රවි ග්‍රහයාගේ බලපෑම පිළිබඳව

පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුර
නොවැම්බර් 15, 2024

රවි ග්‍රහයාගේ බලපෑමෙන් ජන්ම හිමියෙකුට මුහුණ දෙන්නට සිදුවන සුබඅසුබ තත්ත්වයන් පිළිබඳ සුබසෙතට පුස්සැලේ කුමාරි මහත්මිය වූ ලිපියට ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග මහත්මිය සුබ සෙතට ලබා දුන් පිළිතුරයි.

රවි ග්‍රහයා ග්‍රහලොව පියා ලෙස සලකන අතර එඩිතරකම, ධෛර්යය, වීර්‍රය, රඳා ගැනීමේ හැකියාව, නිරෝගීකම, දීර්ඝායුෂ, ප්‍රසිද්ධිය බලය, ස්ථිර ආලය, ඥානය කේන්දරයක රවිගේ පිහිටීම අනුව දැකගත හැකිය.

නවග්‍රහයන් අතරින් ප්‍රමුඛයා වනුයේ, රවි හෙවත් හිරුය. ලෝකයේ ජීවය හා පැවැත්ම හිරු මත රඳා පවතියි. ඕනෑම කේන්දරයක හිරුගේ තැන්පත් වීම එකී කේන්ද්‍ර හිමි පුද්ගලයාගේ ජීවිතය පිළිබඳව කියාපාන කැඩපත වේ.

කිසියම් කේන්දරයක රවි හෙවත් හිරු ලග්නයේ හෝ 11 වැන්නේ පිහිටීමෙන් සියලු අරිටු යෝග භංග වන සුබ පිහිටීමක් ලෙස දැක්වේ. මේෂ රාශියේදී උච්ච තත්ත්වයට පත්වන හිරු තම රාශිය වන සිංහයේදී ස්වක්ෂේත්‍ර වේ. තුලා රාශියේදී නීච වන අතර, වෘෂභ, මකර, කුම්භ, රාශි සතුරු රාශි වනු ඇත. කන්‍යා හා මිථුන රාශි සමරාශී වන අතර අනෙක් රාශීන්වන කටක, වෘශ්චික, ධනු, මීන මිත්‍ර රාශීන් වනු ඇත. රවි ලග්නයේ ඇති අය තරමක ආඩම්බරකාරී ක්‍රියාශීලී ඕනෑම දෙයක්දී ඉදිරියට යන කැපී පෙනෙන නිරෝගී අයවේ. ඔවුන්ට මනා පෞරුෂත්වයකින් හෙබි රූපයක් ඇත. කිසිවකුට යටත් වීමට අකමැතිය.

මේෂ ලග්නයෙන් ඉපදී ඇති අයගේ රවි ලග්නයේ සිටීමෙන් එය දීර්ඝායුෂ දෙන පිහිටීමක් බවට පත්වේ. හිසේ උෂ්ණාධික ගතිය නිතර පවතී.

රවි දෙවැන්නට යහපත් නොවන අතර නිතර කතාබහ කරන අයෙකු වෙයි. රවි අසුබව දෙවැන්නෙහි සිටීමෙන් දෘෂ්‍ය ආබාධ ඇතිවිය හැකිය. ධනයද හීන කරයි. රවිට සුබ රාශියක් වුවහොත් එතරම්ම අඥානයක් නොදේ. යහපත් ප්‍රතිපල උදාකරයි.

රවිට තුන්වැන්න යහපත් තැනකි. ක්‍රියා ශූරත්වයෙන් යුතු අයෙකු වන අතර නිරෝගී වේ. ඉගෙනීම දියුණුවේ. එහෙත් සහෝදරයන්ට යහපත් නැත. බොහෝවිට සහෝදරයන් සිටියහොත් ඔවුන් අතර වඩාත් කැපී පෙනෙන අයකු වනු ඇත.

