රාත්‍රියේ හමුවූ අද්භූත මහල්ලා

අද්භූත ගනුදෙනුකරුවා - 2 කොටස
දෙසැම්බර් 20, 2024

මෙතෙක් කතාව

බරපතළ ලෙස දුප්පත්ව සිටින තරුණයෙකු වූ රූපට් ඔරේන්ජ් නැමැත්තා සමාජය තුළ මහත් කුතුහලයක් ඇති කරන්නට සමත් දිවි පෙවෙතකට හිමිකම් කියූවෙකි. එක්තරා ලේඛකයකු විසින් ඔහුගේ ජීවිත ඉරණම පිළිබඳ කතාන්තරය සොයා ගනී. දැන් ගලා යන්නේ එම කතාවය.

කුඩා කලදීම දෙමව්පියන් අහිමි වුවද රූපට් ඔරේන්ජ්, ඔහුට අතිශයින්ම ආදරය කළ සිය ධනවත් නැන්දණියගේ කරුණාවන්ත භාවයට පින් සිදුවන්නට අනාථයෙකු වූයේ නැත. ඉල්ලූ කිසිම දෙයකට නැතැයි යනුවෙන් අසන්නට නොලැබෙන සැප දායක දිවි පෙවෙතක් ගත කිරීමේ අවස්ථාව ඔහුට සිය නැන්දණියගේ මැදුර තුළදී හිමි වී තිබුණි.

වයස අවුරුදු විසි හතරේ තරුණයෙකු ලෙස නගරයේ උසස් සමාජය තුළ ඔහුද කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටියේ මේ කියන නැන්දණියගේ මහා ධන සම්භාරයේ පිහිටෙනි.

එහෙත් ඔහුට වයස අවුරුදු විසිහතර ගෙවී යන්නට ඔන්න මෙන්න කියා තිබියදී නැන්දණිය හදිසියේම මිය පරළොව ගියාය. තම ඵකම හිතවත් ඥාතියාගේ වියෝගය හැරුණු විට රූපට් ඔරේන්ජ් හට මෙය වෙනත් පාඩුවක් නොවිය හැකිව තිබුණේ ඇය විසින් තම සියලු වස්තු සම්භාරය ඔහු නමට ලියා තිබූ හෙයිනි.

එහෙත් සිය නැන්දණිය අකාලයේ මරු වසඟයට ගත් දෛවයටත් වඩා කෲර ඥාති ගැහැනියක විසින් තරුණ රූපට් ඔරේන්ජ් මහපාරටම ඇද දමනු ලැබීය. සිය අභිප්‍රාය හොඳීන් හෝ නරකින් ඉටුකර ගැනීමේ අදිටනින් මවනා ලද තැනැත්තියක වූ අනිස් නම් වූ මේ කාන්තාව තිහේ දශකයේ මුල්භාගයේ පසු වූ අතිශයින් මුරණ්ඩු චරිතයක් විය.

ඔරේන්ජ් රූපට්ගේ නැන්දණිය විසින් කලෙකට ඉහත තම පවුලෙන් නෙරපා හරින ලද ඥාති පුත්‍රයෙකුගේ් බිරිඳ වූ ඇය මේ අන්තිම කැමති පත්‍රයට විරෝධය පළ කරමින් උසාවිය දක්වා ගියාය. රූපට්ගේ නැන්දණිය මිය යන මොහොත වන විට උමතු ගැහැනියකව සිටි බවත් ඒ නිසා, සිය බූදලය රූපට් හට පැවරීම නීත්‍යානුකූල නොවන බවත් උසාවියට ඵ්ත්තු ගැන්වීමට ඇයගේ නීතිඥවරයා සමත් වූයේය. අධිකරණයේ තීන්දුවෙන් ප්‍රකාශ වූයේ ද ඇයට තනිවම තීරණයක් ගැනීමට සුදුසු මානසික තත්ත්වයක් නොතිබූ බවත් ඒ නිසා යම් බලපෑමකට යටත්ව රූපට් ඔරේන්ජ් හට තමාගේ සියලු දේපළ රූපට් හට පවරන්නට ඇති බවත්ය.

