කටකයේ කුජගෙන් අපල නම් මේ පිළිවෙත් කරන්න

ඔක්තෝබර් 4, 2024

ඔක්තෝබර් මස 20 වැනිදා කටක රාශියට පැමිණෙන කුජ මාස 5 සිට 7 අතර කාලයක් වක්‍ර ගමනක යෙදෙයි.

කුජ ග්‍රහයාගේ වක්‍රවීම සිදු වන්නේ අවුරුදු 2කට වරක්ය. කුජ ග්‍රහයාගේ අපල වැඩිපුර බලපවත්වන්නේ රාශියට ඇතුළු වූ මුල් දිනවලය.

2025 ජූලි මස 07වැනි දින පෙ.ව. 2.12ට නීච ගමන සම්පූර්ණ ඉවත් වී සිංහ ලග්නයට ගමන් ගනී. කුජගේ නීච වීමෙන් අපල ඇති අයට 2024.10.20 සිට 2025.06. 07 දක්වා කාලය කුජගේ අපල වශයෙන් හැඳින්වේ. එය තමන්ගේ උපන් වේලාවේ ඇති වෙනත් ග්‍රහ සංයෝග ආදිය අනුව වෙනස් විය හැකිය.

කුජගේ අපලය බලපවත්වන බව දළ වශයෙන් මෙහි සඳහන් වන අයට කළයුතු යාග හෝම පහතින් දක්වා ඇත. මෙම යාග හෝමවලින් තමාට හැකි පමණින් යාග හෝම 3ක් හෝ 4ක් හෝ කිරීම යහපති.

විශේෂයෙන් කතරගම දෙවිඳුන්ට ඔප්පු කරන බව කියා භාරයක් වීම යහපති. එවිට අපල අඩුකර ගත හැකි වේ.

කෙසේ නමුත් උපතින් කුජ බලවත් වී සිටිය අයට ද කුජ යෝග සමඟ සංයෝග වූ කුජ ද කුජගේ දශා ඇති අයට ද බලවත් කුජගේ මහ දශා අන්තර් දශා පවතින අයට ද මේ අසුබඵල එතරම් බලපවත්වන්නේ නැත. දින 7ක් හෝ දින 21 ක් බෝධි පූජා කරන්න.

රතු නෙළුම් මල් 84ක් රතු අරලිය, රත්මල් වැනි මල්වර්ග, කනේරු මල් ආදි මල් වර්ග බෝධියට, චෛත්‍යයට පූජා කරන්න. රතුමල් මාලයක් පූජා කරන්න. රතු කැකුළු, කිරිබත් රතු බත්, රතු පලතුරු රතු තැඹිලි පූජා කරන්න. අසරණ රෝගීන්ට රතුපාට වස්ත්‍ර දන් දෙන්න.

අභිසම්භිදාන පිරිත කියවන්න

කොළොං පැළයක් සිටුවන්න

අඟහරුවාදා උදේ 6.00ත් - 7.00ත් අතර කාලයේ තැඹිලි තෙල් පහනක් ද දල්වා පහත ඇති ගාථාව 3වරක් බැගින් දින 7ක් කියවන්න.

ධරණි ගර්භ සම්භුතං -

විද්වත් පුඤ්ඤ සම්ප්‍රබං

කුමාරං ශක්ති හස්තංච -

ලෝහිතාංගෙං පුනවාමිසහං

ලොත් සුඹුල්, විළඳ කොට්ටන්, බැබිල, පුවඟු, කලාඳුරු අල, දේවදාර, කටුපිල, තම්බා ගත් වතුරෙන් දින 3ක් ස්නානය කරන්න.

රතු කොරල්, රතු මැණික්, රත්රන් හෝ රිදී මුද්දක බැඳ වෙඳැඟිල්ලේ පලඳින්න.

