හෙළ වෙදකම හා බැඳුණු හෙළ ආහාර

අප්‍රේල් 2, 2021

හෙළ ආහාර, හෙළ වෙදකම ඇතුළු ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලාංකික අපේ මුතුන් මිත්තන් එදා නිරෝගීව චිරාත් කාලයක් ජීවත්වීමේ එකම රහස ඔවුන් භාවිත කළ ස්වභාවික ආහාර රටාව, ස්වභාවික පරිසරය සමඟ ඒකාත්මිකවු ජීවන රටාව සහ හෙළ ගොවිතැනයි.

 

එදා ඔවුන් භාවිතා කළ වස විෂෙන් තොර බොහෝ දේශීය එළවළු, පලතුරු, පලා වර්ග, ධාන්‍ය ඇතුළු ආහාර සංස්කරණ තුළ පෝෂණ ගුණය සහ රෝග නිවාරණ ඖෂධ ගුණය සුරැකිව පැවත ඇත.

 

මෝරු පානය

යොදය ඉවත් කර ගත් මිදුණු එළකිරි කොටස් 01

ජලය කොටස් 04

ගම්මිරිස් ස්වල්පයක්

එනසහල් ,කරාබුනැටි ස්වල්පයක්

අවශ්‍ය තරමට සීනි යොදා මෙම මිශ්‍රණය හොඳින් කලතා ගන්න.

ගුණ

බඩගින්න වැඩි කරයි. ආහාර රුචිය වැඩි කරයි. ආහාර ජීර්ණය පහසු කරයි. දියවැඩියාව පාලනය කරයි. අම්ල පිත්ත පාලනය කරයි. ආහාර මාර්ගය ආශි‍්‍රත පිළිකා ඇති කිරීම පාලනය කරයි.

කායම් හොද්ද

ගම්මිරිස් ග්‍රෑම් 25,සූදුරු ග්‍රෑම් 25, මාදුරු ග්‍රෑම් 25, කොත්තමල්ලි ග්‍රෑම් 25, සුදුලූනු ග්‍රෑම් 25, ගාන ලද පොල් මේස හැඳි 01, අමු ඉඟුරු කැබැල්ලක්, ගොරකා, එනසහල්, කරාබුනැටි, කුරුඳු, කහකුඩු අවශ්‍ය පමණ

සාදන ක්‍රමය

සූදුරු, මාදුරු, කොත්තමලලි, සිහින්ව කපා ගත් සුදුලූනු හා පොල් කබලේ බැදගන්න. ඉන්පසුව එනසහල් සිහින්ව ගලේ අඹරා ගන්න. එයට වියළි කහ, අමු ඉඟුරු, ගොරකා, කරාබුනැටි, කුරුඳු, කරපිංචා සහ දිය ලුණු අවශ්‍ය පමණ මිශ්‍රකර ජලය අඬු කෝප්ප 04 ක් පමණ දමා හොඳින් දිය කර ලිප තබා හැඳි ගාමින් පැසෙන තුරු උයාගන්න.

ගුණ

ආහාර රුචිය වැඩි කරයි. ආහාර දිරවීමේ හැකියාව වැඩි කරයි. රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි. අධික තරබාරු බව පාලනය කරයි. ප්‍රතිශක්තිකරණය වැඩි කරයි.

තැම්බුම් හොද්ද

අවශ්‍ය ද්‍රව්‍ය

සියඹලා / ගොරක අවශ්‍ය පමණ, ගම්මිරිස් ඇට 5-10ක් පමණ

සූදුරු අවශ්‍ය පමණ, මාදුරු අවශ්‍ය පමණ, කරපිංචා. උළුසහල් ස්වල්පයක්. සුදුලූනු බික් 05 ක් පමණ, මුරුංගු පොතු, කරාබුනැටි 2-3 , කොත්තමල්ලි – කුරුඳු අවශ්‍ය පමණ

සාදන ආකාරය

මේ ද්‍රව්‍ය ටික ගෙන සරිලන ප්‍රමාණයට ජලය එක්කර මැටි භාජනයකට දමා ලිප තබා හොදින් තම්බාගන්න.

