දිව්‍යමය උපතක තොරතුරු පවසන ක්‍රිස්තු කේන්දරය

දෙසැම්බර් 27, 2024

මීට ක්‍රිස්තු වර්ෂ 2024කට ඉහත දී එනම් ක්‍රිස්තු පූර්ව 7වැනි සියවසයේ දෙසැම්බර් මස 25ට යෙදෙන සිකුරාදා දිනෙක මධ්‍යම රාත්‍රියට ආසන්නහි යුදා බෙත්ලෙහෙම් නම් ග්‍රාමයේ කුඩා ගවලෙනක මරියා නම් කන්‍යා ස්ත්‍රියකට දාව ලොව ගැලවුම්කරු වන ජේසුතුමා උපන්නේය. එම නිසා සෑම වසරකම දෙසැම්බර් මස 25වැනි දින ලොව පුරා ජීවත්වන ක්‍රිස්තු ධර්මය අදහන විවිධ ජාතීහු ක්‍රිස්තු උපත හෙවත් නත්තල පී‍්‍රතියෙන් සමරති.

ඒ අනුව ක්‍රිස්තු උපත පිළිබඳව ඡ්‍යොතිෂමය දෘෂ්ටි කෝණයකින් බලන කල ජේසුතුමා උපන් අහස් සිතියම ඡ්‍යොතිෂ ළැදි සෑම දෙනාගේ ඡ්‍යොතිෂ ඥානය පෝෂණය කර ගැනීමට උගත හැකි බොහෝ දේ ඇති හෙයින් මේ නත්තල් සමයේ මා ඡ්‍යොතිෂය ළැදි සුබසෙත පාඨකයන් වෙනුවෙන් ක්‍රිස්තු කේන්දරය පිළිබඳව යමක් ලිවීමට අදහස් කළෙමි.

ඒ අනුව පහත දැක්වෙන්නේ ලොව බොහෝ ඡ්‍යොතිෂ පඬිවරුන් විසින් නිවැරැදි යැයි පිළිගන්නා ලොව ප්‍රකට ඡ්‍යොතිෂ පඬිවරයෙක් වන දැනට ජීවතුන් අතර නැති බී.වී. රාමන් නම් ඉන්දියානු ඡ්‍යොතිෂ පඬිවරයා විසින් ගොඩනඟා ඇති ක්‍රිස්තු කේන්දරයයි.

උපත ක්‍රිස්තු පූර්ව 7 වැනි සියවසයේ දෙසැම්බර් මස 25 වැනි සිකුරාදා රාත්‍රී 10.18 යුදා නගරයේ බෙත්ලෙහෙම නම් ග්‍රාමයේ සෙනසුරු උත්‍රපුටුප නැකතේ 2වැනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් සෙනසුරු මහ දශාව ඉදිරියට වර්ෂ 14යි, මාස 01යි දින 21ක් ශේෂව තිබිණි.

ඉහත ක්‍රිස්තු කේන්දරයේ 7 වැන්න වූ මීන රාශියේ ජන්මියා ආගම දහමට නැඹුරු කරන ප්‍රබල ගුරු, චන්ද්‍ර, ශනි ත්‍රි ග්‍රහයෝගයක් යෙදී ඇත. උන්වහන්සේ උපත ලබන විට පෙරදිග අහසේ දක්න ලැබුණු වල්ගා තරුව මෙකී ත්‍රී ග්‍රහයෝගයට සම්බන්ධ ගුරු චන්ද්‍ර, ශනි යන ග්‍රහයන්ගේ ග්‍රහ කිරණ ගැටීමෙන් නිර්මාණ වූවක් බව තාරකා විද්‍යාඥයන්ගේ මතය වන්නේ ය.

එසේම ක්‍රිස්තු කේන්දරයේ ගුරු ග්‍රහයා ගුරු හංස නම් පංච මහා පුරුෂ යෝගය උදාකර තිබීමද, උන්වහන්සේ, ප්‍රබල ආගමික නායකයකු බව පෙන්වා දෙන ග්‍රහ බලයක් වන්නේ ය. හත අධිපති ගුරු ග්‍රහයා ගුරු හංස යෝගය උදා කරමින් 7 වැන්නෙහි පතිතව ලග්න රාශි දෘෂ්ටියෙන් සහ සප්තම දෘෂ්ටියෙන් දැකීම උන්වහන්සේ දිව්‍යමය උපතක් බව පෙන්නුම් කරන ප්‍රබල ග්‍රහ බලයක් වන්නේ ය.

