මනුෂ්‍යයින්ට වින කරන කට්ටඩියෝ

මාර්තු 19, 2021

මනුෂ්‍යයින් වශයෙන් උපත ලැබූ අපට කාගේවත් හිරිහැරයක්, කරදරයක් නැතිව ජීවත්වීමට අවස්ථාව තිබිය යුතුය. එහෙත් ඊර්ෂ්‍යාකාරි පුද්ගලයින් මනුෂ්‍යයෙක් දියුණුවන්නෙ නම් හෝ ඔහුගේ දූදරුවන් ඉගෙනීමට දක්ෂව ක්‍රියා කර උසස් රැකියාවලට යන්නේ නම් ඒවා ඉවසා ගත නොහැකිව ඔවුන් විනාශ කිරීමට ක්‍රියා කරයි.

 

මේ සඳහා ඊර්ෂ්‍යාකාරි පුද්ගලයින් කට්ටඩියන්ට මුදල් ගෙවා ඔවුන්ගේ සහාය ලබා ගනී. මුදලට ගිජුවූ සමහර කට්ඩියන් මනුෂ්‍යයින් විනාශ කිරීම සඳහා නොයෙකුත් මන්ත්‍රශාස්ත්‍ර විධි කර අවශ්‍ය උපදෙස් සේවාදායකයාට ලබා දෙයි. පව් පින් දන්නා සමහර කට්ටඩියන් මෙවැනි විනාශ කාරි, පාපකාරි ක්‍රියා කරන්නේ නැත. අප ඔවුන්ගේ එම ක්‍රියාව අගය කළ යුතුය.

පුද්ගලයෙකුට මෙවැනි මන්ත්‍ර ශාස්ත්‍ර ක්‍රියා මාර්ග මඟින් වින කළ විට, ඔහුට ටිකකලකින් එනම් මාස 04 කින් පමණ ශරීරයේ නොයෙකුත් රෝගාබාධ ඇතිවේ. මෙම රෝගාබාධ දිනෙන් දින වැඩි වේ. මොන වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර කළත් සුව වන්නේ නැත. සමහර රෝගාබාධ පුදුම සහගතය. හොඳට ජීවත්වූ පුද්ගලයෙකු හදිසියේම පිස්සුව සෑදී මානසික රෝහල්වලට ඇතුළත් කිරීමට සිදුවේ. මානසික ප්‍රතිකාර කොතෙක් කළත් ඔහු සුව වන්නේ නැත.

මෙම පුද්ගලයාට කරන ලද වින බන්ධනය /හූනියම කපා ඉවත් කරන තෙක් ඔහු සදාකාලික රෝගියෙකි. මෙවැනි රෝගීන් විශාල ප්‍රමාණයක් අද මානසික රෝහල්වල ප්‍රතිකාර ලබයි. මෙම රෝගීන්ගේ භාරකරුවන් ඉහත දක්වා ඇති කරුණු ගැන අවධානය යොමු කොට තම රෝගියාට සිදු වී තිබෙන්නේ කුමක්දැයි නිවැරදිව සොයා ගෙන ඒවාට අවශ්‍ය කටයුතු කළ යුතු වේ. එවිට රෝගියා සම්පූර්ණයෙන්ම සුවපත් වේ.

මෙවැනි අපරාධකාරි කට්ටඩියන්ට විරුද්ධව ක්‍රියා කිරීමට රටේ නීතියක් නැත. එහෙත් ඔවුන්ට ස්වභාව ධර්මය සහ බුද්ධ නීතිය අනුව අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන බව ස්ථිරය. එබැවින් මෙවැනි පාපකාරි ක්‍රියා නොකරන ලෙස මුදලට ගිජු වූ කට්ටඩියන්ට මතක් කරනු ලැබේ.

මෙවැනි කට්ටඩියකුට අත් වූ ඉරණම පාඨකයාගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරමි. ඔහු මාතර ප්‍රදේශයේ මා දන්නා ප්‍රසිද්ධ කට්ටඩියෙකි. මුදලට ඕනෑම පුද්ගලයෙකු විනාශ කිරීම සඳහා මන්ත්‍ර ශාස්ත්‍ර කරනු ලබන අතර ඔහුට හොඳ ආර්ථික තත්ත්වයක් ද තිබුණි. අවාසනාවකට ඔහුගේ පළමු බිරිඳ මිය ගියේය. ඉන් පසුව ඔහු තවත් විවාහයක් කර ගන්නා ලදී. එම විවාහයෙන් ලැබුණු එකම පුතා වයස 16 වන විට බේබද්දෙකි. රැකියාවක් නැත. නිතරම මත්වතුරට ඇබ්බැහි වූ ඔහු මුදල් සොයා ගැනීම කළේ අපූරු විදියකටය. තම පියා ළඟ විශාල මුදලක් තිබෙන බව ඔහු දනී. ඔහු උල් පිහියක් ගෙන පියාගේ පපුවට තබා තමාට අවශ්‍ය මුදල ඉල්ලයි. මුදල් නුදුන්නොත් මරණය අත්වන බව දන්නා තාත්තා ඉල්ලන මුදල දෙයි. මේ විදියට දිගින් දිගටම පුතා මුදල් ඉල්ලන නිසාත් ,මරණ භය නිසාත් ඔහු තම නිවස විකුණා දමා ගමෙන් පිට විය. කට්ටඩියාට සහ ඔහුගේ පුතාට ඉන් පසු සිදු වූයේ කුමක් දැයි ගමේ මිනිස්සු දන්නේ නැත.

“කරන කලට පව් මිහිරිය මීසේ

විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ”

 

දෙවිනුවර

බී.රන්පටබැඳි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.