වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
විභාගයට කාලය මදිද?
හෙට අනිද්දා කඩයිම් විභාගයක් ආරම්භ වීමට නියමිතය. ළමයින් මේ වනවිටත් ඒ සඳහා සූදානම් වෙමින් පවතී. පිරිසක් පාඩම් කටයුතුවල නියැළුණද පිරිසක් දැනටමත් විභාගය අතහැර අවසන්ය. තවත් පිරිසක් පාඩම් කළ ද ඒවා ආවර්ජනය කර ගැනීමට නොහැකිව සිටියි. තවත් පිරිසක් විභාග ආතතියෙන් වෙලී කිසිවක් කරගැනීමට නොහැකිව සිටී. තවත් පිරිසක් විභාගයට හොඳීන් සූදානම් වී සිටී. ධම්මපදයේ එන අප්පමාද වග්ගයේ ඔබ සැම අසා ඇති ගාථාවක් ලෙස “උට්ඨානවතෝ සතිමතෝ “ ගාථාව පෙන්වාදිය හැකිය. එහි අර්ථය සරලවම ගතහොත් උත්සාහවන්ත වූ මනා සිහිය ඇති නිවැරදි දේ පරීක්ෂාකාරීව කරන, හික්මීමෙන් යුත්, දැහැමින් ජීවත්වන තැනැත්තාගේ යසස වැඩෙන්නේය. ඔබත් මෙවැනි පුද්ගලයකු ද යන්න මොහොතක් සිතන්න. අපගේ බුදුදහම මෙන්ම සෙන් දහම තුළින් ද මනා වූ ජීවිතාවබෝධයක් ලබා දේ. එසේ නම් මේ සෙන් කතාව උත්සාහවන්තව ජයග්‍රහණය කරා යාමට වෙහෙසෙන හා දැනටමත් විභාගය පිළිබඳ බලාපොරොත්තු අත්හැර සිටින ඔබ සියලු දෙනාටයි.
එකමත් එක කාලයක අකීරා නම් දක්ෂ තරුණ ශිෂ්‍යයකු සිටියේය. මොහු ඉතා බුද්ධිමත් හා කඩිසර ශිෂ්‍යයෙකි. අකීරා කෙතරම් දක්ෂ වුවද ඔහුට කාලය කළමනාකරණය කිරීමට නොහැකි විය. කාලසටහනක්වත් ඔහුට නොතිබිණ . අධිෂ්ඨානයක් ඇති නමුත් එයද සාර්ථක නොවීය. අකීරා ජීවත් වූ ගම ඇත්තේ නගරයෙන් එහා හුදෙකලා කැලෑ බද ප්‍රදේශයකය. මේ කැලෑව මැද සෙන් භික්ෂූන් භාවනා කරන හා වාසය කරන පුරාණ පන්සලක් ඇත. අකීරා ඔහුට ඇති මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා ගැනීමේ දැඩි බලාපොරොත්තුවෙන් දිනක් මේ පන්සලට ගියේය. අකීරාව දුටු වැඩිහිටි සෙන් භික්ෂුවක් ඔහු පන්සලට ඉතා ආදරයෙන් පිළිගත්තේය. අකීරා ද එම භික්‍ෂුවට වැඳ නමස්කාර කර මෙසේ පැවසුවේය. “සෙන් භික්ෂුවනි, මම ඔබවහන්සේ බැහැදකින්න ආවේ මගේ ප්‍රශ්නයකට උත්තරයක් බලාපොරොත්තුවෙන්. මම තවම ශිෂ්‍යයෙක්. මට අවශ්‍ය මගේ පාඩම් වැඩ හොඳටම කරගෙන විශිෂ්ටයකු වීමටයි. ඒකට මම ගොඩක් මහන්සිවෙලා පාඩම් කරනවා. නිදි වරාගෙන පාඩම් කරනවා . ඒත් කිසිම කාරණාවක් මතක හිටින්නේ නෑ. පොත අතට ගත්තම දැනෙන්නේ මහන්සි ගතියක්. මම දවසම පාඩම් කළත් අවසානයේදී කරුණු ආවර්ජනය කරන විට ඒවා මතකයට නොනැඟේ. ඒත් මේ පාඩම් වැඩ සඳහා මම දවසම යොදවනවා. මට තේරෙන්නේ නෑ කාලය කළමනාකරණය කරගන්න අවශ්‍ය කොහොමද කියලා. මට අදහසක් නෑ, මේ පාඩම් වැඩ කොහෙන් කොහොම ඉවර කරගන්න ද කියලා. මට කියලා දෙන්න මම මේකට මොනවාද කරන්න ඕන කියලා සෙන් ගුරුතුමනි .”
සෙන් ගුරුතුමා අකීරාගේ ප්‍රශ්නය සාවධානව අසා සිට මෙලෙස පැවසුවේය. “අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වය ලබා ගැනීමට නම් වෙහෙස මහන්සි වී වැඩ කිරීම අනිවාර්යයි. මහන්සි වෙලාම වැඩක් නැහැ. ඒකට දක්ෂ වෙන්නත් ඕනෑ. මොළේ කල්පනා කරන්න ඕනෑ. මම ඔබට මේ ගැන කතාවකින්ම පැහැදිලි කරලා දෙන්නම්.” භික්ෂුව කතාව ආරම්භ කළහ.
