‍රහලෝක, උල්කාපාත, ආකාශ වස්තු ගැන තම වයසේ අනෙක් දරුවන්ට වඩා වැඩි වැටහීමක් අවබෝධයක් මේ දරුවන් සිවුදෙනාට තිබිණි. තමා අහස් කුස නිරීක්ෂණය කරන මොහොතේ කුමන තරාතිරමක කවරකු එතැන සිටියද එම පුද්ගලයාට ද තරු රටා ගැන පැහැදිලි අවබෝධයක් ලබා දෙන්නට කැප්ටන් චන්ද්‍ර ශ්‍රී කුලරත්න මහතා දෙවරක් නොසිතයි. ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු, ඡ්‍යොතිෂවේදියකු වූ තම පියා මියගොස් වසර ගණනාවක් ගතව තිබුණ ද ඔහුගේ දෛනික චර්යාවන්, ඔහු ගේ හැකියාවන් ඔහු සතු දැනුම මෙන්ම ඔහු ඡ්‍යොතිෂය වෙනුවෙන් කළ පර්යේ්ෂණ, ග්‍රහ වස්තු සහ තරු රටා විශ්ලේෂණ කටයුතු පිළිබඳ මේ දරුවනට එදා මෙන්ම අද ද ඇත්තේ අතිශය මිහිරි පැහැදිළි මතකයකි. එලෙස හැමදාමත් තරු රටා ග්‍රහ පන්ති සමඟ කාලය ගත කරමින් පුවත්පත් කලාවේ විවිධ ඉසවු සොයා ගිය කැප්ටන් චන්ද්‍ර ශ්‍රී කුලරත්න ශූරීන් යනු මෙරට බිහිවූ විශිෂ්ට චරිතයකි. ප්‍රවීණ ඡ්‍යොතිෂවේදියෙකි. මේ ලියැවෙන්නේ ඔහු ගේ කතාවයි.

 

උපත

ඒ 1927 ඔක්තෝම්බර් මස 18 වැනිදාය. කැලණිය පට්ටිවිල සේපාලිස් අප්පුහාමි සහ එල්සො හාමිනේ හෙට්ටිආරච්චි යුවළට දාව පින්වත් කුල කුමරුවකු ඉපදුණි. මේ පින්වත් කුමරුවා මෙලොව එළිය දකින අවස්ථාවේ නැඟෙනහිර ක්ෂිතිජයේ උදාව පැවැතියේ වෘශ්චික ලග්නයයි. උපන් වේලාව අනුව යහපත් ග්‍රහ පිහිටීමකි. උත්පත්ති කේන්දරයට අනුව මේ කුමරුවාට චන්ද්‍ර ශ්‍රී කුලරත්න නාමය තැබිණි. කේන්දරයට අනුව කියැවුණේ කෙදිනක හෝ රටේ කීර්තිමත් පඬිවරයකුවන බවයි. කුඩා කල සිටම ඔහු පෑ දස්කම්වලින් මේ බව මවුපියන්ට පැහැදිලි විය. එනිසාම තම කුඩා පුතු අධ්‍යාපනයෙන් හා ඥානාලෝකයෙන් ඉහළට යන්නකු වනු දැකීම මවුපියන්ගේ බලාපොරොත්තුව විය.

අධ්‍යාපනය

කුඩා චන්ද්‍ර ශ්‍රී මුලික අධ්‍යාපනය සඳහා ඇතුළත් කරනු ලැබුවේ උගතුන් රැසක් රටට දායාද කළ කැලණිය ධර්මාලෝක විදුහලටයි. එහිම උසස් අධ්‍යාපනය හදාරන අතරතුර දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ වැඩ විසූ ධර්මධර මහා පණ්ඩිත සඟරුවන වෙතින් පාලි හා සංස්කෘත භාෂා හැදෑරීමේ වරම ඔහු ලැබුවේය. ධර්මාලෝක විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමය චන්ද්‍ර ශ්‍රී කුලරත්නයන්ගේ ජීවිතයේ පෙරළියක් කරන්නට සමත් වූ කාලවකවානුවක් විය. ඒ මන්දයත් ඔහු ධර්මාලෝක විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ එහි විදුහල්පතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ මෙරට පුවත්පත් කලාව නව මානයකට යොමු කළ පත්තර කලාවේ පතාක යෝධයා වූ ඩී.බී.ධනපාල ශූරීන්ය. ඔහු යටතේ අධ්‍යාපනය ලබන්නට චන්ද්‍ර ශ්‍රී කුලරත්නයන් වාසනාවන්ත විය. දක්ෂ සිසුවකු වූ චන්ද්‍ර ශ්‍රී පාසල් සමයේ ගුරුවරුන්ගේ සිත දිනාගත් සිසුවෙක්ම විය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය දිනාගත් ඔහු පසුව ලන්ඩන් බී.ඒ උපාධිධාරියකු ද විය. ඔහු මුල් කාලයේ දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප පිරිවෙනේ බාහිර ගුරුවරයකු ලෙස ද සේවය කළේය. උපාධිය දිනා ගැනීමෙන් අනතුරුව රුවන්වැල්ල හා හෙයියන්තුඩුව පාසල් කීපයක ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කරමින් සිසු දරුවන් රැසකට සිප් කිරි පෙවූ ආදරණීය ගුරුවරයකු විය.

