ග්‍රහ දෝෂවලට ශාන්ති කර්ම

පෙබරවාරි 5, 2021

අහස් සිතියමේ භ්‍රමණය වන ග්‍රහයින්ගෙන් ඇතිවන ඒ ඒ දෝෂ පිළිබඳව සොයා බලන විට දී මිනිසාට ශරීර සෞඛ්‍යයට හානිකර විවිධ රෝගාබාධ ඇති වන්නේ ය. රවිගේ දුෂ්ට විපාක ඇතිවිට පිත් කෝපය, අජීර්ණ, අක්ෂි රෝග, හිසේ රුජා, වේදනා, ඉරුවාරදය උඳුගොව්වා කෑම, ලේ විෂ වීම් ඇතිවේ.

 

සඳුගේ අපල ඇතිවිට සෙම් කෝප වීම් ක්ෂය රෝගය, ඇදුම (ප්ලුරසි) පෙනහලුවල වතුර ප්‍රමේහය කැස්ස ඇතිවේ.

කුජ (අඟහරු) දෝෂයෙන් වා පිත් සෙම් කිපීම, ලේ විෂවීම, කුෂ්ට රෝගය, හොරි, දද, වණ, පළු දැමීම චර්ම රෝග, මොළය ආශි‍්‍රත රෝග, ලේ කැටි ගැසීම, ස්නායු ආබාධ ඇති වේ.

බුධගෙන් ඇතිවන දෝෂ, තුන්දොස් කිපීම සිහිමුලාව, ධාරණ ශක්තිය හීන වීම, අමතක වීම්, ස්නායු පීඩනය, ගොත ගැසීම මෙන්ම ගොළු බවද ඇති වේ.

ගුරු (බ්‍රහස්පතී) සෙම් රෝගය, වමනය, උදරගත රෝග, උණසන්නිපාතය හට ගනී.

ශුක්‍රගෙන් ප්‍රධාන ප්‍රමේහ රෝග, සප්ත ධාතු දෝෂය ස්නායු ආබාධය, ශක්තිය හීන වීම ශාරීරික ප්‍රජනය ක්‍රියා දුර්වලවීම් ඇති වේ.

ශනි (සෙනසුරු) දුෂ්ට විපාක ඇදුම, පෙනහලු ගත රෝග, උදර පීඩා, ගුද රෝග, අර්ශස්, සමේ වියළි ගතිය, වාතය කිපීම් ඇතිවේ.

රාහුගේ දෝෂයන්, තුනටියේ කොන්දේ වේදනා, සමේ වියළි ගතිය ඇතිවීම, හුස්ම ගැනීමේ අපහසුව, විසූචිකා රෝගයන් උත්සන්න වේ.

කේතුගේ දෝෂ, බාහිර දෝෂ, තුන්දොස් කිපීමත්, යක්ෂ, භූත, ප්‍රේත, පිසාචාදීන්ගෙන් හටගන්නා ව්‍යාධි හේතු වේ.

සෘෂි භාෂිතය අනුව ග්‍රහ දෝෂ ඇති වූ විට කළයුතු ශාන්ති කර්මයන් දක්වමු.

රවිගේ දෝෂවලට

පද්ම රාග මැණික බැඳි නව රත්න මුදුවක් පැලඳීම. ශීව ශීලම්බරී, චතුංජය ජිනපඤ්ජය, ජීවම් කර පැලඳීම ඉතාම යහපත් ය.

සඳුගේ දෝෂවලට

රිදී සහ මුතු ශරීරයේ පැලඳීම. උදේ සවස රතන සූත්‍රය භාවිතා කිරීම. නවගුණ රතන සිරි බාරී යන්ත්‍ර ජීවම් කර පැලඳීම සුබයි.

කුජගේ දෝෂවලට

කනේරු, රත්මල්, රතු නෙළුම් පූජා කිරීම, බෝධි වන්දනාව, රතු මැණික් පැලඳීම, මෘතුංජය, අභිසම්භිදානය, ආඝෝර යන්ත්‍ර ජීවම් කර පැලඳීම සුබයි.

බුධගේ දෝෂවලට

රතන, නවගුණ, දිව්‍ය රාජ මාතාංශේෂ්වරී යන්ත්‍රය ජීවම් කර පැලඳීම සුබයි. (රිදී පත්වල පන්හිඳෙන් ලිවීම වඩාත් යහපත්ය.)

කහපාට මල්, සුදුමල් සුවඳ වර්ග සහ පහන් පූජා කිරීම බෝධි වන්දනාව කිරීම මැනවි.

ගුරු (බ්‍රහස්පතී) දෝෂවලට

කහ පැහැති ත්‍රිකෝණ කොඩි 9 ක් ද ගිතෙල් පහන් 9 ක් සුවඳ දුම් අල්ලා බෝධි පූජාවක් කරන්න. කහපාට මල් පූජා කරන්න. නවගුණ, රතන යන්ත්‍රය 1600 වරක් ජපකර පලඳින්න.

ශුක්‍ර සිකුරුගේ දෝෂවලට

කුරුල්ලන්ට ආහාර පාන දීම, මුතු දියමන්ති, බෙරලියන්තු ආදී මැණික් පැලඳීම, රන් පස්ලෝ රිදී ආදී ලෝහ පැලඳීම, නවනාතේ ජිනපංජරය නවගුණ යන්ත්‍ර ජීවම් කර පැලඳීම යහපත්ය.

රාහුගේ දෝෂවලට

වැටකේ මල්, තලතෙල්, ගිතෙල්, රතු කොඩි, ආදිය පූජා කිරීම, නාග රූපයක් නා පත්‍රයකින් කපා බෝධියකට පූජා කිරීම යහපත් ය. මෘතුංජය ආඝෝරය, විෂ්ණු මණ්ඩල ශිව ශීලම්බරී යන්ත්‍ර 1800 වරක් ජපකර පැලඳීම.

කේතුගේ දෝෂවලට

විවිධ පාට මල් වර්ග තලතෙල් පහන් 9ක් ගෝරෝචන බෝධියකට පූජා කිරීම.

ශීලම්බරී මෘතුංජය, නවග්‍රහ විෂ්ණුආඝෝරය යන්ත්‍රය 700 වරක් ජපකර පැලඳීම.

ඒ.ඒ ග්‍රහයින්ට මෙවන් ප්‍රතිකර්ම සඳහන් කළත් ග්‍රහයින් කීප දෙනෙකුගෙන් හටගත් දෝෂ ඇති විට බලවත්ම ග්‍රහ දෝෂ භංගවන අයුරින් ක්‍රමවත්ව කළ යුතු වේ.

 

ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී

ටී.හෙන්රි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.