සුබසෙත සුවසෙත

ජනවාරි 31, 2025

එම්. පි‍්‍රසිලා පොල්හේන

ප්‍රශ්නය -

තිස් එක් හැවිරිදි මා අවිවාහක අයෙක්මි. හිටි ගමන් බඩේ දැවිල්ලක් එනවා. ඔක්කාරයක් එනවා. ඇඹුල් රස උගුරට එනවා. උදේට ගොරෝසුවට වමනය දමනවා. හැම තිස්සෙම වමනයට එනවා වගෙත් දැනෙනවා. වෛද්‍යතුමනි, කළයුතු ප්‍රතිකාරයක් ලබාදෙන්න.

 

පිළිතුර -

එකිනෙකට විරුද්ධ හා පිළුණු වූ ආහාර ගැනීම නිසා මේ තත්ත්වය ඇති වෙනවා. එමෙන්ම ඇඹුල් අධික හා මිරිස් අධික ආහාර හා ජලය අඩුවෙන් ගැනීමත් හේතුවක්. කෘත්‍රිම බීම වර්ග හා තෙල් ලුණු අධික ආහාරත් නොගත යුතුයි. හිස්බඩට ජලය වැඩිපුර බොන්න. කිරි මෝරු, යෝගට් කෑම සුදුසුයි. බෙලි ගැට තම්බා බීම, බෙලිමද, මී පැණි සමඟ කෑම බෙලි දියකර මී පැණි සමඟ බීම, බෙලිමද වියලා කුඩුකර සීනි සමඟ බීම, දොඩම් යුෂ, කුරුම්බා, තැඹිලි වතුර සමඟ බීම ද ගුණදායකය. වැඩිදුරටත් ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුය.

 

මාග්‍රට් රුද්‍රිගු, මිද්දෙණිය

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මගේ වැඩිමහල් දියණියගේ බාල පුතාගේ වයස අවුරුදු හතකි. වයසට වඩා පෙනුමෙන් හා තරබාරුකමෙන් අධිකය. අනෙකුත් දරුවන්ගේ උසුළු විසුළුකමට පවා ලක්වෙන දරුවාගේ උදරය ද ඉදිරියට නෙරා ඇත. මෙසේ තරබාරුකමෙන් වර්ධනය වන දරුවාගේ එම තත්ත්වය වළක්වාගැනීමට උපදේශයක් හා ප්‍රතිකාරයක් ලබා දෙන මෙන් ඉතා යටහත්ව ඉල්ලමි.

 

පිළිතුර -

සමහර දරුවන්ගේ මව හෝ පියා හෝ තරබාරුකමෙන් සිටීනම් දරුවන් ද, තරබාරුවන අවස්ථා ද ඇත. එමෙන්ම රෝග තත්ත්වයන් අනුවත් තරබාරුවේ දෙනු ලබන මේද සහිත ආහාර නිසාත් තරබාරුවේ මස් මාංශ පැණිරස ආහාර පැණිබීම චොක්ලට් අයිස්පලම් අයිස් ක්‍රීම්, වටලප්පන්, කේක් පිටි කෑම, අධික බැදුම් සහිත ආහාර කෑමට ලබාදීමෙන් වළකින්න. ගොරකා සුදුළූණු මිශ්‍ර ආහාර ලබාදීමට කටයුතු කරන්න. දහවල් කාලයේ නිදා ගැනීම බොහෝ වේලාවක් එකතැන සිටීම රූපවාහිනි නැරඹීම ආදියද නතර කරන්න. ව්‍යායාම් කිරීමට උනන්දු කරන්න.

