ශනි වක්‍රයෙන් මිදෙයි - රවි වෘශ්චිකයට එයි නව ව්‍යාපෘති ඇරඹෙයි - කාලගුණය දැඩි වෙයි

පාරම්පරික ජ්‍යෝතිෂ වාස්තු හා ගුප්තවිද්‍යා උපදේශක රවිශංඛ සේනානායක
නොවැම්බර් 15, 2024

අද එනම් 2024 නොවැම්බර් මස 15 රාත්‍රී 7.51ට ශනි ග්‍රහයා වක්‍ර චලිතයෙන් මිදී සාමාන්‍ය පරිදි නිවෘත චලිතයකට පිවිසෙයි. පසුදින එනම් නොවැම්බර් 16 උදේ 07.33 ට රාජ්‍යකාරකත්වය නියෝජනය කරන ග්‍රහලොව සෙන්පති රවි වෘශ්චික රාශියට පිවිසෙයි. මේ වනවිට බුධ ග්‍රහයාද එකී වෘශ්චිකය තුළම තැන්පත්ව සිටියි. කුම්භ රාශිය යනු නිදහස් දින ගොඩ නැඟූ ලංකා කේන්ද්‍ර සටහනේ ලග්නය වන අතර සෙනසුරු එහි තැන්පත්ය. රාජ්‍යකාරක රවි කුම්භ ලග්න ලංකා කේන්ද්‍ර සටහනේ ආණ්ඩුව නියෝජනය කරන දසවැන්නවූ වෘශ්චිකයට පිවිසීම රාජ්‍ය තන්ත්‍රය කෙරෙහි බලපාන අති විශේෂ කරුණකි. මේ මොහොත වනවිට යුග පෙරළි ඇතිකරවන යුරේනස් ග්‍රහයාත් , සුරගුරු බ්‍රහස්පති ග්‍රහයාත් වෘෂභ රාශිය තුළ වක්‍ර බලයෙන් සිටින අතර කුම්භ ලග්න ලංකා කේන්ද්‍ර සටහනේ පාර්ලිමේන්තුව නියෝජනය කරන එකොළොස්වැන්නේ සිකුරු බලවත්ව පිහිටා සිටියි.

ඉහත කී සියලු ග්‍රහ රටාවන් අනුව රටේ කෘෂිකර්මය, සංචාරක, දේශීය කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, විදෙස් ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර රැසක නව ව්‍යාපෘති ගණනාවක්ම අලුතින් ඇරඹෙන බව පෙනී යයි. අන්තර්ජාතික බලවතුන්ගේ අවධානය මෙරට කෙරෙහි එල්ලවන කාලයක් එළැඹෙනු ඇත. මේ තත්ත්වය සිංහ ලග්න ජනරජ කේන්ද්‍ර සටහන තුළින් ද තහවුරු වේ. බිහිවන නව පාලනය මඟින් ජනතාවාදී අණ පනත් රැසක්ම සම්මත වන බවත් ඉදිරි මාස කිහිපයක කාලය රටට ඉතා සුවිශේෂී වූ තීන්දු රැසක් පාලක පක්ෂය විසින් ගන්නා බවත් පැහැදිලිව පෙනී යයි.

කුජ ග්‍රහයාගේ කටක රාශියේ චලිතය සහ අනෙකුත් ග්‍රහ දෘෂ්ටි තත්ත්වයන් මත වරින් වර ඇතිවන කාලගුණ විපර්යාස හේතුවෙන් මහ කන්නයේ වගාවන්ට යම් බලපෑම් ඇතිවීමේ ප්‍රවණතාවයක් ද දක්නට ලැබෙන අතර ජල විපත් මෙන්ම මාර්ග අනතුරුවල වැඩිවීමක්ද පෙන්නුම් කරයි. ඩෙංගු ඇතුළු වසංගත රෝගවල වැඩිවීමකුත් දක්නට ලැබෙන අතර අකුණු හා සුළි සුළං අනතුරුවලින් පරෙස්සම් වීම ද විශේෂයෙන් සඳහන් කළ යුතුවේ.

නීති ක්ෂේත්‍රය තුළ වෙනස්කම් රැසක් බුධ ග්‍රහයාගේ වෘශ්චික රාශි චලිතයත් ගුරුගේ ගමනත් පාදක කොටගෙන ඇති කරවන අතර ආන්දෝලනාත්මක නඩු තීන්දු රැසක්ද ප්‍රසිද්ධියට පත්වෙන කාලයක් ලෙස ඉදිරි කාලය හැඳීන්විය හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.