දරුවාගේ අනාගතයට බලපාන වැදගත් චාරිත්‍ර

ජුනි 30, 2023

අලුත උපන් දරුවකු වෙනුවෙන් දරුවාගේ මුල් අවුරුදු 03 ඇතුළත මූලිකව අප චාරිත්‍ර 08ක් ඉටු කරනු ලබන අතර ඒ අතරින් ප්‍රධාන චාරිත්‍ර 06ක් අනිවාර්යයෙන්ම දරුවා වෙනුවෙන් ඉටුකරනු ලබයි. එම මූලික චාරිත්‍ර 08 ලෙස නම් තැබීම, රන්කිරි කට ගෑම, හිරු දක්වීම, ආගමික ස්ථානයක් වෙත දරුවා කැඳවාගෙන යාම, හිසකෙස් කැපීම, ගැහැනු දරවන්ගේ කන් විඳීම, දරුවාට ඉඳුල් කට ගෑම, අකුරු කියවීම දැක්විය හැකිය. ඒ අතරින් නිවැරැදිව ගණ පිහිටුවා දරුවාට අර්ථවත් නමක් තැබීම හා සුබ නැකැතට නිවැරැදිව ජීවම් කර පංචායුධයක් කර පැලඳවීම යන චාරිත්‍ර පිළිබඳ අපි පසුගිය සතියේ සාකච්ඡා කළෙමු. ඉතිරි චාරිත්‍ර මෙසේය.

 

සුබ නැකැතට මංගල හිසකෙස් රොද කැපීම

ඔබගේ සිඟිති දුවගේ හෝ පුතුගේ මුල්ම හිස කෙස් රොද ප්‍රථම වරට කැපීම අපි මංගල හිස කෙස් කැපීම ලෙස හඳුන්වමු. මෙහිදී මෙම කටයුත්ත සුබ නැකතකින්ම කළ යුතුය. එය ඡ්‍යොතිෂ නියමයයි. එය මඟහැර කටයුතු කිරීම තුළින් විවිධාකාරයේ බාධක එල්ල වනු ඇත. එයට හේතු වන්නේ අසුබ වේලාවක කෙස් කැපීමෙන් දරුවාට කරදර ඇතිවේ යැයි මතයක් පුරාණයේ සිටම අප ජන සමාජය තුළ පැවතීමයි. එය අපට සරලව බැහැර කළ නොහැකිය. විශේෂයෙන් එසේ අසුබ වේලාවක මෙම කටයුත්ත සිදු කිරීම නිසා අනාගතයේ දරුවාට වචන උචිචාරණයේ දුබලතා, ගොත බව, ගොළු බව, ඇති වේ යැයි විශ්වාසයක් අප සමාජය තුළ පවතී. එය අපට කිසිසේත් අසත්‍යක් යැයි බැහැර කළ නොහැකිය. මේ මංගල කෙස් රොද කැපීම දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින අවස්ථාවක හිරු අවරට යාමට පෙර සුබ වේලාවක සිදු කළ යුතුය. දරුවාගේ ජන්ම (උපන්) නැකතට ගැළපෙන එසේම නැකැත් වශයෙන් අස්විද, රෙහෙණ, මුවසිරස, පුනාවස, පුෂ, උත්‍රපල්, හත, සිත, සා, සුවණ, දෙනට, සියාවස, රේවතී යන නැකතක් යෙදෙන පංචාංගය සුබ පුර පස සඳුදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනයක් මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබ දායක වනු ඇත. එසේම ලග්න වශයෙන් වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, ධනු, මීන යන ලග්නයක් තක්කාල ලග්නය ලෙස උදාව ඇති රාහු කාලයෙන් තොර සුබ හෝරාවක යොදා ගැනීම ඉතාමත් යහපත් වනු ඇත. දරුවාගේ ජන්ම නැකත මේ සඳහා යොදා නොගත යුතුය. සුදු හඳුන්, විළඳ, පිච්ච මල් මිශ්‍ර කරගත් පිරිසුදු දිය ස්වල්පයක් හක් ගෙඩියකට දමා එම හක් ගෙඩිය දරුවාගේ හිස වටා තුන් වරක් කරකවා එහි ඇති වතුර ස්වල්පයක් දරුවාගේ හිස මුදුනට ඉසින්න. ඉන්පසු හිස මුදුනේ සිට හිස කෙස් කැපිය යුතුය. කෙස් රොද කීහිපයක් කපා එය බැස යන ජලාශයකට දැමිය යුතුය. හිස කෙස් කැපීමෙන් පසු දරුවා නාවා ගැනීම යහපත් වනු ඇත. මෙහිදී පිරිමි දරුවන්ට ඉපදී මාස 3, න් හෝ 5 න් ද ගැහැනු දරුවන්ට මාස 2, 4 ,8 යන කාල සීමා ද හිස කෙස් කැපීමට සුදුසු වේ.

