ලග්න කේන්දරයක් තුළින් ජන්මියාගේ දියුණුවට අතහිත දෙන ග්‍රහයන්

ජූලි 23, 2021

 

තම ලග්න කේන්දරයට අනුව තමාගේ දියුණුවට අතහිත දෙන ග්‍රහයන් හඳුනා ගැනීම ඉතා අත්‍යවශ්‍ය වූවකි. ඒ අනුව ලග්න කේන්දරයකට ශුභ ඵල දෙන ග්‍රහයන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් සිටිය හැක. එලෙස ලග්න කේන්දරයට අනුව ශුභඵල දෙන ග්‍රහයන් අතුරින්, යම් ග්‍රහයෙකුට අයත් මහ දශාවක්

අන්තර් දිශාවක් හෝ සූක්ෂම දශාවක් ලබා ඇති විට එකී ග්‍රහයන් ගෝචරයෙන් බලවත් වන කාලසීමාව තුළ දී එකී ග්‍රහයාට හිමි දිනයකින්, නැකතකින්, හෝරාවකින් සහ ශුභ තත්කාල ලග්නයක් උදාව පවතින විට තමා බලාපොරොත්තු වන කාර්යය ආරම්භ කිරීමෙන් එකී කාර්යය තමා සිතුවාට වඩා හොඳින් ඉටුවන හෙයින්, ලෞකික ජීවිතයේ දියුණුව සඳහා තම ලග්න කේන්දරයට අනුව ශුභ ඵල දෙන ග්‍රහයාගේ හෝ ග්‍රහයන් හඳුනා ගැනීම ඉතා අත්‍යවශ්‍ය කරුණකි.

 

ඒ පිළිබඳ තවදුරටත් කරුණු විග්‍රහ කළහොත්, ලග්න කේන්දරයට ශුභඵල දෙන ග්‍රහයා ගෝචරයෙන් බලවත්වන දිනයක, එකී ග්‍රහයාට අයත් තත්කාල හෝරාවකින්, එකී ග්‍රහයාට හිමි වර්ණයකින් යුත් වාහනයක් මිල දී ගැනීමෙන් එකී වාහනයේ ආයුෂ වැඩිවීමට හේතු වන්නේ ය. එමෙන්ම තම ලග්න කේන්දරයට ශුඵල දෙන ග්‍රහයාට හිමි වර්ණයක් ආලේප කිරීමෙන් සහ එකී ශුභ ග්‍රහයාට අයත් වෘක්ෂයක් නිවස ඉදිරිපස සිටුවීමෙන් නිවැසියන්ට සෞභාග්‍ය, සතුට සාමය උදා කිරීමට හේතු වන්නේ ය.

එපමණක් නොව සෙනසුරු වැනි ඒරාෂ්ඨක අපල පවතින විට හෝ වෙනයම් ග්‍රහ අපලයක් පවතින විට තම ලග්නයට ශුභඵල දෙන ග්‍රහයාට අයත් මැණික් එබ්බවූ මුදුවක් හෝ යන්ත්‍රයක් පැලඳීමෙන් හෝ එකී ග්‍රහයාට හිමි දෙවි දේවතාවන්ට පුද පූජා පැවැත්වීමෙන් එකී ග්‍රහ අපලය මර්දනය කර ගත හැකි වන හෙයින් ලග්න කේන්දරයට අනුව ශුභඵල දෙන ග්‍රහයා හෝ ග්‍රහයන් හඳුනා ගැනීම හැම අතින්ම ප්‍රයෝජනවත් කරුණක් වන්නේය.