පුවත්පත් කලාවට පිවිසීම

මෙසේ ගුරුවරයකු ලෙස සේවය කරමින් සිටිය දී 1949 දී පුවත්පත් කලාවට පිවිසෙන්නට ඔහුට ආරධනා ලැබුණි. ඒ තම ආදරණීය විදුහල්පතිවරයා වූ ඩී.බී. ධනපාල මහතාගෙනි. එතුමන්ගේ මඟ පෙන්වීම ඔස්සේ ටයිම්ස් ආයතනයේ මාධ්‍යවේදියකු ලෙස කලක් කටයුතු කරන ඔහු පසුව එකල ජනතාව අතර ජනප්‍රිය ශාස්ත්‍රීය සඟරාවක් බවට පත්ව තිබූ රසවාහනී සඟරාවේ කතුවරයා බවට පත් විය. පසුව සුරතුර සිනමා පුවත්පතේ කතුවරයා ලෙස ද ලංකාදීප සහ ශ්‍රී ලංකාදීප යන පුවත්පත්වල නියෝජ්‍ය කර්තෘ ලෙස සේවය කරමින් ආධුනිකයන්ට ලේඛන කලාවට එක්වීමට අතදෙමින් මෙරට පුවත්පත් කලාවට ධනපාල මහතා සමඟ එක්ව අගනා මෙහෙවරක් කරන්නට ඔහුට හැකිවිය.ටයිම්ස් ආයතනයේ සේවය කරන සමයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ද ස්වේච්ජා බලකායේ සේවයට බැඳී එහි කපිතාන්වරයකු ලෙස ද සේවය කළේය. 71 කැරැල්ල සමයේ දකුණු පළාතේ සාමය රැකීමේ මෙහෙයුම්වලට පූර්ණ දායකත්වය දුන් කුලරත්න මහතා ඌරුබොක්ක මොලොග්ගමුව වැනි ගම්පළාත්වල නොමඟට යොමු වූ තරුණ තරුණියන් පුනරුත්ථාපනය කිරීමේ කටයුතුවල නිරත විය. එකල තමන් මුහුණදුන් සිදුවීම් හා අත්දැකීම් පසුකාලයේ දී ඔහු තම හිතවතුන් හා නිතර සහිපත් කළේ භීතිය කුමක්දැයි යන්න මනාව පසක් කරමිනි. මෙනිසාම පසු කලෙක කැප්ටන් යන නාමයෙන් පුවත්පත් කලාවේදීන් අතර ඔහු ආදරයටත් ගෞරවයටත් පාත්‍ර විය. පසු කලෙක ලේක්හවුස් අයතනයේ හිටපු සභාපතිවරයකු වූ රණපාල බෝධිනාගොඩ මහතාගේ ආරා ධනාවක් පරිදි ටයිම්ස් ආයතනයෙන් ඉවත්ව ලේක්හවුසියට එක්ව කර්තෘ මණ්ඩල උපදේශකවරයකු ලෙස කටයුතු කළේය. කුලරත්න මහතා සහ ආචාර්ය බෙල්ලන ඥානවිමල මාහිමියන් අතර පැවැතියේ ශාස්ත්‍රීය මිතුදමකි. ඔහු එහිමියන් හා තවත් ඡ්‍යොතිෂවේදීන් සමඟ එක්ව ඡ්‍යොතිෂ ශාස්ත්‍රීය පරීක්ෂණවල නිරත වූයේය. එම ඡ්‍යොතිෂ ඥානය නිසාම කුලරත්න මහතා සුබසෙත පත්‍රයේ කර්තෘ පදවියට පත්ව වසර ගණනක් එහි දියුණුවට වැඩකටයුතු කළේය. ආචාර්ය බෙල්ලන ඥානවිමල හිමියන්ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා ජ්‍යෝතීර්වේදීන්ගේ සංගමය පිහිටුවීමට මුල් වූ ඔහු ආධුනිකයන්ට ජ්‍යෝතිෂවේදය ඉගෙනීමට අත දුන්නේය.