 

ගැහැනු දරුවන්ගේ කන්විදීම

මේ චාරිත්‍රය ගැහැනු දරුවනට පමණක් වන අතර එසේම එය ඉතාමත් ම වැදගත් ය. මෙය ලේ වහනයකට සම්බන්ධ නිසාවෙන් ඉතා කල්පනාකාරීව හා නිවැරැදි සුබ නැකතකටම කළ යුතුය. මේ වාරිත්‍රය නැකැත් චාරිත්‍ර අතර ප්‍රධාන එකකි. එය දුබල වුවහොත් දරුවාගේ අනාගත ගෘහ ජීවිතයට එය බලපාන බව අප ජන සමාජය තුළ ආකල්පයක් හා විශ්වාසයක් ඇත. මේ සඳහා නැකැත් යොදා ගැනීමේදී කනේ විෂ කලාව නැති දිනයක් තෝරා ගත යුතු අතර විෂ කලාව පවතින විට කන් විඳීම සිදුකල විට කන්වල තුවාල හා කන් පෙති පැසවීම් ඇති වීමේ අවධානමක් පවතිනු ඇත. මේ සඳහා හිරු අවරට යාමට පෙර සුබ වේලාවක් මෙන්ම පංචාංගය සුබ පුර පස සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනයක් මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබ දායක වනු ඇත. කන් විදින තැනැත්තා හෝ තැනැත්තිය මනා වූ දයා කරුණාවෙන් යුත් ඒ සඳහා පළ පුරුද්දක් ඇති අයකු විය යුතුය.

 

සුබ නැකැතට ඉඳුල් කට ගෑම

මෙම චාරිත්‍රය ඈත අතීතයේ සිට ඡ්‍යොතිෂ් ශාස්ත්‍රානුකූලවම ඉටු කරනු ලබන දෙයකි. මවුකිරෙන්, පලතුරු යුෂෙන් හෝ වෙනත් කිරි වර්ගයකින් පෝෂණය වූ දරුවා අප රටේ ප්‍රධාන ආහාරය වූ බත් හා ව්‍යාංජනයට හුරු වන ප්‍රථම අවස්ථාව ලෙස අපට සුබ නැකතට ඉඳුල් කට ගෑම. හඳුන්වා දිය හැකිය. ඉහත සඳහන් අන් කරුණු සේම මෙහිදීද දරුවාගේ ජන්ම (උපන්) නැකතට ගැළපෙන එසේම නැකැත් වශයෙන් අස්විද, රෙහෙණ, පුනාවස, පුෂ, උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප, හත, සිත, සා, අනුර, සුවණ, දෙනට, සියාවස, රේවතී යන නැකතක් යෙදෙන පංචාංගය සුබ පුර පස සඳුදා, බදාදා බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනයක් හා කාල හෝරාවක් මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබ දායක වනු ඇත. මේ සඳහා හිරු අවරට යාමට පෙර සුබ වේලාවක් මෙන්ම පංචාංගය සුබ පුර පස දිනයක් මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබ දායක වනු ඇත. මෙහිදී පිරිමි දරුවන්ට ඉපදී මාස 10, න් හෝ 12/14 යන ඉරට්ටේ මාසවලද, ගැහැනු ළමයින්ට මාස 9, 11 ,13 යන ඔත්තේ මාසවල එම කාල සීමා ද යොදා ගත යුතුය.

ජීවිතයේ අත්‍යවශම අංගය ආහාරය වන නිසාවෙන් මෙම කටයුත්ත මවුපියන් විසින් ඉතාමත් නිවැරැදිවම ඉටු කළ යුතුය. නැකතට පෙර බුද්ධ පූජාව තබා දරුවාට අත ගස්සවා බුදුන් වැඳිය යුතුය. ඒ සඳහා නිවැරැදි වත් පිළිවෙත් අනුගමන කිරීම බෙහෙවින්ම සුබ දායක වනු ඇත. දරුවා නිරෝගීව සිටින අවස්ථාවක් මේ සඳහා යොදා ගත යුතුය. පිරිසිදු ඇතිරිල්ලක් නිවෙසේ මැද බිම එලා ඒ මත සියලු ආහාර ස්වල්පය බැගින් වෙන වෙනම තබන්න. කිරිබත්, කැවිලි වර්ග, කෙසෙල් හා වෙනත් පලතුරු වර්ග, රෙදි පිළි, රන් රිදී, ළමා පින්තූර, සෙල්ලම් බඩු ද එම ඇතිරිල්ල වටේ තබා නැකතට විනාඩියකට පෙර දරුවා ඒ මත තබන්න. දරුවා යමක් රැගෙන කටේ තබා ගත හොත් එය සුදුසු සේ සැළකේ. නැතහොත් නැකැත් වේලාවට බත් ටිකකට කිරි හොදි ස්වල්පයක් දමා පිඬු කොට පිරිමි දරුවකුට මව විසින්ද ගැහැනු දරුවකුට පියා විසින්ද කැවිය යුතුය.

