සීතාවක අලුත් සහල් මංගල්‍යය සහ රාජකීය කරල් පෙරහර

ජනවාරි 10, 2025

ඓතිහාසික තොරතුරු රාශියකින් හා රජවරුන්ගේ පිදුම් ලද මානියම්ගම මහා විහාරය සීතාවකපුර පිහිටා තිබීම භාග්‍යයකි. සීතාවක රාජධානිය පිළිබඳව කාලවකවානුවන් නිගමනය කිරීමේ දී රාවණ රජ දවස දක්වා සාධක පැවතී ඇති බව ජනප්‍රවාදයේ පවතී. යක්ෂ ගෝත්‍රික වංශ පරපුරට අයත් රාවණ රජු සැපත් වූ භූමි ප්‍රදේශය මානියම්ගම ග්‍රාමය අයත් යකහටුවාව විය හැකිය.

යක් හිටු වා ගල යක්ෂ ගෝත්‍රිකයන් සිටි ගල ආදී ලෙස යකහටුවාගල වී යයි අදහසයි. සීතා දේවිය ස්නානය කළ ස්ථානය සීතාවක ඔය ලෙස අවිස්සාවේල්ල නගරයට ආසන්නයේ ද, වැවේ කැලේ “සීතාලෙන” ද පිහිටා තිබීම මෙයට හොඳම සාධකයකි. මේ ජනප්‍රවාද මතය ඉතිහාසයෙන් බැහැර කළ නොහැකි ය.

වළගම්බා හෙවත් වට්ට ගාමිණී රජු පැරදී වනාන්තරගතව සංචාරය කරන අවස්ථාවේ මානියම්ගම ලෙනේ වාසය කර ඇති බවත් එම රජ විසින් දෙවැනිවර පැමිණිමේ දී මේ ලෙන් විහාරය වළගම්බා රජු විසින් කර වූ බව ඉතිහාස කථාවේ පවතී. “ මානියම්ගම විහාරයේ පළමුවෙන් වළගම්බා මහ රජ්ජුරුවන් විසින් ගල් කටාරම් කොටවා ගල් උළුවහු සඳකඩ පහන් ආදී සමෘද්ධිකර දිගවඩු හතළිස් රියන් පළල එකොළොස් රියන් විහාරය කරවා” යනුවෙන් මායාදුන්න කුමාරයා විසින් ප්‍රදානය කරන ලදැයි තඹසන්නස ලියන කාලයේදී ද මානියම්ගම විහාරය වළගම්භාරජු විසින් කරන ලද්දැයි පවත්නා එය ඉතිහාස ජන මතයකි.

සීතාවක රාජ්‍ය ආරම්භ කරන කාලයේදී මානියම්ගම විහාරයේ අධිපති ධූරයට පත්ව සිටියේ උඩරට සඟ පරපුරක් ය. ක්‍රි.ව. 1514 සිට 1543 දක්වා මේ විහාරයේ අධිපති ධුරයට පත්ව සිටියේ කොටකේදෙණියේ ධම්මරන්සි උඩරට පළාතට අයත් හිමිපාණන් වහන්සේ නමකි. ටිකිරි කුමරුගේ ජන්ම පත්‍රය සකස් කරන ලද්දේ ද මේ හිමිපාණන් වහන්සේ බව සඳහන් වේ.

“මානියමිගම විහාරයේ පිටපත” , “මැදගොඩ දේවාල සන්නස” ද මෙයින් සඳහන් වේ. ඉහත සඳහන් සන්නස පුස්කොළයට ගත්තේ “සතවර්ෂ එක්දාස්පන්සිය දොළොස් වැන්නේ දුරුතු මසදීය.” සිටිනාමළුවේ සෝභිත නම් භික්ෂූනමක් ගැන ද සඳහන් වේ.

සිටිනාමළුවේ සෝභිත හිමිපාණන් ක්‍රි.ව.1510 සිට 1594 දක්වා විහාරයේ වැඩ සිටි බව දැක්වේ. ඉන් පසු “සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය” නම් පොතේ ක්‍රි.ව.1600 දී පමණ මානියම්ගම විහාරයේ වැඩ සිටියේ සිටිනාමළුවේ ධම්මපාල හිමියන් බව සඳහන් වේ. “ශත වර්ෂ එක්දාසි හත්සිය විසි වැන්නේ බක් මසයේදී මේ පොත මා විසින් ලියන ලද්දේය” යනුවෙන් සඳහන් වේ.

ක්‍රි.ව.1521 දී මායාදුන්න කුමරු ආරම්භ කළ රාජ්‍ය කාලය ක්‍රි.ව. 1580 වේ දී ඔහුගේ මරණයෙන් පසු ටිකිරි බණ්ඩාර කුමරු හෙවත් ඪ වන රාජසිංහ රජුට හිමි විය. පළවෙනි රාජසිංහ මරණෙන් පසු රාජසිංහ රජුගේ දුව මැණික් බිසෝ බණ්ඩාරගේ පුත් රාජසුරියට ද ඔහුගේ අකල් මරණයෙන් මාහාදුන්න රජුගේ දුව වූ මහ ටිකිරි බිසෝ බණ්ඩාර කුමරියගේ ළදරු කුමරුගේ නාමයෙන් අරිට්ඨකීවෙන්ඩු හෙවත් මාන්නප්පෙරුම මුදලි කෝට්ටේ ධර්මපාල රජුගේ සෙවයට සම්බන්ධ වීම නිසා සීතාවක රජය අසරණ විය.