 

බී.ඒ. ඔස්ටින් අහංගම

ප්‍රශ්නය -

වෛද්‍යතුමණි, මම පණස් දෙවැනි වියේ පසුවන වෙළෙඳ සැලක අලෙවි නියෝජිතයකු ලෙස සේවය කරන අයෙක්මි. පෙරවරු නමයට වැඩට ගියාම එකතැන වාඩි වී සවස හත අටවන තෙක් සේවයේ නිරත වේ. ඒ කාලය වන විට මගේ ඇඟ දහඩියෙන් තෙත් වේ. ඇඳ සිටින කමිසය, ටීෂර්ට් එක පවා දහඩිය නිසා තෙත් වේ. මේ නිසා දිනපතාම ශරීරය සේදීමට පවා සිදුවේ. මෙසේ දහඩිය දැමීම නතර කර ගැනීමට ප්‍රතිකාරයක් ලබාදෙන්නේ නම් මැනවි.

 

පිළිතුර

පිත් දෝෂ වැඩිවීමෙන් මෙසේ වෙයි. පසුවන විට ඇස්වල හිසේ දැවිලි ගතියක් පවා ඇතිවිය හැකිය. බොහෝ විට උෂ්ණාධික ආහාර ගැනීම, නිසාත් මෙසේ වෙයි. කෘත්‍රිම ක්ෂණික ආහාර ගැනීම මත් පැන් බීම තක්කාලි, අච්චාරු, විනාකිරි මිශ්‍ර ආහාර දැල්ලෝ, ඉස්සෝ, කකුළුවෝ ආහාරයට ගැනීම සීමා කළ යුතුය. පිපිඤ්ඤාා, කැකිරි, පතෝල, වැටකොළු වැනි එළවළු වැඩිපුර ආහාරයට ගත යුතුය. කොළ කැඳ ඉතාම ගුණදායකයි. ඉරුමුසු, බෙලිමල්, තම්බා බීම වඩාත්ම ගුණදායකයි. කෙසේ වෙතත් ආයුර්වේද වෛද්‍යවරයකුට දරුවා පෙන්නා ප්‍රතිකාරයක් ලබා ගන්න.

 

කේ.එන්. ඩී. සිල්වා- මාතර

ප්‍රශ්නය

 

වෛද්‍යතුමනි,

මම තිස්හය හැවිරිදි රජයේ පාසලක උගන්වන ගුරුවරයෙකි. මෑතක සිට මගේ යටිබඩේ වේදනාවක් වරින්වර ඇති වෙනවා. ඒ වගේම තුනටියේ වේදනාවකුත් ඇතිවෙනවා. සමහර දිනවල වමනය වගේම නිතර නිතර ඕක්කාරයක් එනවා. මුත්‍රාකරන විට වේදනාවක් දැනෙනවා. දොස්තර මහත්තයකුගෙන් බෙහෙත් ගත්තා. සුවයක් ලැබුණේ නැහැ. කරුණාකර පවතින රෝගී තත්ත්වය සුවකිරීමට ලබාදෙන බෙහෙත් සුබසෙත පත්‍රයේම පළකරවන මෙන් ඉල්ලමි.

 

පිළිතුර

මෙහි සඳහන් නොකළාට තව රෝග ලක්ෂණ ඇති බව පෙනේ. (ඔබට ඇත්තේ ආශ්මරි හෙවත් මූත්‍රගල් රෝගයයි. ජලය පානය නොකිරීමත් රෝගයට හේතුවක්. නුසුදුසු වැරැදි ආහාරපාන ගැනීමත් නිසි වේලාවකින් තොරව ආහාර ගැනීමත් තවත් හේතුවක්. රෝගයට අක්කපාන කොළ සලාදය, කුප්පමේනිසා ව්‍යංජනය, නීරමුල්ලිය, පොල්පලා, රණවරා, හාතාවාරිය, බෙලිමල්වැනි ඖෂධ වෙන වෙනම තම්බා පානය කරන්න. වැටකොළු, පතෝල වැනි දියර එළවළු ඉදුණු ගස්ලබු , කෝලිකුට්ටු, නෙල්ලි, වේදනා සමනයට හේතු වේ. නිතර නිතර උණුකර නිවාගත් ජලය පානය කරන්න. තෙල් බැදුම් තෙම්පරාදු කළ ව්‍යාංජන පිටි මිශ්‍ර කෑම ක්ෂණික කෑම බීම උෂ්ණාධික කෑම ගන්න එපා. ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම සුදුසුය.

