වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
ජ්‍යොතිෂ සහතිකපත්‍ර ප්රදානය 5 වැනිදා අනුරාධපුරයේදී
ආචාර්ය ජී. ඇම් ගුණපාලයන් විසින් නොමිලේ මෙහෙයවන ලද ජ්‍යොතිෂවිද්‍යා පාඨමාලාවන්හි සාමාර්ථ්‍යය ලැබූ විද්‍යාර්ථීන් උදෙසා සහතික පත්‍ර ප්රදානය කිරීම පෙබරවාරි මස 5 වැනි බදාදා පෙ.ව. 9.00ට අනුරාධපුර නව පුත්තලම් පාරේ පතානේගම තිස්ස මාවතෙහි පිහිටි සුනිවන ශ්‍රී ආර්ය ශාන්ති භවනේදී පැවැත්වෙයි. මහාචාර්ය යසන්ත මදුරපපෙරුම (කොළඹ විශ්ව විද්‍යාලය) ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හර්ෂ ධර්මප්‍රිය (කැලණිය විශ්ව විද්‍යාලය) ලලිත කලාවේදී සංගීතාචාර්ය විශාරද ගයාන් ශ්‍රී නේරංජන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ සහතික පත්‍ර ප්රදානය සිදු කෙරේ. ජ්‍යොතිෂ පාඨමාලාව හැදෑරූ විද්‍යාර්ථීන් වන සංඝයා වහන්සේ, මහාචාර්යවරුන්, ගුරුවරුන් ඇතුළු විද්වත් වෘත්තිකයන් මෙහිදී සහතික පත්‍ර ලබනු ඇත.
---------------------
උපාලි සමරසිංහගෙන් සමනළ අඩවියේ අසිරිමත් කතන්දර
මාධ්‍යවේදී උපාලි සමරසිංහගේ නවතම කෘතිය සමනළ අඩවියේ අසිරිමත් කතන්දර කෘතිය පසුගිය දා එළිදැක්විණ. මෙරට ප්‍රසිද්ධ ඓතිහාසික ප්‍රදේශයක් වන සමනළ අඩවිය පිළිබඳ රචනා කරන ලද මේ කෘතිය සිංහල ජනශ්රැති සාහිත්‍යයට එක් වූ නවතම කෘතියකි.
උපාලි සමරසිංහ කතුවරයා විසින් පාඨක කුතුහලය දනවන අයුරින් මේ කෘතිය සම්පාදනය කර ඇත්තේ දෙවිපහළ දේවමිත්ත හිමියන් සිරිපා අඩවිය පිළිබඳ ඔහු වෙත ලබා දුන් තොරතුරු පාදක කරගෙනය.
මේ සිරිපා සමයේ සිරිපා කරුණාකරන පිරිස් මේ අඩවිය පිළිබඳ දන්නා නොදන්නා කරුණු බොහොමයක් ඔහුගේ කෘතියේ අඩංගු වී ඇත. ඒ අතර අවට පරිසරය, තුරුලතා මෙන්ම මේ අඩවියේ ජීවත් වූ සහ ජීවත් වන සත්ත්ව විවිධත්වය පිළිබඳ අදහසක් ලබා ගැනීමට මෙමඟින් අවස්ථාව ලැබේ. එසේම මේ අඩවියේ ඇති ගුප්ත බලවේග, ශබ්ද හා අධිස්වාභාවික බලවේග පිළිබඳ අපූර්ව කතාන්තර මෙහි අන්තර්ගතය.
සිළුමිණ පුවත්පතේ විශේෂාංග කර්තෘවරයකු වශයෙන් කටයුතු කළ උපාලි සමරසිංහ තමන්ට ආවේණික භාෂා ශෛලියක් සහ රචනා විලාසයක් මේ කෘතියෙහිද ප්‍රකට කර තිබේ.