මේෂ ලග්නය

ඔබගේ කේන්දරයේ කුජ 4 වැන්නට පැමිණේ. ඒ නිසා ගේ දොර පිළිබඳ යම් යම් කරදර ඇති විය හැකිය. බලාපොරොත්තු නොවූ අයගේ ආශ්‍රය ඇතිවන අතර තමාගේ අවංකව සිටි මිතුරු මිතුරියන්ගෙන් සැලකිලි අඩු බවක් දැනේ. ලේ දොස්, කෝප රෝග, පපුවේ ආබාධ ගතිය ආදිය ඇතිවිය හැකි බැවින් ඉහත පිළිවෙත් අනුගමනය කිරීමෙන් යහපත උදාකර ගන්න.

වෘෂභ ලග්නය

ඔබගේ කේන්දරයේ 3 වැන්නේ කුජ ගමන් ගනී. එම නිසා ඔබට සුබදායක කාලයක් බව කිව හැකිය. අලුත් මිතුරු මිතුරියන් ඇසුරු කිරීමට ලැබේ. ධනය ඉතිරි කිරීමට හැකිවේ. අලුත් ඇඳුම් පැලඳුම් ආභරණ මිලට ගත හැකි කාලයකි. ශරීර සැපත දියුණුවට පත් වේ. සමාජයෙන් ගරු සැලකිලි ලැබේ. පවුලේ සමගිය, දියුණුව වැඩිවේ. එහෙත් සහෝදර ආදීන් සමඟ අමනාපකම් ඇතිවිය හැකි බැවින් සැලකිලිමත්වීම යහපත්.

මිථුන ලග්නය

ඔබගේ රාශියේ කුජ දෙවැන්නේ නීච වී ගමන් ගනී. එම නිසා ඔබගේ ආදායම් තත්ත්වය අඩු විය හැකිය. අන් අයගේ හදිසි වැඩවලට උදව් කිරීමට සිදුවන බැවින් තමාගේ වැඩ අතපසු වීමට ඉඩ ඇත. සතුරන් සමඟ ආරවුල් ඇතිවිය හැකි බැවින් හිතාමතා එය අඩුකර ගැනීම යහපති. එසේම සොරබියෙන් ආරක්ෂාවීම යහපති. උගුරේ සෙම්ගෙඩි, දත්වල රෝග ආදි පීඩා ඇති වීමට ඉඩ ඇත. එහෙත් තමාගේ රැකියා ඒ තත්ත්වයෙන්ම කරගෙන යාමට ලැබේ. අසුබ තත්ත්වයන් මඟ හැරීමට ඉහත පිළිවෙත් අනුගමනය කරන්න.

කටක ලග්නය

ඔබගේ ලග්නයේ කුජ නීච වී ගමන් ගනී. ඒ නිසා සමාජයෙන් දෝෂාරෝපණ එල්ල වීමේ ඉඩක් පවතී. සිතට කරදර, ප්‍රශ්න ඇතිවිය හැකිය. තමා කරගෙන ගිය රැකියාවලට බාධා, ප්‍රශ්න ඇතිවන බැවින් සැලකිලිමත්වන්න. අධ්‍යාපන කටයුතු කරන අය බාධා මැඩගෙන කටයුතු කළ යුතුය. රැකියා ස්ථානයේ ද කරදර ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. පපුවේ සෙම්රෝග, නහර රිදීම ආදී පීඩා ආදිය මෙන්ම සුළු වශයෙන් පවුලේ අසමගිකම් ඇති විය හැකි බැවින් මේ අපල කාලයේදි ඉහත කී යාග හෝම කිරීම යහපති.

