වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
නොවැළැක්විය යුතු දහතුන් වේග
මනුෂ්‍ය ශරීරය ආශි‍්‍රත රෝගකාරක වේග දහතුනක් ආයුර්වේද ශාස්ත්‍රය දක්වයි.
දඹදෙණි රාජධානි සමයේ පඤ්චම පරිවේණාධිපති මංගල සංඝරාජ හිමියන් විසින් ලියන ලද භේසජ්ජ මංජුසා නම් පාලි බසින් යුතු ආයුර්වේද ග්‍රන්ථයේ ඒ මෙසේ දක්වයි.
“වායු පුරිසං පස්සවං ඛවථුනතස්සනං ඛුදං
නිද්දං කාසං සමස්සාසං ජම්හමස්සුං ච ඡද්දනං
උග්ගාරං සම්භවඤ්චෙව ජාත වේගං න වාරයෙ” (4 පද්ධති 2)
වාතය, මළය, මූත්‍රය, කිඹුහුමය, පිපාසාවය, කුස ගින්නය, නිදිමය, කාසය, ශ්‍රමශ්වාසය, ඇනුමය, කඳුළුය, වමනය, ශුක්‍රය යනුවෙන් ඒ වේග දහතුන වෙයි.
මේ එක් එක් වේග වැළක්වීමෙන් වන ප්‍රතිඵල කෙටියෙන් බලමු.
වාත වේග
ඌර්ධ්ව වාත වේග වැළක්වීමෙන් (ඔක්කාරය) ආහාර අරුචිය, බඩ පිපුම, කැස්ස, ඉක්කාව, ළයපපුව බැඳුණක් ලෙස එම සර්වාංග කම්පනය ආදී බොහෝ රෝග හටගනී. අධෝවාත වේගය වැළක්වීමෙන් ගුල්ම රෝගය, ක්ලාන්තය, වාත මූත්‍රාවල ඇහිරීම්, නේත්‍ර රෝග, උදරාග්නි මාන්දය, හෘදයාබාධ ආදී රෝග රාශියක් හට ගන්නේය.
මළ වේග
මළ පිටවන්නට අවශ්‍යතාව තිබියදී ඒ සිදු නොකොට වළකාගන්නා කල කෙණ්ඩ පෙරළීම, හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව, ගුදයෙහි පීඩා, කට ගඳ ගැසීම, හදවත ඇහිරීම අධෝවායුව ඉහළ ඒම ආදී රෝග රාශියක් ඇති වෙයි.
මූත්‍රා වේග
මූත්‍රා පහ කළයුතු අවස්ථාවන්හි ඒ සිදු නොකොට දරා ගැන්මෙන් මූත්‍රාශය, ඉකිලි යනාදි ස්ථානයන්හි වේදනාව මෙන්ම ඇඟපත පොඩිකරලීම බඳු රෝගී ලක්ෂණ හට ගනී.
කිඹුහුම් වේග
ඉන්ද්‍රියයන් දුබල බවට පත්වෙයි. නහර ඉලිප්පෙයි. හිසරදය පවතී. විවිධ වාත පීඩා සිදුවෙයි.
පිපාස වේග
තොල කට වියළීම, ශරීරයේ අප්‍රාණිකත්වය, අමිහිරිකම, සිහි මුළාවීම, කරකැවිල්ල, හෘදයාබාධ ආදිය වේ.
කුසගිනි වේග
ආහාරයෙන් වැළකී කුසගින්න දරාගෙන, උසුලාගෙන සිටීමේ දී ඇඟපත පොඩිකළාක් බඳු ශරීර වේදනාව, කෑම අරුචිය, හිස කරකැවිල්ල ආදී රෝග දක්නට ලැබේ.
නිද්‍රා වේග
ඈනුම් යාම, ඇඟපත පොඩි කිරීම වැනි ලක්ෂණ වේ. හිසේ සහ දෙඇසේ බර ගතියක් පෙන්වයි.
