පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කෙරේ

අගෝස්තු 30, 2024

පාරම්පරික වෛද්‍ය ලියාපදිංචි ගැටලු මගහැර දේශීය වෛද්‍යක්‍රම සුරක්ෂිත කරලීමට කටයුතු කළ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති දේශීය වෛද්‍ය ක්‍රමයේ උරුමයක් වන අත්බෙහෙත් ප්‍රචලිත කිරීමේ වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන් “ අනාදිමත් කාලයක සිට පැවත එන අපේ උරුමයක් වන පාරම්පරික දේශීය වෙදකම සුරෑකුම අපේ යුතුකම හා වගකීම බවත් ඒ සඳහා නිබඳව කැපවී සිටින බවත් ප්‍රකාශ කර සිටියේය.

මේ වන විට වයස අවුරුදු 70 ඉක්මවූ ලියාපදිංචිය නොලත් සුවිශේෂී දක්ෂතාවයන් ගෙන් හෙබි පාරම්පරික වෛද්‍යවරුන් වෙනුවෙන් වෛද්‍ය ප්‍රණාම ලියාපදිංචි ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇති බවත් පාරම්පරික වෛද්‍යවරුන් වෙත ආයුර්වේද වෛද්‍ය සභාව මගින් ලබාදෙන සේවාවන් වඩා කාර්යක්ෂම හා පහසු කරලීම තුළින් විධිමත් කරලීම උදෙසා දිස්ත්‍රික් මට්ටමින් ලියාපදිංචිය ලබාදීමේ වැඩසටහන් හා සේවා වැඩසටහන් දියත් කරලූ බවත් ඔහු සඳහන් කළේය. දිවයින පුරා විසිරී සිටින විසි දහසකට අධික පාරම්පරික වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් එළිදැක්වීමට කටයුතු කළ බවත් “අපේ වෙද මහත්තයා” වෙබ් අඩවිය හා “වෙද වරු “ ජංගම දුරකථනය යෙදවුම තුළින් නූතන අන්තර්ජාල තාක්ෂණය දේශීය වෛද්‍ය ක්‍රමයේ උන්නතිය වෙනුවෙන් දායක කරලූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

----------------

නොමිලේ ඡ්‍යොතිෂ සම්මන්ත්‍රණයක්්

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතාගේ 80 වැනි ජන්ම දින සැමැරුම නිමිත්තෙන් වසර 64ක අඛණ්ඩ ඡ්‍යොතිෂ අත්දැකීම් බෙදාදීමේ පරමාර්ථය පෙරදැරිව ශාස්ත්‍ර දානයක් ලෙස නොමිලයේ පවත්වනු ලබන ඡ්‍යොතිෂ සම්මන්ත්‍රණය හා වැඩමුළුව සැප්තැම්බර් මස 03 වැනි අඟහරුවාදා දින උදේ 9.00 සිට සවස 3.00 දක්වා අනුරාධපුර නව පුත්තලම් පාරේ තිස්ස මාවතේ සුනිවන ශ්‍රී ආර්ය ශාන්ති භවනේදී පැවැත්වේ. මේ අවස්ථාවට සහභාගිවන්නන් උදෙසා කර්තෘවරයා විසින් රචනා කරන ලද ඡ්‍යොතිෂ පොත පතද එළිදැක්වෙනු ඇත.

--------------------------

දත් රැක ගන්න දැනුම්වත් කිරීමක්

යහපත් දන්ත සෞඛ්‍යයක් සඳහා ෆ්ලෝරයිඩ් මූලික මිනිස් අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන ඇති අතර මෑතක සිට ජනතාව අතර ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප ශරීරයට අහිතකර බවට වැරදි මතයක් පවතින බවත් එබැවින් ෆ්ලෝරයිඩ් නොමැති දන්තාලේපවලට යොමු වීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වෙමින් පවතින බවත් මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක ශ්‍රී ලංකාවේ දත් දිරායාම සැලකිය යුතු ලෙස අඩුවී ඇති අතර මෙසේ දත් දිරායාම පාලනය වීමට ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිතය හේතුවක් ලෙස හඳුනාගෙන ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද යහපත් දන්ත සෞඛ්‍යයක් සඳහා ෆ්ලෝරයිඩ් මූලික මිනිස් අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන ඇති බවත් පැවසීය. 2015/ 2016 ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාවේ ළමා, යොවුන් හා වැඩිහිටි ජනගහණයෙන් 75%ක් පමණ ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිත කරන බවත් , දිනකට දෙවරක් දත් මැදීමේ පුරුද්දට ජනතාව උනන්දු කළ යුතු බවත් 1983 දී අවුරුදු 12ට අඩු දරුවන්ගෙන් 67%ක් වූ දත් දිරා යාම 2015 වන විට 30%ක් දක්වා අඩුවී ඇති බවත් ෆ්ලෝරයිඩ් ඇපටයිට් සංයෝගය සෑදීම මඟින් එහි ආම්ලිකභාවය වැඩිවීමෙන් දතට සිදුවන හානිය අවම වන බවත් කුඩා ළමුන්ගේ පළමු දත මතුවූ දා සිට දත් මැදීම ආරම්භ කළ යුතු බවත් පැවසීය.

- ජයන්ති කුරේ

 

---------------------------------

තිස් වසරක් පුරා කෙරෙන දානමය පින්කමක්

අනුරාධපුරයේ මහමෙව්නා උයනේ වැඩ සිටින විශ්ව ශක්තියේ මහා පහන් ටැඹවූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත වාර්ෂිකව පිරිනමා ඇති උත්තරීතර මහා දානමය පින්කම පුරා වසර 30ක් පුරාම ඉටුකරන ලද බෙම්මුල්ලේ විසූ යූ. වී ජේපින් පෙරේරා ( බේබිනෝනා) මාතාවගේ ගුණ සැමරීම පසුගිය දා සිදු කෙරිණි. ඒ 2024 අගෝස්තු මස 07 වැනි බදාදා ශ්‍රී මහ බෝධින් වහන්සේ වෙත පාරිශුද්ධ මහා බුද්ධ පූජාව පිරිනැමීමෙන් අනතුරුව මහා සංඝයා වන්සේලාට දහවල් දානයත් අෂ්ඨ පරිස්කාරයන් පිරිනැමීමෙනි. මේ මහා දානමය පින්කමේ සංවිධානය එතුමියගේ පවුලේ නෑදෑ පිරිස විසින් සිදු කරන ලදුව එතුමිය විසින් පෙර භවයන්හි කරන ලද මහා පුණ්‍ය කර්මයකින් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට උදාරතර දානමය පින්කමක් කිරීමේ භාග්‍යය වාසනාව උදා වී තිබිණ. එතුමිය නමින් ඉදිරි වර්ෂවලදීද මේ මහා පින්කම සිදුකිරීමට ඔවුන් කටයුතු කරනු ඇත.

- හෙන්රි බෙම්මුල්ල 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.