ජේසුස් වහන්සේගේ මව වන කන්‍යා මරියතුමිය උන්වහන්සේ මෙළොවට බිහි කරන විට කන්‍යාවක්ව සිටි බව ශුද්ධ වූ බයිබලයේ සඳහන්ව ඇත. ඒ පිළිබඳව ජේසුස් වහන්සේ උපන් කන්‍යා ලග්න කේන්දරයට අනුව කරුණු පරීක්ෂා කර බලන කල මව්කාරක සඳු ග්‍රහයා මාතෘ ස්ථානාධිපති එනම් හංස යෝගය උදා කළ ගුරු ග්‍රහයා සමඟ යෝගව, ගජකේශරි යෝගයක් උදා කරමින් 7 වැන්නේ සිටිමින් මාතෘ ස්ථානය වන සිව්වැන්න ග්‍රහ දෘෂ්ටියෙන් සහ රාශි දෘෂ්ටියෙන් දැකීම, උන්වහන්සේගේ මෑණියන් උන්වහන්සේ මෙලොව බිහි කරන විටත් කන්‍යාවක් ව සිටි බව පෙන්වා දෙන ප්‍රබල ග්‍රහ බලයක් වන්නේ ය.

උන්වහන්සේගේ මව ශුද්ධාත්මයාණගේ අනුහසින් එනම් ස්ත්‍රී පුරුෂ සංවාසයකින් තොරව දිව්‍යමය බලයකින් ගැබ්ගත් බව ශුද්ධ වූ බයිබලයේ සඳහන්ව ඇත. ඒ පිළිබඳව කරුණු ඉහත ලග්න කේන්දරයට අනුව පරීක්ෂා කර බලන කල පිතෘ ස්ථානය හෙවත් 9 වැන්නෙහි ගුප්ත මෙන්ම මෝක්ෂ කාරක කේතු නීචභංග රාජයෝගයක් උදා කරමින් තැන්පත්ව සිටියදී පිතෘ ස්ථානාධිපති සිකුරු වික්‍රම ස්ථානය 3 වැන්න වූ වෘශ්චික රැසෙහි තැන්පත්ව සිටියදී එකී 9 වැන්නාධිපති සිකුරු බලවත් හංස යෝග උදා කළ ගුරුගේ පූර්ණ දෘෂ්ටියට මෙන්ම ත්‍රිකෝණ දෘෂ්ටියට ලක්වීම උන්වහන්සේගේ පියා දිව්‍ය ආත්මයක් බව පෙන්වා දෙන ග්‍රහ බලයක් වන්නේ ය.

එමෙන් ශුද්ධ වූ බයිබලයේ උන්වහන්සේගේ උපත ගවලෙනක සිදුවූ බව සඳහන් කොට ඇත. ඒ පිළිබඳව ජේසුස් වහන්සේ උපන් කන්‍යා ලග්න කේන්දරයට අනුව කරුණු පරීක්ෂා කර බලන කල සිව්වැන්නාධිපති ගුරු සතුන් සිව්පාවුන් නිවේදනය කරන 6 අධිපති මෙන්ම සතුන්ට කාරක සෙනසුරු සමඟ සංයෝගව 7 වැන්නෙහි සිටිමින්, සෙනසුරු රාශි මෙන්ම පූර්ණ දෘෂ්ටියෙන් ස්ථානය නිවේදනය කෙරෙන සිව්වැන්නත් එහි සිටින ආත්මකාරක රවි සහ ලග්නාධිපති බුධ දැකීම සිව්වැන්න රාහු කේතු යන ග්‍රහයන්ට මැදිව පාප කර්තරිතවීම ජේසුස් වහන්සේගේ උපත මිනිස් වාසයෙන් තොර වූ සිව්පාවුන් වාසය කරන ගවලෙනක සිදුවීමට හේතුවන ප්‍රධාන ග්‍රහ බලය වන්නේ ය.

ජේසුස් වහන්සේ ජීවත්ව සිටි කාලයෙහි විවිධ ප්‍රාතිහාර්යයන් සිදුකළ බව ශුද්ධ වූ බයිබලයේ සඳහන්ව ඇත. ඒ පිළිබඳව ඉහත ලග්න කේන්දරයට අනුව කරුණු විමසා බලන කල ලග්නාධිපති බුධ තැන්පත් රාශි අධිපති ආත්මකාරක රවි තැන්පත් රාශි අධිපති, චිත්තකාරක සඳු තැන්පත් රාශි අධිපති දිව්‍යම බලයක් ලබාදෙන ගුරු ග්‍රහයා වී ගුරු බලගතු හංස යෝගයක් උදා කරමින් සත් වැන්නේ සිටිමින් කේන්ද්‍ර සහ රාශි දෘෂ්ටියෙන් 1, 4, 10 යන කේන්ද්‍රස්ථාන දැකීම විවිධ ප්‍රාතිහාර්යයන් සිදු කිරීමට දිව්‍යම බලයක් ලබා දුන් ග්‍රහ බලය වන්නේ ය.