රවි ග්‍රහයා 04 වැන්නෙහි පිහිටීම එතරම් යහපත් නොවේ. නෑදැයන් සමඟ හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට අපහසු වේ. රවි සතුරු රාශියක සිටියහොත්( වෘෂභ, මකර, කුම්භ) ජීවිතයේ අග කොටස ගැටලු මතුකරයි. විශේෂයෙන් ගෘහ ස්ථානය සහ සම්බන්ධව ප්‍රශ්න ඇති වීමටද පුළුවන. පවට බිය නැත. රවි උච්චව, නීචව හෝ මිතුරුව සිටියොත් ඉහත කී අසුබ පල අඩු වී යහපත් සුබ පල යෙදීමටද පුළුවන. රවී නීච වීම සාමාන්‍ය ජනයාට යහපත් වේ.

පස්වැන්නට රවි එතරම් සුබ නොවන අතර ශරීරය කෙට්ටු කරයි. දරුවන්ට අපල ගෙන දෙන අතර දරුපල හීන කරයි. එහෙත් එය නීචවීම අතින් උසස් තත්ත්වයකට පත්වීමට පුළුවන. ඥානය වැඩිදියුණු කරයි.

රවි 06 වැන්නේ තැන්පත් වීම නිරෝගීකමට හේතු වේ. සතුරන් මැඩගෙන ඉදිරියට යා හැකි අයෙකු වන අතර හැකියාවන් වැඩිදියුණු කර ප්‍රසිද්ධියට පත්වේ.

රවි 7වැන්නට එතරම් යහපත් නොවේ. විවාහය කල් පසුවන්නට ඉඩ ඇති අතර විවාහ දිවියේ දෝෂ ඇතිවිය හැකිය. හවුලේ කරන කටයුතුවලට යහපත් නොවන අතර මුදල් හා සම්බන්ධව කරන කටයුතුවලින් නඩු ඇති කර ගනියි. රවි බලවත්ව හත්වැන්නේ ඇත්නම් අසුබ පල දුරුවී සුබ පල උදාවිය හැකිය. 08 වැන්නටත් රවි යහපත් නොවන අතර යහපත් අයුරින් අටේ සිටීමෙන් විවාහයෙන් දායාද හිමි වේ. ආයුෂ හා මරණය රවි අටේ පිහිටීම අනුව වේ. රවි අටේ උච්ච නම් දීර්ඝායුෂ වේ.

අන් හැම ග්‍රහයෙකුටම මෙන්ම රවිටද 09 වැන්න යහපත් ස්ථානයක් වන අතර රවි නව වැන්නේ සිටියහොත් පියාට හිතවත් වෙයි. ඥානය දියුණු කරයි. ඉගෙනීම ලබාදේ. විදේශගත වීමේ වාසනාව ඇති අතර කැපී පෙනෙන අයෙකුවේ. රවි නව වැන්නේ නීචවීම සුබ නැත.

රවි 10 වැන්නේ සිටීම ඉතා යහපත් වන අතර එය සියලු යස ඉසුරු හිමිවීමේ පිහිටීමකි. ඥානය, කීර්තිය, ධනය, බලය නොඅඩුව ලැබෙනු ඇත. ආ ගිය තැන පිළිගැනීමක් ලබන අතර රජයේ රැකියාවලට හිමිකම් කියනු ලැබේ.

11 වැන්නේ තැන්පත් රවි සියලු අසුබ යෝග භංග කරයි. සමාජයේ ප්‍රියජනක පුද්ගලයකු වන අතර අන් අයගේ ගෞරවයට මෙන්ම කතාබහට ලක්වන පුද්ගලයකු වනු ඇත. වාසනාව හිමි වන අතර ධනවත් වෙයි.

සෑම ග්‍රහයෙකුට මෙන්ම රවිටද 12 වැන්න යහපත් නොවේ. රවි 12 සිටීම අනුකම්පා සහගත සිතක් ඇති අයෙකු වන අතර ජීවිතයේ පසු කාලය කුමකට හෝ ප්‍රකටව වාසය කරයි. නඩුවලට පැටලීමට පවා ඉඩ ඇති අතර විදේශ ගමන්වල නිරත වීමටද පුළුවන. වම් ඇසේ රෝග ඇතිවිය හැකිය.