විවාහය

ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වූ කමලා ජයවීර මෙනෙවිය සමඟ විවාහ වූ චන්ද්‍ර ශ්‍රී කුලරත්න මහතා දියණිවරුන් දෙදෙනකුගේ හා පුතුන් දෙදෙනකුගේ පියෙකි. කුලරත්න මහතාගේම අඩි පාරේ යමින් පුවත්පත් කලාවේ නිරත වන්නට ඔහුගේ වැඩිමහල් දියණිය වාසනාව ලැබුවේය. ඇය ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කතුවරියක ලෙස සේවය කළ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනියක වූ සේමාලි කැල්ලපතයි. දෙවැනි දියණිය මනෝහරි කුලරත්න වෘත්තියෙන් ගුරුවරියක වූවාය. වැඩිමහල් පුතු නයනප්‍රිය කුලරත්න කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධාරියෙකි. බාල පුතු නවසිලන්තයේ ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියකු වන ඉන්ද්‍රප්‍රිය කුලරත්නයි.

 

ඡ්‍යොතිෂය පිළිබඳ දැනුම

බෙල්ලන ඥාණවිමල මහ නාහිමියන්ගේ ඇසුරින් ජ්‍යෝතිෂ ශාස්ත්‍රය මෙන්ම යක්කඩුවේ ශ්‍රී පඤ්ඤාරාම නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පාලි සංස්කෘත භාෂාවන්හි පරතෙරට ගිය චන්ද්‍ර ශ්‍රී කුලරත්නයන් තවත් භාෂා හයක් පමණ දැන සිටි පඬිවරයකු විය. සිංහල භාෂා ඥානයෙහි මහා දැනුමැත්තෙකි. හින්දි, දෙමළ, ඉංග්‍රීසි භාෂා පිළිබඳ මනා දැනුමකින් යුතු වූ එතුමා වියත් ලේඛකයකු මෙන්ම දක්ෂ පරිවර්තකයකු ද විය. කුලරත්න මහතා ලියන ලද ඡ්‍යොතිෂ ලිපි හා පර්යේෂණ පිළිබඳ ලිපි පුවත්පත්වල මෙන්ම ඉන්දියාවේ ඉංග්‍රීසියෙන් පළවන ජ්‍යෝතිෂ්‍ය සඟරාවල ද පළ විය. ඉන්දියාවේ ක්‍රිෂ්ණමූර්ති ජ්‍යෝතිෂ ක්‍රමය මෙරට ඡ්‍යොතීර්වේදීන් අතර ප්‍රචලිත කිරීමට ද එතුමා මුල් විය. වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ සිංහල විශ්ව කෝෂයේ එක් පර්ච්ඡේදයක් නැවැත ලිවීම සඳහා භාෂා විශාරද වේ.වි අබේගුණවර්ධන මහතා එක්ව කටයුතු කළේ කුලරත්න මහතායි. ඔහු සතු භාෂා දැනුම එයට මුල් විය. මේ හා සමගාමීව ජ්‍යෝතිෂය සම්බන්ධයෙන්ද කුලරත්න මහතා සතු වූයේ විසල් දැනුමෙකි. සැමදා උදෑසන පාලි ශ්ලෝක හා බුද්ධ වන්දනා ගාථා කියමින් දිනය අරඹන ඔහු නින්දට යන්නේද ශ්ලෝකයක් කියවමිණි. ඔහු ජ්‍යෝතිෂයේ විවිධ සිද්ධාන්ත පිළිබඳ මනාව දැන සිටියෙකි. තත්කාලය, ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය වැනි සිද්ධාන්ත ඔහු තම ප්‍රායෝගික වැඩ කටයුතු සඳහා යොදා ගත්තේ අන්‍යයන් මවිත කරවමිනි. එමෙන්ම සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ පන්ති ගැන මෙන්ම ලෝක ඉතිහාසය, භූගෝලය, නිල විද්‍යාව වැනි විෂයන් පිළිබඳ ඔහු සතුව තිබූ දැනුම් සම්භාරය කෙතෙක් ද යන්න ඔහුගේ පුස්තකාලය සතුව ඇති විවිධ ක්ෂේත්‍ර ගණනාවක් සිසාරා ලියැවුණු පොත් පන්දහසකට අධික ප්‍රමාණය සාක්ෂි සපයයි. තත්කාලය පිළිබඳ කොතරම් දැනුමක් ඔහු සතු වූවාද යන්න වරක් ඔහු ගැන ලිපියක් ලියූ යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය ආයුර්වේද වෛද්‍යාචාර්ය නැසීගිය කේ. ඒ ජිනදාස ශූරීන් මෙසේ පවසයි.

