මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ඇරැඹේ

අගෝස්තු 9, 2024

අගෝස්තු මස 05 දින සුබ නැකතින් සිව් දේවාලයන්හි කප් සිටුවීමෙන් පසු මහනුවර ඇසළ මහා මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු මස 10 වැනි ශනි දින (හෙට) රාත්‍රී 06.06 ට දකුණු දිශාභිමුඛව වීදි සංචාරය අරඹයි. ඒ අනුව

පෙරහර දළදා වීදිය, ඩී එස් සේනානායක වීදිය ඔස්සේ, පන්සල පාරේ, දේව වීදිය, කොළඹවීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවදීම සිදුකරයි.

ප්‍රථම කුඹල් පෙරහර නැරඹීම සඳහා කුඩා දරුවන් සමග ගැබිණි මාතාවන් විශාල පිරිසක් මේ වන විටත් එක්වෙමින් සිටීම විශේෂත්වයකි. ඊට හේතු වී ඇත්තේ, මේ දෙපාර්ශ්වයටම ප්‍රථම කුඹල් පෙරහර දැකීම සුබ නිමිත්තක් ලෙස සැලකීම අතීතයේ සිට පැවත එන්නක් බැවිනි.

මෙලෙස ඇරඹෙන කුඹල් පෙරහර පෙරහර 14 දින දක්වාත් රන්දෝලි පෙරහැර 15 දින සිට 19 වෙනි දක්වාත් වීදි සංචාරය කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

ඉන්පසු 19 දින රාත්‍රී 12. 24 ට උතුරු දිසාභි මුඛව පිටත්වන ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ පෙරහර සිව් දේවාලවල පෙරහරත් සමඟ එක්ව ගෙඩිගේ රාජමහා විහාරයට පිවිස පෙරහර කරඬුව එහි තැන්පත් කොට සිව් දේවාලවල පූජා පවත්වා ගැටඹේ තොටේදී දිය කැපීමේ මංගල්‍යය සිදුකොට,ආපසු පැමිණ ගණ දෙවි කෝවිලේ දේව පූජා ඉටු කරයි.

පසුදින(20) දහවල් පෙරහැර පවත්වා ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවදීමෙන් අනතුරුව,දියවඩන නිලමේතුමන් ප්‍රමුඛ සිව් දේවාලවල සහ පිටිසර දේවාලවල බස්නායක නිලමේවරුන් සියල්ල එක්ව මහනුවර ජනාධිපති මන්දිරයේදී

මහනුවර ඇසළ පෙරහැර සාර්ථකව නිමකළ බව ප්‍රකාශ වන සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලබයි.

දියවඩන නිලමේතුමන් විසින් පිළිගන්වනු ලබන සංදේශය ජනාධිපතිවරයා විසින් පිළිගැනීමෙන් පසු ජනාධිපතිවරයා පෙරහැරේ කුසලතා දැක්වූ ශිල්පීන් වෙත සහතික සහ ත්‍යාග ප්‍රදානය කිරීමෙන් අනතුරුව පෙරහරට සහභාගි වූ අලි ,ඇතුන් සඳහා පලතුරු සංග්‍රහයක් ද සිදු කරනු ලබයි. පෙරහර නිමකළ පසු එම ශිල්පීන්ගේ වස්දොස් දුරුකරලීම සඳහා මහනුවර විෂ්ණු දේවාලය කේන්ද්‍ර කොට “වලි යක් මංගල” ශාන්ති කර්මයක් ද පැවැත්වේ.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.