ඇස පීඩාවට පත් නොකරන්න

අප්‍රේල් 1, 2022

ඔබගේ දෑස ගැන නිතර සැලකිලිමත් වෙනවාදැයි ඔබට තේරෙනවාද? ඔබට ඇත්තේ නිදිබර දෑසක්ද, නිතර නිදිමත ගතියක් ඇතිවෙනවාද? එසේත් නැතිනම් තරමක විශාල දෑසක් ද? සමහර උදවියට තිබෙන්නේ බළල් දෑසක් බඳුව. නිතර නිතර කබ, කඳුළු ගලන දෑසවේ නම් ඒ රෝගී ඇස්ය. එවැනි දෑස්වලට ඇස් රෝග ග්‍රහණය කරගන්නට ඉක්මනින් හැකියාවක් ඇති බව නොරහසකි.

කබ වැඩියෙන් පිටවන දෑස් පිහාටු එකට ඇලී තිබෙන අවස්ථා දකින්නට ලැබෙන සිද්ධියකි.ඇස්වල කබ, කඳුළු එක්ව එනවිට ඇස්වල පෙනීමට බාධාවක් ඇතිවිය හැකිය. එම තත්ත්වය උග්‍රවීමන් දෑස් පැසවීමට ලක්විය හැකිය. අධිකව කඳුළු ගලන දෑසට විඩාබර තත්වයක් ගෙන දීමට පුළුවන. දුකකදී හෝ සතුටකදී දෑසෙන් කඳුළු පිටවීම වැඩි වශයෙන් ඇතිවන්නේ කාන්තාවන්ටය. ඉතා සංවේදී සිතක් කාන්තාවන්ට පිහිටා ඇත. දුකකදී ක්‍රියාත්මක කඳුළු ග්‍රන්ථි අශ්‍රැ නමින් හැඳින්වේ. දෑසට ඉහළින් පිහිටන මෙම අශ්‍රැ ග්‍රන්ථි දුක, සතුට බෙදා ගනු වස් දෑසින් කඳුළු පිටවන බව සුලබ කාරණයකි. රෝගයක් ලෙස බලන කල්හි නොනවතින කඳුළු ගැලීම සඳහා ප්‍රතිකාර ගත යුතුවේ. අශ්‍රැ ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්වය වැඩිවීම, උත්තේජනාත්මක වීම නිසා කඳුළු වැඩිපුර වෑස්වීම ඇසේ සුද ඇතිවීමද හේතු කාරණා වේ. එවිට දෑසෙහි තියුණු පෙනීමට බාධාවක් ඇතිවිය හැකිය. අක්ෂිරෝග ගැන දහස් ගණන් රෝගීන්ගේ නෙත් පරීක්ෂා කිරීමත්, ඔවුන්ට ප්‍රතිකාර කිරීමත්, මගේ දිවියේ ලද ආචාර්යමත් අත්දැකීමක් වනු ඇත. නෙතක් පෑදීමට උත්සාහ ගන්නා විට මගේ ගුරුදේව පියාණන්ගේ උපදෙස් පිළිපැදීම දිවංගත එතුමන් ගේ කීර්ති නාමයට කැළලක් නොවන අයුරින් වග බලාගැනීමට මම නිතර උත්සාහ කරන්නෙමි.

අනූව (90) විය ලබා මිය යන තුරුම මාගේ පියතුමාට පොත් පත් පරිශීලනය කරන්නට තරම් හැකියාවක් තිබිණි.

රෝගයක නිදානය සොයා බැලීමෙන් රෝගය හඳුනා ගැනීම පහසු වේ. ඇසේ සුද ඇති වීමට බලපාන සාධක අතර, අතීතයේ සිදුවන ලද බලපෑම් හේතුවේ. හිසට තදින් පහරක් වැදීම, අව්වේ සිටිමින් කෙත්වතු පොල්වතු, තේ වතුවල වැඩ කිරීම හේතු වේ. කල්ගිය සුද රෝගය මහත් පරිශ්‍රමයකින් යුතුව සුවපත් කළ යුතුය.

මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථයට අනුව තද අව්වේ සිටීම ඇස් පීඩාවට පත්වන කටයුත්තකි. එනිසා ඔබේ දෑස රැකගැනීම ඔබ ඔබටම කරගන්නා සේවයකි,ආදරයකි. යම් කාර්යයකින් ඇසට පීඩාවක් නොවන ලෙස හැසිරීමට වගබලා ගන්නා ලෙස මම සෑම දෙනාගෙන් ඉල්ලා සිටිමි. දිමියන් වැනි කෘමින්ගෙන් ඇස ආරක්ෂා කරගැනීම වැදගත්ය. හේතුව එම සතුන්ගේ මූත්‍ර දෑසට වැටීමද, හුණු හෝ සැර රසායන වර්ග තීන්ත ඇසට වැටීම හානිකර වේ.