 

සුබ නැකැතට අකුරු කියවීම

සුබ නැකතට අකරු කියවීම. මෙම චාරිත්‍රය දරුවෙකු ගේ ජීවිතයේ අතිශය වැදගත් වූ චාරිත්‍රයකි. එම දරුවා සමාජයේ යහපත් මෙන්ම දැන උගත් පුරවැසියකු වීමට නමි ඉතාමත් සුබ වේලාවක මෙම කටයුත්ත ඉටු කළ යුතුය. මෙම චාරිත්‍රය එදා මෙන්ම අදත් සුබ වේලාවකට සිදු කිරීමට අප ජන සමාජය තුළ ඇත්තේ ඉමහත් වූ උනන්දුවකි. ඒ අනුව පුරාණයේ නම් දරුවාට අකුරු කියවීම යෙදී ඇති සුබ වේලාව තුළ කැවුම් කිරිබත් ආදිය රැගෙන ගමේ පන්සලට හෝ අකුරු කියවන වියතාණන්ගේ නිවෙසට හෝ යාම සිරිතයි. ඒ අනුව ඡ්‍යොතිෂානුකූලව දරුවාගේ උපන් ජන්ම නැකතට සීහෙන ලෙස යොදා ගත් සුබ වේලාව තුළ හාමුදුරුවන්ට හෝ ගුරුවරයාට බුලත් අතක් පිළිගන්වන ළමයා ගුරුවරයාගේ දෙපා මත සිරස තබා පළමුව වදී. ඉන් අනතුරුව

ගුරුවරයා විසින් ආදාළ පොත දරුවා අත තබා “ස්වස්ති සිද්ධම්” (යහපතක්ම වේවා) යැයි පවසා දරුවා පොතට වැදීමෙන් අනතුරුව අකුරු කීපයක් දරුවාට කියවා අකුරු කීපයක් දරුවා ලවා ලියවනු ලබයි. මුල් කාලීනව මෙම කටයුත්ත ගමේ පන්සල හෝ පාසලේ මුල් ගුරුවරයා මූලික කොටගෙන සිදු වුවත් අදවන විට එය වෙනස්ව එය ගෙදරම වැඩිහිටියකු විසින් කරන තත්ත්වයට පත් වී ඇත. කෙසේ වෙතත් මෙම සුබ කටයුත්ත දරුවාට හිතවත් උගත් බුද්ධිමත් ගුණ ගරුක වැඩිහිටියෙකු විසින් කළ යුතුය. අකුරු කියවීමට අස්විද, රෙහෙණ, මුවසිරස, පුනාවස, පුෂ, හත, සිත, සා, අනුර, සුවණ, සියාවස, රේවතී යන නැකතක් යෙදෙන පංචාංගය සුබ පුර පස සඳුදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනයක සුදුසුම හෝරාවක සුදුසුම පංචම කාල හෝරාවක් මෙි සඳහා යොදා ගැනීම ඉතාමත් සුබදායක වනු ඇත. එසේම රාහු කාලයෙන් තොර සුබ හෝරාවක යොදා ගැනීම ඉතාමත් යහපත් වනු ඇත. එසේම අට වැන්නේ කිසිම ග්‍රහයකු නැති උභය ලග්නයක් උදා වූ වේලාවක මෙම නැකත සකස් විය යුතුය. අකුරු කියවීම මුල් කාලීනව වයස අවුරුදු 05 ට පෙර සිදු කළ යුතු වුවද, වත්මනේ එය පෙර පාසල් සංස්කෘතියත් සමඟින් වයස 03 ට පෙර කියවිය යුතු යැයි මතයක් ගොඩ නැඟී ඇත.

අකුරු කියවීමේ අවස්ථාවේදී ගණ දෙවියන්ට විශේෂ ස්ථානයක් හිමි වන අතර ධාරණ ශක්තිය ඇති වීම, සබකෝලය දුරු වීම, විභාග සම්මුඛ පරීක්ෂණ ආදියට පෙනී සිටීමට ආත්ම ධෛර්යය ඇතිවීම, ආදිය සඳහා ගණ දෙවි පූජාවක් මඟින් ආශිර්වාදය ලබා ගැනීම මෙම කටයුත්තේදී ඉතාමත් වැදගත් වනු ඇත.

ඔබත් ඔබේ සිඟිති දරුවා වෙනුවෙන් ඉහත සඳහන් චාරිත්‍ර නිසි පරිදි ඉටු කිරීම ඔබේ දරුවාගේ මතු අනාගතය යහපත්වීමට හේතු වනු නොඅනුමානය.

 

 

ඡ්‍යොතිෂවේදී,

බණ්ඩාරගම

සම්පත් එස්. කල්පගේ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.