සීතාවක රාජ්‍යය බිඳ වැටීමත් සමගම පෘතුගීසි බලය මානියම්ගම පුරා පැතිර ගොස් මානියම්ගම රජමහා විහාරයටද නරක කල දසාවක් වූයේය. ගොන්සාල්වේස් පෘතුගීසි පියතුමා විසින් මානියම්ගම පල්ලියක් සාදා ක්‍රිස්තියානි ධර්මය ප්‍රචාරය කළේය. එම නිසා මානියම්ගම විහාරයේ භික්ෂුන් වහන්සේට ජීවත් වීමට අපහසු වී තිබේ.

විහාරය වසා දමා ආරක්ෂාව උදෙසා වෙනත් පෙදෙස් කරා වැඩම කිරීමට සිදු විය. ඉන්පසු රාජසිංහ රජ අභාවයෙන් පසු කීර්ති ශ්‍රී රාජසිංහ රජු ද පසුව සීතාවක රාජසිංහ රජුගේ කාලය ද මානියම්ගම විහාරයේ ප්‍රතිසංස්කරණයට ලක් කර ඇත. විහාරයේ නවකම් කරවා බිතුසිතුවම් අන්දවා කෙත්වතු ගම් පූජා කළ බව සඳහන් වේ. එයට අමතරව සන්නස් පත්‍රයක් ප්‍රදානය කරවා 1766 දී අලුත් සහල් මංගල්‍යය ආරම්භ කරන ලදී. එවකට ආරම්භ කරන ලද රජ දරුවන්ගේ උත්සවය “දුරුතු පෙරහර” හෙවත් “රාජකීය කරල් පෙරහර” නමින් අද දක්වා නොකඩවා පවත්වාගෙන එනු ලබයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විහාරය ප්‍රතිසංස්කරණය කර සන්නස පවරා ඇත්තේ වැලිවිට අසරණ සරණ සරණංකර පරපුරේ උඩරට භික්ෂූන්වහන්සේනමක වන බුද්ධ ගුප්ත හිමිපාණන්ට ය.

ක්‍රි.ව. 1514 සිට 1543 දක්වා විහාරාධිපති ධූරය භාරව කටයුතු කළේ කොටකේදෙනියේ ධම්මරන්සි හිමි පාණන් ය. සීතාවක රාජ්‍යය ආරම්භයට පෙර මානියම්ගම විහාරය පාලනය කළ භික්ෂූන් වහන්සේලා සම්බන්ධව සඳහන් තොරතුරක් නොමැත. සීතාවක රාජ්‍ය කාලයේ සිට විහාර අධිපතීත්වය හෙබවූ නායක භික්ෂූන් වයන්සේ මෙසේය.

ක්‍රි.ව. 1514-1543 දක්වා කොටකේදෙණියේ ධම්මරන්සි නාහිමි.

ක්‍රි.ව. 1543-1594 දක්වා සිටිනාමළුවේ සෝභිත නාහිමි

ක්‍රි.ව. 1594-1600 දක්වා සිටිනාමළුවේ ධර්මපාල නාහිමි

ක්‍රි.ව. 1600-1766 දක්වා විහාරය අතහැර යාමට සිදු වී ඇත. ක්‍රි.ව. 1766 සිට පිළිවෙළින් බුද්ධගුප්ත ස්ථවර, ධම්ම දස්සි ස්ථවර, සුදස්සි ස්ථවර, තිඹිරිපොළ ධම්ම දස්සි ස්ථවර, සෝනොත්තර ස්ථවර , සරණංකර ස්ථවර , කොටකේදෙණියේ රතනජෝති ස්ථවර , කොටකේදෙණියේ සෝමාලංකාර නාහිමි සහ වර්තමාන විහාරාධිපති ධුරය අඹංවල හේමාලංකාර හිමිපාණෝ විසින්ද හොඹවනු ඇත.

එවකට මායාදුන්න රජු දවස කොට්ටේ රාජධානියේ හිරිපිටියේ දියවඩන නිළමේ සීතාවකට රැගෙන ආ සිරි දළදා වහන්සේ මානියම්ගම රජමහා විහාරයේ නායක හිමිපාණන්ට පවරා දෙන ලදී. ටික දිනක් සියලු දළදා පූජාවන් මැද සීතාවක වැඩ සිටි දළදා වහන්සේ වැඩි ආරක්ෂාව පතා දෙල්ගමුව රජමහා විහාරයෙහි විහාරාධිපති ෂඩ් භාෂා පරමේෂ්වර මහින්දාලංකාර හිමිපාණන් වෙත භාරදෙන ලදී. රාජරාජ මහා අමාත්‍යවරු පමණක් නොව දෙව්බඹුන්ගේ වන්දනාවට පාත්‍ර වූ දළදා වහන්සේ වැඩ සිටි පූජණීය ස්ථානයක් ලෙස මානියම්ගම රජමහා විහාරය ඉතිහාසයට එක් වේ.

දළදා වහන්සේ වැඩම වන අවස්ථාවේ ටික දවසක් වැඩ සිටි ස්ථානය ලෙස වෙලන්ගල්ල ග්‍රාමයේ දළදා ගොඩැල්ල නම් ප්‍රදේශයක් අද ද දක්නට ලැබේ. එදා සිට අද දක්වා දළදා වහන්සේට කරන පූජෝපහාරයක් ලෙසින් රාජ ආඥාවක් ලෙස රාජකීය පෙරහර වංශකතාවේ රන් අකුරින් ලියවී ඇත. රාජ ආඥාවෙන් ආරම්භ වූ රාජකීය කරල් පෙරහර වර්ෂ 2025 ජනවාරි මස පුන් පොහෝ දින වීථි සංචාරය කෙරේ.

 

ප්‍රවීණ ජෝතීර්වේදී

පුරාවිද්‍යා නිදහස් ගවේෂක

මානියන්ගම

සුනිමල් කුමාරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.