ඒ අනුව ගැමි වහරේ සඳහන් කෝකටත් තෛලය මෙන් බොහෝ ඡ්‍යොතිෂඥයින් ලග්නයට ශුභ ඵල දෙන ග්‍රහයා ලෙස ජන්මීන්ට හඳුන්වාදෙනු ලබන්නේ ඒ ඒ ලග්නයන්ට යෝගකාරක බලයක් ඇති ග්‍රහයන්ය. එලෙස සෑම කේන්දර හිමියෙකුටම එකී කේන්දර හිමියන්ගේ ලග්නවලට යෝගකාරක වන ග්‍රහයන් කේන්දර හිමියන්ට ශුභ ඵල දෙන ග්‍රහයන් ලෙස නිර්දේශ කිරීම වැරදි ක්‍රියාවකි. එය හේතුව නම් ඇතැම් ජන්මින්ගේ කේන්දරවල මෙකී යෝගකාරක ග්‍රහයින් දුර්වලවත්. තවත් සමහර ජන්මින්ගේ මෙකී යෝග කාරක ග්‍රහයන් බලවත්ව යෙදීමයි. ඒ අනුව යෝග කාරක ග්‍රහයන් දුර්වල වූ කේන්දර හිමියෙක් එකී යෝගකාරක ග්‍රහයන් ශුභ වැඩ කටයුතු සඳහා යොදා ගැනීමෙන් ඔහුට අයහපතක් මිස යහපතක් වන්නේ නැත. කරුණු මෙසේ වන හෙයින් ලග්න කේන්දරයක යෝග කාරක ග්‍රහයා හෝ ග්‍රහයන් දුර්වලව ඇත්නම් ශුභ වැඩකටයුතු සඳහා යොදාගත යුත්තේ ලග්න කේන්දරයට අර්ධ යෝගකාරත්වයක් උසුලන ග්‍රහයාය. එකී අර්ධ යෝග කාරකත්වයක් උසුලන ග්‍රහයා දුර්වල නම් ශුභ වැඩකටයුතු සඳහා යොදා ගත යුත්තේ ශුභ පිහිටියා වූ ලග්නාධිපතිට, මිත්‍ර ග්‍රහයෙකි. නැති නම් බලවත්ව පිහිටියා වූ ලග්නාධිපතිය.

එලෙස ශුභ වැඩකටයුතු සඳහා ලග්න කේන්දරයට අනුව ශුභ ග්‍රහයන් සොයාගත නොහැකි නම් චන්ද්‍ර ලග්නයට අනුව, එනම් චන්ද්‍ර ලග්නයට යෝගකාරක වන ග්‍රහයන් නැති නම් කේන්දරයට අර්ධ යෝගකාරක වන ග්‍රහයා හෝ ශුභ පිහිටියා වූ චන්ද්‍ර ලග්නාධිපතිට මිත්‍ර ග්‍රහයන් හෝ බලවත්ව පිහිටියා වූ එබඳු ලග්නාධිපති ශුභ වැඩකටයුතු සඳහා යොදාගත යුතු ය. ඒ අනුව පහත දැක්වෙන්නේ ලග්න 12හට ශුභ ඵල දෙන යෝගකාරක ග්‍රහයින් සහ අර්ධ යෝගාකාරයන් පිළිබඳව සහ ඒ ඒ ලග්නවලට ශුභඵල දෙන අනෙක් ග්‍රහයන් පිළිබඳ විස්තරයකි.

මේෂ ලග්නය

මේෂ ලග්නයට ගුරු ප්‍රධාන යෝගකාරක ග්‍රහයා වන්නේය. පහ අධිපති රවි, මේෂ ලග්නයට අර්ධ යෝගකාරකත්වයක් උසුලන ග්‍රහයෙකි. ඒ හැර අඟහරු ලග්නාධිපති වන හෙයිනුත් සිව්වැන්නාධිපති සඳු ලග්නාධිපතිට මිත්‍ර වන හෙයිනුත් මේෂ ලග්නයට ශුභඵල උදා කරන්නේ ය.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්න කේන්දරයට 9, 10 අධිපති සෙනසුරු ප්‍රධාන යෝගකාරක ග්‍රහයා වන්නේ ය. 2, 5 අධිපති බුධ ග්‍රහයා වෘෂභ ලග්නයට අර්ධ යෝගකාරක ග්‍රහයෙකි. සිව්වැන්නාධිපති රළු කේන්ද්‍ර ස්ථානයකට හිමිකම් කියන හෙයින් ශුභයෙකි. ඒ හැර සිකුරු ලග්නාධිපති වන හෙයින් වෘෂභ ලග්නයට ශුභයෙකි.