දිනකට පැය දෙකක් රවි ග්‍රහයා එක රාශියක සිටින අතර පැය දෙකෙන් දෙක වෙනස් වේ. උදාහරණයක් ලෙස රවි මේෂ රාශියේ සිටින මාසය තුළදී, උදේ 5-7 අතර ඉපදුණ අයගේ ලග්නය මේෂ වන අතර 7-9 අතර ඉපදුණ අයෙකුගේ ලග්නය වෘෂභ වේ. සවස 5-7 අතර ඉපදුණේ නම් ලග්නය තුලා වේ. යම් අයෙකුගේ ලග්නය නිවැරදිදැයි බැලීමට මේ චක්‍රය උපයෝගී කරගත හැකිය.

රවි මේෂ රාශීයේ සිටින අය එඩිතර ධෛර්යයවන්ත අය වන අතර දීර්ඝායුෂ හිමිවෙයි. පියාට යහපත් වන අතර ප්‍රධානත්වය ලබා කටයුතු කිරීමට කැමති වේ. යටත් වී සිටීමට අකමැතිය. ආඩම්බර අයකුද වේ. ඉක්මන් කේන්ති යන ගතියක් ඇති, ඇවිදීමට ප්‍රිය වන කෙනෙකි. ශරීරය උෂ්ණාධික වෙයි.

රවි වෘෂභයේ නම් බොහෝ විට ආත්මාර්ථකාමී ගති ඇති අයෙකු වන අතර ලෞකික ආශාවන් අධික වේ. ආශාවන් සපුරා ගැනීම පිණිස නීති විරෝධී වැඩ වුවත් කිරීමට පෙළඹේ. දියුණුවක් ඇතිවන අතර කාන්තාවක නම් බොහෝ විට විවාහ වන්නේ ධනය ඇති අයෙකු සමග වනු ඇත. ඇතැම් විට ප්‍රේම සම්බන්ධතා කිහිපයක් ඇති වනු ඇත.

රවි මිථුනයේ බුද්ධිය වර්ධනය කරයි. බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලට යහපත් වන අතර පවුලේ උගත්ම පුද්ගලයා වීමටද පුළුවන. ප්‍රේම සම්බන්ධතා කිහිපයක් ඇතිවිය හැකි අතර කාන්තාවක් නම් විවාහ දෙකක් සිදුවීමට ද පුළුවන. ලේඛණය, නීතිඥ , දේශපාලන, ගුරු වෘත්තීය වැනි රැකියා ක්ෂේත්‍රයන් සුදුසු වේ.

රවි කටකයට එතරම් හිතකර නැත. රවි කටකයේ සිටියහොත් උසස් තත්වයකට පත් නොවේ. ධෛර්යය හීන කරයි. ආත්ම ශක්තිය අඩුය. සුළු රැකියාවල් කිරීමට පෙලඹේ.

ධීවර කර්මාන්තය වැනි දෙයට යහපත් වන අතර එයින් ලාභ ලැබීමටද පුළුවන. ස්ත්‍රියකගේ රවි කටකයේ නම් විවාහයට එතරම් යහපත් නැත. 10 වැන්න වී නම් සුබයි. එහෙත් කම්මැළි ගති ඇත්තෙකු වන අතර හුදෙකලාවට ප්‍රිය වේ.ජලයට ප්‍රිය කරයි.දරුවන් බොහෝ විය හැකියි.

සිංහයේ තැන්පත් රවි රවිගේ නිවස වන සිංහයේදී බලවත් වෙයි. උද්යෝගිමත් ක්‍රියාවෙහි දක්ෂ අයකු වෙයි. අනුකම්පා සහගත හිතක් ඇති, නායකත්වයට සුදුසු ක්‍රීඩකයන්, දේශපාලකයන්, විධායක ශ්‍රේණියේ නිලධාරීන් රවි සිංහ රාශියෙන් සිටීමෙන් බිහිවේ. දීර්ඝායුෂ වේ. නිරෝගී වේ.

