වැඩිහිටි ආදරය ගෞරවය ලැබිය යුතු නව යොවුන් දරුවන්

පෙබරවාරි 4, 2022

අපගේ ජීවිත ගමනේ නව යොවුන් විය වැදගත් සන්ධිස්ථානයකි. වයස අවුරුදු 13 - 17 අතර කාලය නවයොවුන් වියට අයත්ය. මේ කාලය ගැටවර අවධිය ලෙසද හඳුන්වයි. මේ කාලය වැඩිහිටි සමාජය අන්තර්ග්‍රහණය කරනා කාලයකි. මෙම කාලය තුළ ශරීර වර්ධනය වේගයෙන් සිදුවන අතර කායික මානසික චිත්තවේග සහ සමාජීය වශයෙන් මේරීමක් සිදුවේ.

නවයොවුන් විය ගැන වැඩිහිටි අප සැලකිලිමත් විය යුතු ය. මේ කාලය තුළ ඇතිවන ගති

ලක්ෂණ පිළිබඳ අවබෝධයක් තිබිය යුතු ය. මේ කාලයේ කායික වර්ධනය හොඳින් සිදුවේ. මානසික වර්ධනයක්ද පෙන්නුම් කරයි. ළමුන් තුළින් ඇතිවන අලුත් ආකල්ප සාරධර්ම ඇති වන කාලයකි. මේ කාලය ළමයෙක් ලෙස සැලකිය නොහැකි අතර වැඩිහිටියකු ද නොවේ. මෙම වයස් සීමාව ගත කරනා අය බොහෝවිට වැඩිහිටි අයගේ දෝෂ දර්ශනයට ලක්වේ.

නවයොවුන් වියේදී ළමා කාලයේ වූ රුචිකත්වය නැති වී යයි. බොහෝවිට ජනපි‍්‍රයවීමට කැමැත්තක් දක්වයි. ගුණාත්මක බව ප්‍රමාණාත්මක බවට වඩා වැදගත් බව ඉගෙන ගනී. එහෙත් ගැටලු විසඳීමට තරම් අත්දැකීමක් නැත.

මෙම වයසේ අයට දෙමාපිය මඟ පෙන්වීම අත්‍යවශ්‍යය. යථාර්ථය අනුව ලෝකය හඳුනාගත නොහැකිය. නව යොවුන් දරුවන් මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්පානයට පෙලඹීමේ ඉඩකඩ වැඩිය. මොවුන් ක්‍රම ක්‍රමයෙන් අත්දැකීම් ලබන විට, ජීවිතය ගැන නිවැරදි වැටහීමක් ඇතිකර ගනී. මේ කාලය තුළ ගැහැනු, පිරිමි දෙපක්ෂය අතර සම්බන්ධකම් ඇතිකර ගැනීම සිදුවේ. චිත්තවේගීයව ස්වාධීනත්වයක් ඇතිකර ගනී. රැකියාවකට යොමුවීමට කැමැත්තක් ඇතිවේ. ගැහැනු ළමයි ගැහැනු ළමයි වශයෙන්ද, පිරිමි ළමයි පිරිමි ළමයි වශයෙන්ද තම භූමිකාව ඉටු කිරීමට කටයුතු කරයි. ඵලදායි වැඩිහිටියකු ලෙස සුදුසුකම් ලැබීමට කටයුතු කරයි.

සමහරවිට මේ කාලයේ චිත්තවේග පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවේ. මේ කාලය තුළ ප්‍රේම සබඳතා ඇතිකර ගැනීමට උත්සාහ ගනී. සමහර අය මේ කාලය තුළ ද්‍රව්‍යමය දේවල්වලට ආශාවක් දක්වයි. ඇඳුම්, පැලඳුම්, විලාසිතා ඒ අතර වේ. මේ කාලය තුළ ඇතිවන හෝමෝන ක්‍රියාවලිය නිසා චිත්තවේගවල සීමාව ඉක්මවා යන අවස්ථා ද ඇත.

තමාගේ ගැටලු අන් අය සමඟ සාකච්ඡා කර විසඳා ගැනීම සම වයසේ කණ්ඩායම් අතර තම රහස් හෙළිකර ප්‍රශ්න විසඳා ගැනීමට උත්සුක වේ.

චිත්තවේග පිටකිරීම සඳහා ව්‍යායාමවල යෙදීම, ක්‍රීඩා කිරීම, මල් වැවීම, විනෝදාංශවල යෙදීම කරයි. මේ කාලයේ නායකත්වය තහවුරු කර ගැනීමට සාරධර්ම අනුව සිදුකරයි. සමාජීය කටයුතුවල යොමුවීම වැඩිය. තරුණ සංගම් ඇතිකර ගනී. නරක මිතුරු ආශ්‍රය නිසා සමාජ විරෝධී ක්‍රියාවලට යොමුවීමේ ඉඩකඩ වැැඩිය. හුඟ දෙනෙක් තමන් හිතන පතන ආකාරයට ගැළපෙන මිතුරන් තෝරා ගනී.