 

කේ.ඩී. නානායක්කාර - පොල්වත්ත

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මම විශ්‍රාමිකව නිවෙසට වී සිටින කෙනෙක්. සතියක දෙකක පමණ සිට වම් උරහිසේ දැඩි වේදනාවක් ඇති වෙනවා. එවිට මම බෙහෙත් තෙල් ටිකක් ගාගෙන ඇඳේ හාන්සිවෙනවා. එතකොට උරහිසේ වේදනාව අඩුවෙනවා. පවතින වේදනාව සමහර දවස්වලට උරහිසටත් එනවා. වැළමිටටත් එනවා. සුවකර ගැනීමට ඉංගී‍්‍රසි බෙහෙත් ගත්තත් සුවයක් නැහැ. එබැවින් සුබසෙත මඟින් ප්‍රතිකාරයක් ලබා දෙන්න.

 

පිළිතුර

උරහිසේ වේදනාව බෙහෙවින් පවතින්නේ උරහිසට බරදී යම් යම් වැඩවල යෙදී සිටීමෙනුයි. කලින් යම් යම් රැකියාවේ ස්වභාවය අනුව උරහිස් වෙහෙසට පත්වන රැකියාවක යෙදී සිටියේ නම් පසුවට රෝගී ලක්ෂණ මතුවිය හැකිය. නිසි වෛද්‍ය ප්‍රතිකාරයක් ලබාදීමට නම් රෝගියාගේ තත්ත්වය විමසා බැලිය යුතුයි. එබැවින් ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගන්න. උෂ්ණාධික ආහාර ගන්න එපා. උඳු, සුදුළූණු වගේම එළඟිතෙල් මිශ්‍ර ආහාර ගන්න.

 

ඩී. දාබරේ - ගොකරැල්ල

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, පාසල් යන මගේ දරුවා මේ මෑතක සිට හරිම කම්මැළි ගතියෙන් පසුවනවා. වෙනදා ඉගෙනීමට දක්ෂ දරුවා දැන් පොතක් ගත් සැණින් නිදා වැටෙනවා. කිසිම ප්‍රාණවත් ගතියක් නැතුව වගෙයි ඉන්නේ. මුහුණ කටසේදීම පවා කරන්නේ අපේ බලෙන්. වෙනදා එහෙම නැහැ. අටවැනි වසරේ ඉගෙනුම ලබන මේ දරුවා මේ තත්ත්වයෙන් වළක්වා ගැනීමට බෙහෙත් හෝ උපදෙසක් ලබාදෙන මෙන් කරුණාවනේ ඉල්ලමි.

 

පිළිතුර

සඳහන් කොට ඇති විස්තරය අනුව පෙනී යන්නේ ඔබේ දරුවාට යකඩ ඌණතාවය ඇති බවයි. එබැවින් යකඩ මිශ්‍ර ආහාර ලබා දීමට කටයුතු කරන්න. දරුවාට දෙන කෑමට මස්, මාළු, කරවල, හාල්මැස්සන්, බත් සමඟ කෑමට දෙන්න. කතුරුමුරුංගා, සාරණ, නිවිති, ගොටුකොළ, තම්පලා, තද කොළ පැහැති පළාවර්ග මෙන්ම නැවුම් එළවළුත් කෑමට එක්කරන්න. බෝංචි, සෝයාබෝංචි, කඩල, මුංඇට, කවුපි, පරිප්පු, උදු, බිත්තර, වරින්වර කෑමට බත් සමඟ ලබාදෙන්න. කෑමෙන් පසු තේ, කෝපි, පිටිකිරි බීමට දීමෙන් වළකින්න.

 

ආයුර්වේද වෛද්‍ය
සුමිත් රාජපුර 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.