රවි කන්‍යාවේ සිටීමෙන් ධෛර්යය හීන වේ. ආත්ම විශ්වාසය අඩුය. වගකීම් භාර ගැනීමට මැළිවෙයි. අනුකම්පා සහගත හිතක් ඇති අයෙකු වන අතර එම නිසාම රැවටිලිවලට අසුවීමටද ඉඩ ඇත. බුද්ධිය මෙහෙයවා කරන රැකියාවලට යහපත් වන අතර ගුරු, නීතිඥ, වෛද්‍ය වෘත්තීන්වලට යහපත් වෙයි. නීතියට ගරු කරන නම්‍යශීලී අයෙකු වෙයි.

රවි තුලාවට නීච වන අතර ජීවිතයේ මුල් කොටසට වඩා අග කොටස යහපත් වේ. රවි තුලාවේ නීච වීම සාමාන්‍ය මහ ජනයාට අසුබ නැත. සමාජශීලී ගතියක් ඇතිවන අතර ඉවසීමෙන් කටයුතු කරන කරුණාවන්ත අයෙකු වෙයි. කා අතරත් හොඳ හිත දිනා ගනියි. ඉක්මනින් විවාහය සිදුවේ. ගැටලු නිරාකරණය කරගෙන කටයුතු කිරීමට දක්‍ෂවේ. සංචාරයට ප්‍රිය සහෝදරාදීන්ට හිතවත් අයෙකු වේ.

රවි වෘශ්චිකයේ නම් නම් තද හිතක් ඇති ආඩම්බර උඩඟු ගති ප්‍රකට කරන්නෙකු වේ. සියුම් ඥානයක් ඇතත් ආත්මාර්ථකාමී වේ. හොඳීන් හෝ නරකින් තම අරමුණ ඉටු කර ගැනීමට උත්සාහ දරයි. මවට පියාට යහපත් නොවන අතර ඇතැම් විට කුඩා කල දෙමාපියන්ගෙන් එක් අයෙකු වෙන් විය හැකිය. විවාහයද සාර්ථක නොවනු ඇත.

රවි ධනුවට මිත්‍ර වන අතර ධාර්මික අයෙකු වනු ඇත. පිනට දහමට ආගමට භක්තිමත් වෙයි. පිරිසිදු සිතක් ඇති කරුණාවන්ත සත්‍යයට ගරු කරයි. විශ්වාසය අකුරටම රකියි. පියාට ඉතා හිතවත් වේ.

රවි මකරයේ සිටින අය ආත්මාර්ථකාමී වන අතර තම දියුණුව ගැනම සිතා කටයුතු කරයි. කෙසේ හෝ තම ආශාවන් සපුරා ගැනීමට වෙහෙසෙයි. ධනයෙන් බලයෙන් යුක්ත වූවෝ වෙති. විශාල ව්‍යාපාර හිමිකරුවන් වන අතර මිතුරන් අවම වේ.

රවි කුම්භයේ සිටීමෙන් සමාජයේ පහළ පන්තියේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරයි . පරාර්ථකාමී වේ. සමාජශීලී වන මොවුන් ජීවිතයේ පසු කාලයේ හොඳ නමක් සහිතව ගත කරයි. උසස් ඥානයක් ඇති අතර එය අන් අයගේ යහපත වෙනුවෙන් යොදවයි.

රවි මීනයේ සිටීම කිසි දෙයකට ඉදිරියට නොයන අයෙකු බිහිකරන අතර චංචල සිතුවිලි සහිත වේ. එකම දෙයක් දිගටම කරගෙන යාමේ හිතක් නැත. අභියෝගය භාර ගැනීමට කැමති නොවේ. අන් අයට අවශ්‍ය ආකාරයට ජීවත් වෙයි. ප්‍රේම සබඳතා බිඳ වැටීමෙන් බොහෝ දුකට පත්වෙයි.

යම් කේන්දරයක රවි උච්චව සිටීමෙන් මයුරපාල යෝගය යෙදනු ඇත.

ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.