මේ කාලයේ දෙමාපිය සහ වැඩිහිටි ආදරය ලැබිය යුතු ය. මොවුන් කරන කාර්යයන් දෙස විමසිලිමත්ව බැලිය යුතු ය. මොවුන් කරනා හොඳ ක්‍රියා අගය කළ යුතු අතර වැරදි ක්‍රියාවයට අනුබල නොදිය යුතුයි. වැඩිහිටියන් චිත්තවේගව කටයුතු නොකර සාමකාමීව ආදරයෙන් අවබෝධ කර දෙන්න. එවිට මේ අය වැඩිහිටියන්ට අවනත වේ. තම පාසල්වල ගුරුවරුන් මේ වයසේ දරුවන් කෙරෙහි සැලකිලිමත් විය යුතු ය. ඔවුන්ගේ උපදෙස් මගින් වැරදි නිවැරදි කරගැනීමට උත්සාහ ගනී.

වැඩිහිටියන් මතක තබාගත යුතුම කරුණ වන්නේ නව යොවුන් දරුවන් වැඩිහිටියන් නොවන බවයි. ඔවුන්ගේ අදහස්වලට ගරු කළ යුතුයි. එවිට ඔවුනට ලැබෙන ආත්මාභිමානය නිසාම සමාජයට ගුණ ගරුක දරුවකු බිහිවනු ඇති.

නව යොවුන් වයසට එළඹෙන දුවේ පුතේ ඔබගේ ජීවිතයේ වටිනාම කාලය මේ යයි සිතන්න. දෙමාපිය ගුරුවරුන්ගෙ අවවාද, අනුශාසනා සිතා කටයුතු කළ යුතුයි. අද ඔබ අධ්‍යාපනයට තබන අඩිය මහත් වියතකු වන බව සිතන්න. ඔබගේ කාලය නිකරුනේ කා දමන්න එපා. එම වටිනා කාලය ආපසු ඔබ ලබා ගත නොහැකි නිසයි. අද බොහෝ ළමයින් යම්කිසි ඉලක්කයක් ඔස්සේ ගමන් කරනු පෙනේ. එම ඉලක්කය සපුරා ගැනීමට ඔබගේ වටිනා කාලය යොදන්න. අද නව යොවුන් අය පුවත්පත්, පොතපත, සඟරා ආදිය පරිශීලනය අඩුවක් දැකිය හැකිවේ. නිතර කියවන්න. අධ්‍යාපනයට අවශ්‍ය ශක්තිය ඔබට එයින් ලැබෙනු ඇත. අද රූපවාහිනිය, ජංගම දුරකථනය, අධ්‍යාපනයට මෙවලමක් කර ගන්න. අන්තර්ජාලයේ සැරිසරමින් කාලය කා දමන්න එපා. එයින් ඔබට සිදුවනුයේ අවඩැක්මයි.

නව යොවුන් දරුවන් දහම් පාසල් අධ්‍යාපනයට යොමුවිය යුතුමය. ආගමික පරිසරයේ සිටින විට වරදට යොමුවීම අඩුවේ. ඔබ මත්පැන්, දුම්පානය පිළිකෙව් කරන්න. එයින් ඔබ රෝගියෙක් වන බව සිත් තබාගන්න. ඔබගේ නිවාඩු වේලාවන් සතුටින් ගත කරන්න. තම යහළුවන් සමඟ ක්‍රීඩා කිරීම ඉතා වැදගත්ය. එය ඔබගේ මනසට වගේම ශරීර සෞඛ්‍යයටද වැදගත් වේ.

නව යොවුන් දරුවන්ගේ චිත්තවේග අධිකය. එය පාලනය කළ යුතු ය. නැතිනම් අනවශ්‍ය අරගලවලට පැටලී කරදර සිදුවිය හැක. ඔබ බුද්ධිමත්ව හැසිරෙන්න.

මේ කාලය තුළ ප්‍රේමණීය හැඟීම් මතුවන අතර, ඒවා පාලනය කරගත යුතු ය. ප්‍රේමනීය සම්බන්ධතාවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුමය. ඒ සඳහා සුදුසු කාලය ඉදිරියට ඇති නිසයි මේ නිසාම තම අධ්‍යාපනය අවුල්කරගත් අය බොහෝ ය. ඔබ බුද්ධිමත් වන්න. ඉලක්කය ජයගන්න. එවිට ඔබගේත් දෙමාපියන්ගේත් අපේක්ෂාවන් මල්පල ගැන්වේ.

 

වෛද්‍ය

ඒ. සූරියබණ්ඩාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.