මිථුන ලග්නය

 

මිථුන ලග්නයට 1 -4 අධිපති බුධත්, 5 - 12 අධිපති සිකුරුත් ප්‍රධාන යෝගකාරක ග්‍රහයන් වෙති. 8 - 9 අධිපති සෙනසුරු මිථුන ලග්නයට අර්ධ යෝගකාරකත්වයක් උසුලන ග්‍රහයෙකි. 3 වැන්නාධිපති රවි ලග්නාධිපති බුධට මිත්‍ර ග්‍රහයෙක් වන හෙයින් 3, 6, 10, 11 යන භාවයක යෙදුණු විට මිථුන ලග්න කේන්දරයට ශුභ ඵල උදා කරන හෙයින් රවි ග්‍රහයා ද මිථුන ලග්නයට ශුභයෙකි.

කටක ලග්නය

කටක ලග්න කේන්දරයට 5 - 10 අධිපති අඟහරු ප්‍රධාන යෝගකාරක ග්‍රහයා වන්නේය. 6 - 9 අධිපති ගුරු කටක ලග්නයට අර්ධ යෝගකාරක ග්‍රහයෙකි. සඳු ලග්නාධිපති වන හෙයිනුත්, දෙවැන්නාධිපති රවි කටක ලග්නාධිපති සඳුට මිත්‍ර ග්‍රහයෙක් වන හෙයිනුත් 3, 6, 10, 11 යන උපවය භාවයක යෙදුණු විට ශුභ ඵල ලැබෙන හෙයිනුත් රවි සහ සඳු කටක ලග්න කේන්දරයට ශුභයන් වෙති.

සිංහ ලග්නය

 

සිංහ ලග්න කේන්දරයට 4 - 9 අධිපති අඟහරු ප්‍රබලතම යෝගකාරක ග්‍රහයා වන්නේ ය. 5 - 8 අධිපති ගුරු සිංහ ලග්නයට අර්ධ යෝගකාරක ග්‍රහයෙකි. 2 - 11 අධිපති බුධ ලග්නාධිපති රවිට මිත්‍ර ග්‍රහයෙක් වන හෙයින් ශුභයෙකි. 12 වැන්නාධිපති සඳු සිංහ ලග්නාධිපති රවිට මිත්‍ර ග්‍රහයෙක් වන හෙයින්, ශුභ, අශුභ මිශ්‍රඵලයක් හෙවත් සම ඵලයක් දානය කරන ග්‍රහයෙක් වන්නේය.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයට 1 - 10 අධිපති බුධ සහ 2 - 9 අධිපති සිකුරු ප්‍රධාන යෝගකාරක ග්‍රහයන් වෙති. 5 - 6 අධිපති සෙනසුරු මිථුන ලග්නයට අර්ධ යෝගකාරක ග්‍රහයෙකි. රවි ග්‍රහයා 12 වැන්නාධිපති වන නමුත් ලග්නාධිපති බුධගේ මිත්‍රයෙක් වන හෙයින් ශුභයෙකි.

තුලා ලග්නය

තුලා ලග්න කේන්දරයට 4 - 10 අධිපති සෙනසුරු ප්‍රධාන යෝගකාරක ග්‍රහයා වන්නේය. 9 - 12 අධිපති බුධ තුලා ලග්නයට අර්ධ යෝගකාරක ග්‍රහයෙකි. සිකුරු ලග්නාධිපති වන හෙයින් ශුභයෙකි. අව අමාවක සඳු 10 වැන්නේ හෝ 11 වැන්නේ නම් සඳු ග්‍රහයාද තුලා ලග්නයට ශුභ ඵල දානය කරන්නේ ය.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයට නවය අධිපති සඳු සහ 10 අධිපති රවි ප්‍රධාන යෝගකාරක ග්‍රහයන් දෙදෙනා වෙති. 2 - 5 අධිපති ගුරු වෘශ්චික ලග්න කාරකයාට අර්ධයෝගකාරත්වයන් උසුලන යුගයෙකි. ලග්නාධිපති වන හෙයින් අඟහරු වෘශ්චික ලග්නයට ශුභඵල දානය කරන්නේ ය.

