සීනි නසන කෝවක්කා

දෙසැම්බර් 10, 2021

මේ නිසා දියවැඩියා රෝගීන් සඳහා බොහෝ ගුණ දෙන ඖෂධීය ශාක විවිධ අයුරින් යොදා ගැනීමට අපේ අය සමත් වෙලා තියෙනවා. මේ ශාක අතුරින් එක් ශාකයක් තමයි කෝවක්කා මෙය පමණ දැනගෙන භාවිතකළ යුතු ආහාරයක් වගේම ඖෂධයක් ලෙසයි සලකන්නේ.

දකුණු ආසියානු රටවල වියළි කලාපය තුළ බහුලව දක්නට ලැබෙන වැල් වර්ගයක් ලෙස කෝවක්කා හඳුන්වන්න පුළුවන්. කෝවක්කා ගෙඩි ළපටි කාලයේ දී කොළ පැහැයකින් යුතු වන අතරම ඉදුණු ගෙඩි ඉතාමත් අලංකාර රතු හෝ තද රෝස පාටක් ගනු ලබනවා.

මේ කෝවක්කා ගෙඩිවලට කෙම්ගෙඩි කියලත් ගම්බද ජනතාව කියනවා. කෝවක්කා වැල්වල හටගනු ලබන මල් සුදු පාටයි. කෝවක්කා ගෙඩිවල පාට ගිරවාගේ හොටයේ පාටට සමාන නිසා ගිරා සන්දේශයේ කෝවක්කා ගෙඩි පිළිබඳව දක්වලා තියෙනවා.

මහා කවි කාලිදාස කාන්තාවන්ගේ තොල්වල පාට වර්ණන කිරීමට කෝවක්කා ගෙඩිවල පාට යොදාගෙන තියෙනවා.

කෝවක්කා වැල්වල ළපටි කොළ මැල්ලුම සෑදීමට යොදා ගනු ලබන අතර කෝවක්කා කැඳ මෙන්ම කෝවක්කා ගෙඩි ව්‍යංජනය ද සකස් කරනු ලබනවා.

මෙහිදී කෝවක්කා කොළ මැල්ලුම හා කෝවක්කා කොළ යුෂ දියවැඩියා රෝගීන්ට ඉතා ගුණයි. එසේම කෝවක්කා ගෙඩි ව්‍යාප්තිය සහ කොළ මැල්ලුම අර්ශස්වලට සහ මල බද්ධයට ඉතාමත් ගුණ දෙනවා.

සමේ ඇතිවන කැසීම්, හොරි, දද, කුෂ්ට, පලු ආදියට කෝවක්කා ගෙඩිවල යුෂ හෝ කොළවල යුෂ ගෑම ඉතා ගුණදායකයි. පොතු කබර (සොරුයිසස්වලටත් මේ බේත හොඳයි.

තුනටියේ වේදනා මෙන්ම හන්දිපත් රුදාව ආදියට කෝවක්කා මුල් සහ දඬු තලා ගත් යුෂ ආලේපයට ඉතාමත් ගුණදායකයි.

ඓ් වගේම අක්මාව ආශ්‍රිත රෝගවලටත් ඒ නිසා හමේ ඇතිවන කහ පැහැයටත් කෝවක්කා ව්‍යාංජන සහ මැල්ලුම ඉතා ගුණදායක ආහාරයක්. පරණ තුවාල සහ අලුත් තුවාලවල කෝවක්කා කොළ යුෂ ආලේපයෙන් ඉක්මනින් සුවවෙන බව දකින්න පුළුවන්.

කටේ ඇතිවන තුවාල සහ කටගඳ ගැසීම ආදියට කෝවක්කා කොළ යුෂවලින් කට සේදීම හොඳයි. මුත්‍රගල් නිසා ඇතිවන වේදනාවලදී කෝවක්කා කොළ වෙඩි ලුණු සමඟ අඹරා පැලැස්තර දැමීම ඉතා හොඳයි.

කල්ගිය කැස්ස ඇති රෝගීන්ට කෝවක්කා කොළ කෂාය කර මී පැණි දමා දින කිහිපයක් බීමෙන් ඉක්මනින් ගුණ ලැබෙනවා.

ඒ වගේම කාන්තාවන් සඳහා විශේෂයෙන් ඇතිවන රෝගවලදීත් කෝවක්කා ඉතා ගුණයි.

එසේම කැස්ස, ඇඳුම, මුත්‍ර වැඩියෙන් පිටවීම, ලේ අඩු බව, උණ වගේ රෝග වලටත් කෝවක්කා ඉතා ගුණයි.

මේ ආකාරයට දියවැඩියාව වගේම තවත් ලෙඩ රෝග රාශියකට ගුණ දෙන ඖෂධාහාරයක් විදිහට කෝවක්කා හඳුන්වන්න පුළුවන්.

එච්චර අපහසුවක් නැතිව වවාගන්න පුළුවන් වැලක් වන මේ කෝවක්කා මිදුලේ වවා ගත් විට මිදුලටත් අලංකාරයක් ගෙන දෙනවා.

කෝවක්කාවලට තෙලන් කැකිරි, කෙම්වැල්,බීම්බී ඵලා වගේ නම් එක් එක් ප්‍රදේශ අනුව ව්‍යවහාර කරනවා.

මැල්ලුමක්, ව්‍යාංජනයක්, කැඳක්, සුප් එකක්, සලාදයක්, පලතුරක් ආදී නොයක් විදිහට සකස් කර ගත හැකි කෝවක්කා දියවැඩියා රෝගීන් ඇතුළු තවත් රෝගීන් රාහියකට ගුණ ගෙන දෙනවා වගේම නිරෝගී පුද්ගලයන්ට නිරෝගීභාවය ආරක්ෂා රැක ගැනීමට භාවිතා කළ හැකිය.

එසේ වුවත් වෛද්‍ය උපදෙස් මත ගන්නේ නම් ඒක ඉතාමත් සාර්ථක වෙන්න පුළුවන්.

එයට හේතුව නිරෝගි පුද්ගලයකු කෝවක්කා ගනු ලබයි නම් ඔහුගේ සීනි මට්ටම පහළට යා හැකි නිසයි.

එබැවින් ඕනෑම ආහාරයක් හෝ ඔසුවක් පමණ දැනගෙන භාවිත කිරීම ශරීරයට වඩා යහපත් මෙන්ම ආරක්ෂාකාරී වන බව පැහැදිලි කාරණයක් වෙයි.

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.