අවසාන වශයෙන් උන්වහන්සේගේ ශෝචනීය මරණය සිදුවීමට හේතු වූ ග්‍රහ බලය පිළිබඳ කරුණු විග්‍රහ කළහොත් ප්‍රථමයෙන් උන්වහන්සේගේ ආයු ශක්තිය කෙසේද? යන්න පිළිබඳව ලග්න කේන්දරය අනුව පැහැදිලි කරගත යුතුව ඇත. ඒ අනුව බලන කල ලග්නාධිපති බුධ, ආත්මකාරක රවි සහ චිත්තකාරක සඳු යන ග්‍රහයන් උපචය රාශිවල එනම් ධනු මීන යන රාශිවල පතිතව සිටීම උන්වහන්සේගේ ආයුෂ අවුරුදු 32 - 72 අතරට වැටෙන මධ්‍ය ආයුෂට හිමිකම් කියන බව පෙන්වා දෙන ග්‍රහ බලයක් වන අතර, ඒ අනුව උන්වහන්සේ මිය ගියේ වයස අවුරුදු 33 දී ය. මෙහිදී උන්වහන්සේගේ මරණය ඉතා ශෝචනීය අන්දමින් සිදුවීමට හේතු භූත වූ ග්‍රහ බලය ගැන සොයා බැලීමේදී ජන්මියාගේ ජීවිතය ආරක්ෂා කරන ග්‍රහයෙක් වන යෝග කාරක සිකුරු ග්‍රහයා නීච, රාහු, කේතුගෙන් විඩාවීම සිකුරු තැන්පත් රාශි අධිපති එනම් 3 වැන්න වූ වෘශ්චික රාශියට අධිපති අඟහරු මාරක ස්ථානයක් වන 8 වැන්න වූ මේෂ රැසට අධිපතිව සිව්වැන්නේ සිටින ලග්නාධිපති බුධ සමඟ යෝග වූ දුෂ්ටභාව අධිපතියෙක් මෙන්ම 22 වෙනි දෙර්කාණාධිපති රවිගේ දෘෂ්ටියෙන් පීඩා වෙමින් සතුරු ස්ථානය වන 6 වැන්නේ පතිතව පූර්ණ දෘෂ්ටියෙන් ලග්න දැකීමත්, අට අධිපති අඟහරුගේ පාපි බලය තවරාගත් 6 අධිපති සෙනසුරු මාරක භාවයක් වන 7 වැන්නෙහි පතිතව මහ බාධක බලයෙන් යුත් මාරක ස්ථානාධිපති ගුරු සමඟ සංයෝග වෙමින් සඳු ග්‍රහයාට ද පීඩා කරමින් සප්තම දෘෂ්ටියෙන් ලග්නය දැකීම රාජ අණ මත කෲර ලෙස වද හිංසනයට ලක් කොට කුරුසියේ ඇණ ගසා මරා දැමීමට හේතු වූ ග්‍රහ බලය වන්නේ ය. එලෙස උන්වහන්සේ කුරුස ගසේ මියැදෙන විට 22 වැනි දෙර්කාණාධිපති රවි ග්‍රහයාගේ මහ දශාවේ මරණයට කාරක නීච කේතුගේ අතුරු දශාවද යෝගිනි දශා ක්‍රමයට අනුව ශනි හිමි උල්කා ගේ යෝගිනි දශාව උල්කාගේ අතුරු දශාව ගත කරමින් සිටිය අතර ජන්ම ඒරාෂ්ටක අපලයේ මධ්‍යම අවස්ථාව පසුකරමින් සිටියේ ය. එලෙස උන්වහන්සේ මියගියද දින තුනකට පසු මළවුන්ගෙන් උත්ථාන විය. එසේ මළවුන්ගෙන් උත්ථාන වූ උන්වහන්සේ දින 40ක් පුරා ස්වකීය ජීවමාන ශරීරය සමඟ 500 දෙනෙකුට දර්ශනවීමෙන් පසු ස්වර්ගයට වැඩිය සේක.

ඉහත විග්‍රහ කළ පරිදි ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූයේ උන්වහන්සේ දිව්‍ය ආත්මයක් වූ නිසාය. ඒ පිළිබඳව උන්වහන්සේ උපන් ඉහත දැක්වෙන කන්‍යා ලග්න කේන්දරයට අනුව කරුණු විග්‍රහ කළහොත් ලග්නාධිපති බුධ, විඥානයට කාරක සඳු ආත්ම කාරක රවි තැන්පත් රාශි අධිපති ගුරු දිව්‍යම ආත්මයන්ට කාරක ග්‍රහයකු වී බලවත් ගුරු හංස යෝගය උදා කරමින් 7 වැන්නේ සිට ලග්නය ඇතුළු කේන්ද්‍රය රාශි දෘෂ්ටියෙන් දැකීම නිසාය.

ඔබ සැමට පී‍්‍රතිමත් සුබ නත්තලක් වේවා!

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.