විෂ ගස්වල කිරි පවා වැටීම ආදියෙන් ඇස් අන්ධ වන අවස්ථා ඇත. එබැවින් දෑස් ආවරණය කරගෙන අනතුරු අවස්ථාවන්ට මුහුණ දෙන ලෙස ඔබට දන්වමි. යමක් සිදුවීමට පෙර ඒ ගැන සිතා ඉන් ආරක්ෂා වන ලෙස මම ඔබගෙන් ඉල්ලා සිටින අතර පනින්න පෙර සිතා බලනු යන ප්‍රස්ථාව පිරුළ ඒ සඳහා කොතෙක් බලපානු දැයි, ගැලපේදැයි අවබෝධ කරගත යුතු වේ. රබර් පන්දු හෝ විශේෂ තද පෘෂ්ඨය ඇති පේරගෙඩි, ගල්, යකඩ කැබලි, වීකරල් වැනි දෑ ඇසට වැදීමන් ඇසතුවාල වීමට පවා පුළුවන. දිවාකාලය එළැඹි මොහොතක අව්කණ්ණාඩි පැළඳුවද එය ඇසට අඟුණ බව සැලකීම මැනවි.

පාරම්පරික ආයුර්වේද අක්ෂි වෛද්‍ය

සුසිලා නාලිනී ගොඩලියද්ද


කක්කල් කැස්ස පිළිබඳ කෙම් ක්‍රම

කක්කල් කැස්ස දරුවන්ට බෙහෙවින් වද දෙන රෝගයකි. සූර්යෝදයට පෙර කතා නොකොට ඉතා පිරිසුදු ලේන්සුවක් ගොයම් කුඹුරේ පින්නේ එළන්න. එය මැනවින් පින්නෙන් තෙත් වේ.

ඉන් පසු ලේන්සුව හොඳින් මිරිකා ජලය භාජනයකට රැස් කරන්න. මේ ජලය ස්වල්පයක් උගුරු දෙකක් පමණ කක්කල් කැස්ස ඇති රෝගියාට කිසිවක් නොකියා රහසිගතව පොවන්න. අඛණ්ඩව තුන් දිනක් උදය පාන්දර මේ ලෙස කිරීමෙන් කක්කල් කැස්ස සුවවේ.

සූර්යෝදයට පෙර කතා නොකොට ගොස් කැහිපිත්තන් වැලක කොළ ස්වල්පයක් කඩාගන්න. මාලයක් මෙන් කොළ හත අමුණන්න. මේ කොළ මාලය කතාබහකින් තොරව කක්කල් කැස්ස රෝගියාගේ බෙල්ලේ දමන්න. දින තුනක් අඛණ්ඩව මෙසේ කිරීමෙන් කක්කල් කැස්ස සුවවේ.

සූර්යෝදයට පෙර කතා නොකොට සස්සඳ වැලක මුල වටා හොඳින් පිරිසුදු කොට සුදුවැලි ඉහින්න. වැල වටා තෙවරක් ප්‍රදක්ෂිණ කරමින් නව වාරයක් වැලට වඳින්න. පසුවදා කපුටන් හැඬලීමට පෙර යළි වැල වටා යමින් නව වාරයක් වැඳ වැල උදුරාගෙන පටවල් තුනක් සිටින පරිදි බෙල්ලේ දමන්න.

කපුටන් දිය නාන තැනකින් වතුර ගෙනැවිත් දින කීපයක් පෙවීම ළමුන්ගේ කක්කල් කැස්සට දක්වන කෙමකි. තවත් කෙම් ක්‍රමයක් ලෙස සඳහන් වන්නේ නම් යම් අයෙක් එල්ලී මළ අඹ ගසක් සොයාගන්න. ඇඳුම්, පැලඳුම් කිසිවකින් තොරව මේ ගසට යන්න. බස්නාහිර දිශාව බලා පිටි අතින් ඉහළ සිට පහළට එකවරට පොත්තක් ගලවාගන්න. කළුපාට නූල් පටකින් මේ පොත්ත රෝගියාගේ බෙල්ලේ එල්ලන්න. මේ සියලු කරුණු කිසිවකුට නොකියා රහසිගතව කළයුතු බව සැලකිය යුතු ය.

රෝගී දරුවාගේ මව උදෑසන නා සුදු පිරුවට හැඳ දරුවා වඩාගෙන සුරතට කොහොඹ ඉත්තක් ගෙන ආසන්න නිවාස හතකට ගොස් හාල් ස්වල්පය බැගින් එක් රැස් කරගෙන කතරගම දෙවියන්ට දානයක් දීම.

රෝගී දරුවාගේ මව රජක පවුලක් වෙසෙන නිවසකට ගොස් ගෙහිමි කාන්තාවගෙන් අන් අයට හොර රහසේ ඉල්ලා ගන්නා බත් පිඬ තුන්මං හන්දියක දී දරුවාට කාටත් රහසේ කැවීම.

කාසියක් තරම් ප්‍රමාණයේ කොටි හම් කැබැල්ලක් කදුරු ඇටයක් සමඟ නූල කැබැල්ලකින් ගැට ගසා රෝගී දරුවාගේ බෙල්ලේ ගැට ගැසීම කක්කල් කැස්ස සම්බන්ධයෙන් පානම් පත්තුව ප්‍රදේශයේ දක්නට ලැබේ.

ආචාර්ය

සිරිපාල මාදුවගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.