සිංහ ලග්නය

සිංහ ලග්නයෙන් උපන් ඔබට කුජ 12 වැන්නේ ගමන් ගන්නා බැවින් සිතට කරදර ඇති විය හැකිය. රහස් සතුරු කරදරවලින් ආරක්ෂා වී කටයුතු කිරීම යහපති. මිල මුදල් තත්ත්වය පහත බැසිය හැකිය. ඉඩකඩම්, දේපළ සඳහා වියදම්, ඉඩම් නඩු වැනි දේ ඇතිවිය හැකි බැවින් පවුලේ අසමගිකම් ද සුළු වශයෙන් පෙන්නුම් කෙරේ. ඇස්වල රෝග, පිත් රෝග, කකුල්වල සීරීම්, කැපීම් වැනි ආබාධ ඇතිවිය හැකි බැවින් සහ අධ්‍යාපන කටයුතු කරන අයට බාධක ඇති බැවින් ඉහත පිළිවෙත් අනුගමනය කරන්න.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයේ කුජ 11 වැන්නට පැමිණේ. එම නිසා ඔබට සුබදායක වේ. ඔබගේ රැකියා සාර්ථක තත්ත්වයට පත් වේ. ගේදොර කටයුතු පිළිබඳව සතුටුදායක තත්ත්වයෙන් කටයුතු කිරීමට ලැබේ. ඔබගේ රැකියා පිළිබඳ රජයෙන් උදව් ලැබීමට හැකිය. සතුරු කරදර මඟ හැරේ. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. අධ්‍යාපන කටයුතුවල නියැළී කාලය ගෙවන අයට විභාග සමත් වීමටත් අමතර විෂයයන් ඉගෙනීමටත් හැකි වේ.

තුලා ලග්නය

තුලා ලග්නයෙන් උපන් ඔබට කුජගේ ගමන මිශ්‍රඵලදායක බව කිව හැකිය. රැකියා කටයුතුවල දියුණුව ඇතිවේ. කාර්මික කටයුතු, ආයුධ සෑදීම, ගින්නෙන් කරන ක්‍රියාවන් වැනි රැකියාවලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. එහෙත් සිතට කරදර, ප්‍රශ්න වරින්වර ඇතිවිය හැකිය. කල්පනාකාරීව වැඩ කටයුතු කිරීම යහපති. රැකියා ස්ථානයේ අය සමඟ වාද විවාදවලට නොයන්න. අධ්‍යාපන කටයුතු කරන අයට සුබපල ගෙනේ.

 

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට කුජ 9 වැන්නේ ගමන් ගැනීම මිශ්‍රඵලදායක බව කිව හැකිය. මුදල් පාඩුවීම්, සිත් තැවුල්, සතුරු කරදර ඇතිවීම ආදි අසුබ පල ඇතිවිය හැකිය. තමාගේ තත්ත්වයට නොගැළපෙන පාප මිත්‍රයන් ඇසුරු කිරීමට ලැබේ. එහෙත් තමා කරගෙන ගිය රැකියා ඒ ආකාරයෙන්ම කරගෙන යාමට හැකිවේ. සමාජයෙන් සැලකිලි අඩු බවක් හැඟේ. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. ගෙදර දොර සමගිය ඇතිවේ. අධ්‍යාපන කටයුතු කරන අයට සුබදායක වේ.

ධනු ලග්නය

ධනු ලග්නයෙන් උපන් ඔබට නීච වූ කුජ 8 වැන්නේ ගමන් ගන්නා නිසා බොහෝ අපල ඇති විය හැකිය. අධික වියදම්, සිත් තැවුල්, කනගාටුදායක සිදුවීම් බලපෑ හැකි කාලයකි. පවුලේ කටයුතුවලින් පාඩු සිදුවීම, තමා නොකළ වැරදිවලට චෝදනා එල්ල වීම, භාර්යාවට ස්වාමිපුරුෂයාට අපල ඇති වීම වැනි දේ ඇති විය හැකිය. අලුතින් ආරම්භ කරන රැකියාවලට බාධා ඇති විය හැකිය. ආයුධ අනතුරු, උදරයේ ඌෂ්ණ රෝග, අතීසාර වැනි රෝග, නහර රිදීම, පාදවල රිදීම් වැනි රෝග පීඩා ඇති කෙරෙහි අවධානය යොමු කරන්න. මුදල් වැය වීම්වලට ඉඩ ඇති කාලයකි. ඉහත දක්වා ඇති යාග හෝම කිරීම යහපති.