ධනු ලග්නය

ධනු ලග්නයට ප්‍රධානම යෝගකාරක ග්‍රහයා වන්නේ 9 වැන්නාධිපති රවිය. 5 - 12 අධිපති අඟහරු ධනු ලග්නයට අර්ධ යෝගකාරකත්වයක් දරන ග්‍රහයෙකි. ගුරු ලග්නාධිපති හෙයින් ශුභයෙකි. සඳු ග්‍රහයා 8 අධිපති වන නමුත් ලග්නාධිපති ගුරුට මිත්‍ර ග්‍රහයෙක් වන හෙයින් ශුභ, අශුභ හෙවත් මිශ්‍ර ඵල උදා කරන ග්‍රහයෙකි. ඒ අනුව ධනු ලග්න කේන්දරයෙන් 10 වැන්නේ සහ 11 වැන්නේ අව සඳු ධනු ලග්න හිමියාට ශුභ ඵල උදා කරන්නේය.

මකර ලග්නය

මකර ලග්න කේන්දරයට ප්‍රධාන යෝගකාරක ග්‍රහයා වන්නේ 5 - 10 අධිපති සිකුරු ය. 6 - 9 අධිපති බුධ, මකර ලග්න කේන්දරයට අර්ධ යෝගකාරක ග්‍රහයෙකි. සෙනසුරු ලග්නාධිපති වන හෙයින් මකර ලග්නයට ශුභයෙකි.

 

කුම්භ ලග්නය

කුම්භ ලග්නයට ප්‍රධාන යෝගකාරක ග්‍රහයා වන්නේ 4 - 9 අධිපති සිකුරුය. 5 - 8 අධිපති බුධ කුම්භ ලග්නයට අර්ධ යෝගකාරක ග්‍රහයෙකි. සෙනසුරු ලග්නාධිපති වන හෙයින් කුම්භ ලග්නයට ශුභයෙකි.

මීන ලග්නයට

මීන ලග්නයට ප්‍රබලම යෝගකාරක ග්‍රහයා වන්නේ 2 - 9 අධිපති අඟහරුය. 5 අධිපති සඳු මීන ලග්නයට අර්ධ යෝගකාරක ග්‍රහයෙකි. ලග්නාධිපති වන හෙයින් ගුරු මීන ලග්නයට ශුභයෙකි. 6 අධිපති රවි ලග්නාධිපති ගුරුට මිත්‍ර ග්‍රහයෙක් වන හෙයින් ශුභ අශුභ ඵල හෙවත් මිශ්‍ර ඵලදානය කරන ග්‍රහයෙකි.

ඒ අනුව ලග්න කේන්දරයට ශුභ ඵල උදා කරන ප්‍රධානම ග්‍රහයා වන්නේ එකී ලග්නයට යෝග කාරකත්වයක් උසුලන ග්‍රහයාය. මෙකී යෝගකාරක ග්‍රහයා ලග්න කේන්දරයෙහි බලවත්ව යෙදී ඇත්නම් එකී යෝගකාරක ග්‍රහයාට හිමි මහා දශා අන්තර් දශාවලදී කේන්දර හිමියාට ඉතා උසස් ශුභඵලයක් භුක්ති විඳිය හැකි වන්නේය. හෙවත් 100% ශුභ ඵල ලැබෙන්නේ.

ශුභව පිහිටියා වූ අර්ධ යෝගකාරක ග්‍රහයාගෙන් යෝගකාරක ග්‍රහයා මෙන් 100% ක් ශුභඵල නොලැබෙන නමුත් 75%ක් පමණ ශුභඵලයක් එකී අර්ධ යෝගකාරක ග්‍රහයාට අයත් මහ දශා අන්තර් දශාවලදී ලැබෙන්නේය. ශුභව පිහිටියා වූ ලග්නාධිපතිට මිත්‍ර ග්‍රහයාගේ මහ දශා අන්තර් දශාවල දී කේන්දර හිමියාට 50% ක් පමණ ශුභ ඵලයක් භුක්ති විඳිය හැකි වන්නේ ඒ අනුව යෝග කාරක ග්‍රහයා බලවත් කේන්දර හිමියන් ඉතා උසස් ජීවන තත්ත්වයක් ද අර්ධ යෝගකාරක ග්‍රහයා බලවත් ජන්මින්ට උසස් ජීවන තත්ත්වයක් ද ලග්නාධිපතිට මිත්‍ර ග්‍රහයින් බලවත් ජන්මින්ට මධ්‍යම තත්ත්වයේ ජීවන තත්ත්වයක් ද හිමි වන්නේ ය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.