“එකමත් එක කාලයක ඉතාම දක්ෂ ලෙස උගන්වන ගුරුවරයකු සිටියා. ඔහු ළඟට බොහෝ දක්ෂ සිසුන් පැමිණියා. එහෙත් එම සිසුන් අතරින් කැපී පෙනෙන එක් දක්ෂ සිසුවෙකු සිටියා. ඔහු විහාගවලින් අන් සියලුම සිසුන්ට වඩා වැඩි ලකුණු ගත්තා. එලෙස ඔහු ලකුණු ලබා ගැනීම සම්බන්ධව ඉරිසියාවෙන් සිටි ශිෂ්‍යයකු පැමිණ දිනක් ගුරුතුමාගෙන් මෙලෙස ඇසුවා. අර ශිෂ්‍යයා විතරක් ඇයි එතරම් දක්ෂ? ඔබතුමා අපට කියල දෙන කරුණුම තමයි ඔහුත් ඉගෙන ගන්නේ. ඇයි ඔහුට විතරක් හැමදාම පන්තියේ වැඩිම ලකුණු? අපිත් ඔහු වගේමයි. ඒත් කවදාවත් ඔහුට සමාන ලකුණක් ගන්න අපට හිතන්නවත් බැහැ.”
එවිට ගුරුතුමා සිනාසී මෙලෙස පිළිතුරක් ලබාදුන්නා. “ඔව්. සියලු දෙනාටම මා එකම විෂය කරුණු ලබාදෙන මුත් ඔහු තේරුම් ගත් , ඔබ තේරුම් නොගත් එක් කාරණාවක් තිබෙනවා. ඒ තමයි කාලයේ ඇති වටිනාකම.”
එවිට ශිෂ්‍යයා මෙලෙස පැවසුවේය. “ඉතින් අපට තිබෙන වෙලාවමයි ඔහුට තිබෙන්නේ. එකම පැය විසි හතරමයි.”
එවිට ඔහුට ගුරුතුමා පැවසුවේ මෙවැන්නකි. “සාර්ථකත්වය, අසාර්ථකත්වය තීරණය වන්නේ කාලය මත නොවේ. එය තීරණය වන්නේ අප කාලය භාවිතාවට ගන්න ආකාරය අනුවයි. නැතිනම් එය ප්‍රයෝජනවත් අයුරින් භාවිත කරන ආකාරය අනුවයි.”
සෙන් භික්‍ෂුව කියූ මේ කතාව ඇසූ අකීරාට තමාගේ අඩුපාඩුව ටිකෙන් ටික වැටහුණේ ය. සෙන් භික්ෂුව ඉන්පසු මෙලෙස ද පැවසූහ. “කාලය යන්න ඉතාම වටිනා සම්පතක්. එය මේ ගෙවීයන හැම තත්පරයෙන් තත්පරයටම අපිට අහිමි වෙමින් යනවා. ඉතින් කිසි දිනෙක ඔබේ ඉගෙනීමෙන් අසාර්ථක නොවී සිටීමට ඔබට අවශ්‍ය නම් කාලයේ වටිනාකම තේරුම්ගෙන ඥානාන්විතව ගතකිරීමට සිදුවනවා. එමෙන්ම හොඳ අධ්‍යයන පුරුද්දක තේරුම වෙහෙස මහන්සි වී වැඩ කිරීම පමණක් නොවේ. ඒ කරන වැඩේ කාර්යක්ෂමව හා සිහි නුවණින් නිවැරදිව කිරීමයි.”
එදින සිට කාලය නිසි ලෙස කළමනාකරණය කරගත් අකිරා සියලු විභාග මෙන්ම සිය පෞද්ගලික ජීවිතයේ බොහෝ ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.
මෙය කියවන ඔබද කෙතරම් කාලයක් දවසට අපතේ යවනවාද ? මොහොතක් සිතන්න. අපට කාලයේ වටිනාකම කොතෙක්ද යන්න අවබෝධ වන්නේ එය අහිමි වී ගිය පසුවය. ජීවිතයේ සාර්ථකත්වය උදෙසා කාලය මැනවින් භාවිත කිරීම ඔබ සතු වගකීමකි. කඩයිම් විභාගයක් හෝ වේවා ජීවිතයේ යම්කිසි දෙයක් හෝ වේවා ඔබ මෙතෙක් කාලය කාදමමින් සිටි කෙනෙක් නම් ඒ පිළිබඳ හොඳීන් සිතා අවබෝධ කරගෙන ඉදිරි කටයුතුවලට කාලය කළමනාකරණය කරගෙන දිනපතා කටයුතු කරන්නේ නම් ඔබගේ සිතැඟි පරිදි බලාපොරොත්තු සාර්ථක වනවා නොඅනුමානය. අදම ආරම්භ කරන්න. උත්සහ කරන්න . දිගටම උත්සාහ කරන්න . ඔබ උත්සහ කළහොත් ඔබට කළ නොහැකි දෙයක් නොමැත. එවිට ඔබට කාලය මෙන්ම ජීවිතය පිළිබඳ කෙදිනකවත් පසුතැවීමක් ද ඇති නොවේ.