මකර ලග්නය

මේ ලග්නයෙන් උපන් ඔබට නීච වූ කුජ 7 වැන්නේ ගමන් කිරීම සුබපල අඩු කරයි. භාර්යාව හා ස්වාමියා අතර අමනාපකම් ඇති විය හැකිය. ගේ දොර කරදර, චිත්ත පීඩාවලට ඉඩ ඇත. එසේම මූත්‍ර රෝග රුධිර පීඩන රෝග, ආදි ආබාධ ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ආර්ථික තත්ත්වය කළමනාකරණය කළ යුතු වේ. ඉක්මනින් කෝප වන බැවින් සතුරු කරදර ඇති විය හැකි බැවින් ඉවසිලිවන්තව කටයුතු කිරීම යහපති. අධ්‍යාපන කටයුතු කරන අයට ඒ ආකාරයෙන්ම කරගෙන යාමට ලැබේ. අයහපත් බලපෑම් අවම කර ගැනීමට පිළිවෙත් පිළිපදින්න.

කුම්භ ලග්නය

කුම්භ ලග්නයෙන් උපන් ඔබට කුජ 6 වැන්නේ ගමන් ගැනීම යහපත් බව කිව හැකිය. නැතිවූ ධනය නැවතත් දියුණු කර ගැනීමට ලැබේ. අලුත් රැකියා ඇරඹීමට හැකි වේ. සතුරන් මිතුරන් බවට පත් වේ. නඩු හබ වැනි දේවලින් ජය ලැබීමට හැකිවේ. රජයේ රැකියා කරන අයට උසස්වීම් ලැබේ. පවුලේ සමගිය වර්ධනය වන කාලයකි. අධ්‍යාපන කටයුතු කරන අයට ඉගෙනීමේ දියුණුව සැලසේ.

මීන ලග්නය

මීන ලග්නයෙන් උපන් ඔබේ කුජ 5 වැන්නේ ගමන් ගැනීම සුබපල අඩු කරයි. ශරීර සෞඛ්‍යයේ දුර්වල ගති ඇති විය හැකිය. තමා සමඟ අමනාප අයගෙන් යම් යම් අසුබ පල ඇති විය හැකිය. ආදායම් තත්ත්වය කළමනාකරණය කිරීමට අවධානය යොමු කරන්න. අධ්‍යාපන කටයුතු ඒ ආකාරයෙන්ම කරගෙන යාමට හැකි වේ.

කුජගේ අපල බලපවත්වන අයට කළයුතු යාග හෝම ඉහතින් දක්වා ඇත. මේ යාග හෝමවලින් තමාට හැකි පමණින් යාග හෝම පැවැත්වීමෙන් තමන්ට ඇති අපල තත්ත්වයන් පාලනය කරගත හැකිය.

බොහෝ විට මේ අපල තත්ත්වයන් ඇති වන්නේ පෞද්ගලිකව තමන් උපන් වේලාවට අදාළ අනෙකුත් කරුණු අනුව බැවින් පොදුවේ කෙරෙන අනාවැකිවලින් කුජගේ බලපෑම නිසා පමණක් අපල ඇති වන බව සැලකීම සුදුසු නොවේ. ඡ්‍යොතිෂය යනු අනාගතයේ ඔබට විය හැකි යම් දොසක් වේ නම් ඒ බව සිදුවීමට පෙර දැන එයට පිළියම් යෙදීමට හැකි විෂයයක් බැවින් එහි නිසි පල ලබා ගැනීමට එම විෂයයෙන්ම යෝජනා කරන වත් පිළිවෙත් අනුගමනය කිරීම සුබවාදීය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.