කාස වේග
කැස්ස වැඩිවෙයි. හති ගතිය, අරුචිය, හෘදයාබාධ, ළෙහි රෝග, ඉක්කාව, වියළීම වෙයි.
කාසස්ස තස්ස සංවෘද්ධි සාසාරුචි උරොගදා නිධමා දෙහ සොසො ව තස්මිං කාසභිසජ්ජිත” යි (භේසජ්ජමඤ්ජුසා) ඒ කියැවෙයි.
ශ්‍රමශ්වාස වේග
වෙහෙස නිසා උපදන හතිය වැළැකීමෙන් හෘදයාබාධ, සිහිමුර්ජාව, ගුල්ම රෝග හටගනී.
ඈනුම් වේග
කිවිසීම වැළකීමෙන් ම වූ රෝග හටගනියි. ඉන්ද්‍රියයන් දුබල වීම, නහර ඉලිප්පීම වෙයි.
කඳුලු වේග
පීනස, ඇස් රෝග, හිසරදය, නහර තදවීම, හෘදයාබාධ, අරුචිය, කරකැවිල්ල පහළ වෙයි.
වමන වේග
විසප්පු, රතුපාටට, ගොරෝසු නම් පලු, කුෂ්ට, ඇස් රෝග, පාණ්ඩු රෝග, උණ, මුහුණේ කළුපාට ලප, කටට කෙළ ඉනීම, ඉදිමීම වෙයි.
ශුක්‍ර වේග
ශුක්‍ර බේරීම, වෘෂණ කෝෂයන්හි වේදනාව, උණ, හෘදය පීඩාව, මුත්‍ර පිට නොවීම, ඇඟපත රුදාව, අණ්ඩ වෘද්ධිය වේ.
මෙලෙස දහතුන් ආකාර වූ වේගයන් වැළැක්වීමෙන් අනේකප්‍රකාර බලවත් රෝග හටගනියි. එබඳු රෝගියකුගේ ශරීරය දැඩි උලකින් අනින්නාක් බඳු තදබල වේදනාවෙන් පෙළේ නම්, මළ ගඳින් යුතුය, වමනය, නොනවතින පිපාසය, ශක්තිය පිරිහීම, සිරුර ක්‍රියා රහිතවීම ආදී ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඒ වනාහි රෝගියා අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇති ලක්ෂණය. එබඳු විට ඊට නිසි පිළියම් වහා යෙදිය යුතු ය.
දහතුන් ආකාර වේගයන්ගේ මෙහෙයවීමෙන් ද, වැළැකීමෙන්ද සියලු රෝග උපදින බවක්, වේගයන්ගේ මෙහෙයවීමට වඩා වේගයන්ගෙන් වැළකීම අතිශයින්ම බරපතළ බවත්
රෝග සබ්බේහි ජායන්තා -
වොගොදිරණධාරණ
වේහොදි රණතො වේගධාරණං
නින්දිතං භුසං” යනුවෙන් දක්වයි.
තම ශරීරයෙහි ස්වාභාවිකව පවතින වේග ඒ දැනුණ අවස්ථාවන්හිම පහ කළ යුතු වේ. වේගයන් වළකාලීම රෝගයනට හේතුවන හෙයින් වේග නොදැරිය යුතු බව ආයුර්වේදයේ දක්වාලයි. වේගය පහ නොකොට දරාගෙන සිටීමේදී වාතය කුපිතව, සුපුරුදු අනුලෝම ගමන් නොව ප්‍රතිලෝම ගමන් යාමෙන් සෞඛ්‍යයට මහත් හානිදායක බැව් වටහාගත යුතු ය.
ස්වාභාවිකව තම ශරීරයේ නිරෝගී පැවැත්ම සඳහා වේග මැඩපවත්වාගෙන යටපත් කරගෙන සිටීම කිසිසේත් කළයුතු නොවේ. මනා සිහි බුද්ධියෙන්, කල්පනාවෙන් ඒ සියලු වේග පිටවීමට ඉඩ හළ යුතු ය. එය නිරෝගි බවට හේතු වෙයි.