‘‘කුලරත්න මහතා දන්න දේ තවතවත් ඔප දැමීමට නිතරම සූදානමින් සිටියෙකි. දිනක් මම ලුවිසවත්තේ ‘සාදර‘ නිවෙසට ගියෙමි. කැප්ටන් අහසේ මුදුන්ව ඇති තරු පන්තියක් දෙස බලා සිටියේය. එදින අහසේ දිස්වුණු තරු රටා මට හඳුන්වා දුන් ඔහු පැවැසූයේ, ‘‘මං මේ එළියට වෙලා බල බලා හිටියේ අපේ ලොකු දුව නුවර ගියා.

තවම ආවේ නැහැ. අපේ නෝනා බලන් ඉන්නවා. යක්කල හන්දියට ගොස් බලන්න කියලා අපේ නෝනා කියනවා. මම කිව්වා තව විනාඩි 22කින් හරියටම ළමයා එනවා කියලා. අන්න බලන්න ඒ ගැන මම එන වෙලාව ලියපු කොළය මේසය උඩ. ‘‘ගත වූයේ විනාඩි කිහිපයකි. කුලරත්න මහතාගේ නිවෙස ඉදිරිපිට මිදුලේ වාහනයක් නැවතුණි. එයින් බැස්සේ නුවර ගිය ඔහුගේ වැඩිමහල් දියණියයි. මම මේසය උඩ තිබූ කොළය බැලුවෙමි. තත්කාලය අනුව අන්තිම තත්පරය දක්වා නිවැරැදිව ලියූ කොළය මේසය මත විය. ඩොක්ටර් බලන්නකො කොහොමද ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයේ හැටි‘‘ යනුවෙන් මදෙසට හැරුණු කුලරත්න මහතා පැවැසූයේ නිරහංකාර සිනහවකිනි. එවැනි අනාගතය ගැන විහිදුණු දැනුමක් ඔහු සතු වූයේ ඡ්‍යොතිෂය පිළිබඳව පැවැති දැනුම නිසාවෙනි. පුවත්පත් කලා ජීවිතයේ වසර 50ක පමණ අත්දැකීම් සහිතව 1994 වසරේ ලේක්හවුස් ආයතනයෙන් සමුගත්තද ඔහු සිය විශ්‍රාම දිවියේ දී ජ්‍යෝතිෂ විද්‍යාව නවකයන්ට දායාද කරමින් ඡ්‍යොතිෂය යනු ශාස්ත්‍රීය විද්‍යාවක් බව තහවුරු කිරීමට කටයුතු කළේය. මාධ්‍ය ජීවිතයේ ඉසුඹු ලැබුව ද ඔහු නිරන්තරයෙන් දැනුම සෙවූ අතර ක්ෂේත්‍ර ගණනාවක විවිධ මාතෘකා ඔස්සේ ඉංග්‍රීසි බසින් ලියැවුණු පොතපත නිතර පරිශීලනය කළේය. කුලරත්න මහතා එම් ඒ උපාධිය සඳහා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ලියාපදිංචිව ස්වයං අධ්‍යාපනයේ යෙදී සිටි බව දරුවන් දැන ගත්තේ ඔහු මියගිය පසුවය. අවුරුදු හැට නමයක් ආයු වලඳා චන්ද්‍ර ශ්‍රී කුලරත්නයන් තම දිවියෙන් සමුගත්තේ ඔහුට ආදර ගෞරව කළ කාගේත් නෙතට කඳුළක් එක්කරමිනි. ඔහුගේ වියෝවෙන් කම්පාවට පත්වූවන් එය කවියට නැඟූයේ මෙලෙසිනි.

 

දෙනුවන රැදුණු කඳුළින් නෙතු පියන් සලා

උණුසුම් කඳුළු බිඳු යයි දෙකොපුලින් ගලා

පියතුම ඔබ නිසල දේහය දෙසම බලා

හිරු සඳු තරු නිවේ වියොවින් මිලින වෙලා

 

තුෂාරි නේරංජා වික්‍රමසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.