ගුණ

විෂබීජ නාශකයි. ආහාර රුචිය වැඩි කරයි. ගර්භාෂ සංකෝචන ගුණ ඇත. අජීර්ණයට ගුණදායකයි.

 

වියළි මිරිස් ඇට ආනම

අවශ්‍ය ද්‍රව්‍ය

පෙල් ස්වල්පයක්, රතුලූනු, අමු දිවුල් ස්වල්පයක්, කරපිංචා, අවශ්‍ය තරමට ලුණු.

 

සාදන ආකාරය

වියළි මිරිස් ඇට ගෙන සිහින්ව ගලේ අඹරා ගන්න. පසුව අඹරාගත් ඇට ක්‍රීම් එක භාජනයකට දමා එයට සිහින්ව ගා ගත් පොල්, රතුලූනු, අමු දිවුල් මද ස්වල්පය කරපිංචා , ලුණුූ දමා ලිප තබා හොඳින් හැඳිගාමින් තම්බාගන්න.

ගුණ

විෂ නාසකයි. ආහාර රුචිය වැඩි කරයි. ආහාර දිරවීම පහසු කරයි.

 

තිත්ත තිබ්බටු ආනම

මුලින්ම තිබ්බටු ටික කබලේ බැදගන්න. පසුව ගා ගත් පොල් ටික බැදගන්න. පොල්, සුදුලූනු, අබ ගලේ අඹරා ගන්න. ඉන්පසු තිත්ත තිබ්බටු ගලේ තබා අඹරාගෙන එය භාජනයකට දමා අඹරාගත් පොල් මිශ්‍ර කරන්න. කහ සහ සුදුලූනු දමා අවශ්‍ය තරමට ජලය එක්කර ආනම සාදා ගන්න. නිවුන පසුව දෙහි යුෂ එකතු කර රස බලන්න.

ගුණ

ආහාර රුචිය වැඩි කරයි. ආහාර දිරවීම පහසු කරයි.

 

වට්ටක්කා දලු ආනම

වට්ටක්කා දලු, ගොරකා, කහ, දුරු, මිරිස්, ලුණු අබ, කරපිංචා, සුදුලූනු, ගම්මිරිස්, කුරුඳු, ඉඟුරු, ලුණු, පොල් කිරි

සාදන ක්‍රමය

වට්ටක්කා දලු උණු දියේ දමා සැනින් ගෙන දිය බේරෙන්නට හරින්න. පසුව සුඹුල් ගලවා ගන්න. පොල්තෙල් ස්වල්පයක් දමා ලිප තබා කරපිංචා, සුදුලූනු, රතුලූනු ,රම්පේ,අබ, කුරුඳු දමා තෙම්පරාදු කර පිළිවෙළින් මිරිස් කුඩු, කහ,දුරු, ගම්මිරිස්, ලුණූ දමා හොඳින් කවලම් කර පසුව සාදාගත් වට්ටක්කා කොළ ටික දමා ටික වේලාවක් වසා තබන්න. පසුව පොල් කිරි කෝප්පයක් දමා හොඳින් පැසවාගන්න.

ගුණ

ආහාර රුචිය ඇති කරයි. ලේ වඩවයි. ශරීරයේ තරබාරු බව අඩු කරයි.

 

දිවුල් හොද්ද

අමු දිවුල් ගෙඩියේ මදය ගන්න. එයට මිරිස්කුඩු , කරපිංචා, ලුණු එකතු කර තම්බාගෙන පොඩි කර ගන්න.

ගුණ

ආහාර රුචිය වැඩි කරයි. ශරීරයේ දාහය අඩු කරයි. ශරීරයේ අනවශ්‍ය මේද කොටස් ඉවත් කරයි.

 

නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ආයුර්වේද අංශයේ අත් පත්‍රිකාවක් ඇසුරින්

 

සකස් කළේ

මාදම්පේ සමූහ –

ඒ.පී.ගුණරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.