මේ තීන්දුව හේතුකොටගෙන ඒ වන විට දරිද්‍රතාවයේ පතුලට ආසන්නව සිටි අනිස් හා සැමියා ධනවත් භාවයේ ඉහළ පියවරකට ළඟා වූ අතර ඔරේන්ජ් රූපට් තරුණයා කෙනෙකු විසින් අල්ලා පොළොවේ ගැසු කලෙක මෙන් පොළවටම ඇද වැටුණේය.

මිනිසෙකුගේ ජීවිතයට මෙන්ම ආත්මයටද විය හැකි ලොකුම ව්‍යවසනයට ඔරේන්ජ් රූපට් මුහුණ දුන්නේ ඒ ආකාරයෙනි. විසිහතරවැනි වියෙහි පසු වූ විනෝදශිලී තරුණයෙකුව සිටි හෙයින් ඔහුට එය තදින්ම දැනුණේය.

එහෙත් ජීවත්වීම උදෙසා තමා සතු යම් හැකියාවක් තිබේ නම් එය උපයෝගී කරගැනීමට හෙතෙම උත්සහා කළේය. ඒ අනුව ලේඛන කලාව හා පද්‍ය නිර්මාණය අරබයා ඔහු තමා සතු හැකියාව හෙතෙම උරගා බැලුවේය. ආරම්භයේදීම ඔහු විසින් නිර්මාණය කරන ලද කුඩා පද්‍ය ග්‍රන්ථය පාඨකයන්ගේ හා විචාරකයන්ගේ යම් පැසසුමකට ලක් වූ හෙයින් ලේඛන කලාව සිය ජීවන වෘත්තිය ලෙස තෝරා ගැනීමට හෙතෙම කල්පනා කළේය. මේ අනුව මහත් කැපවීමෙන් කරනු ලැබූ නිර්මාණ කීපයක් ප්‍රධාන පෙළේ පුවත්පත්වල කතුවරුන් වෙත තැපැල් කර යවනු ලැබීය. ඒ හැම එකක්ම පාහේ විවිධ හේතු දක්වමින් ලියන ලද කාරුණිකව ප්‍රතික්ෂේප කිරීමේ ලිපියක්ද සමඟ ආපසු ලැබුණි. ඉන් අනතුරුව හේ තමාගේ නිර්මාණද රැගෙන කතුවරුන් හමුවීම පිණිස ගියේය. ඒ කතුවරුන් වැඩි දෙනකුගේ පොදු අදහස වූයේ රූපට් ඔරෙන්ජ් ප්‍රකට සාහිත්‍යධරයන්ගේ නිර්මාණ අනුව යමින් ප්‍රබන්ධකරණයේ යෙදෙනවා විනා තමන්ගේ ස්වාධීන නිර්මාණයක් බිහි කිරීමට අසමත් බවය. එහෙත් සත්‍ය වශයෙන්ම රූපට් ඔරේන්ජ් හට නිර්මාණකරණය අරබයා සහජ කෞශල්‍යයක් පිහිටා තිබුණි. එහෙත් ඔහුගේ නාමය ප්‍රසිද්ධියට පත් වී නොතිබූ බැවින් ඒ නිර්මාණාත්මක හැකියාව බොහෝ කතුවරුන්ගේ සැකයට භාජනය වූයේය.

ඔවුන්ගේ අදහස වූයේ ඔහු ප්‍රවීණ ගත්කරුවන්ගේ නිර්මාණ කොපි කර ඇති බවය. රූපට් ඔරේන්ජ් මේ හේතුකොටගෙන සිය ජීවිතය පිළිබඳ අන්තයටම කලකිරුණේය. සිය පසුම්බියේ වූ අවසාන මුදල් ස්වල්පයද ටිකින් ටික ක්ෂය වෙමින් යද්දී හෙතෙම සියලු ආකාරයෙන්ම පිරිහුණු පුද්ගලයකු බවට පත්වූයේය.

තමාගේ සෞභාග්‍යමත් සමයේ දැන හඳුනාගත් හිත මිතුරන් දෙතුන් දෙනෙකුගෙන් වරින් වර ඉල්ලා ගත් ණය මුදලින් සිය දුප්පත් නවාතැනෙහි කුලිය ගෙවා දැමු හෙතෙම කෑ වේල්වලට වඩා නොකෑ වේල්වලට හිමිකම් කියන්නෙකු බවට පත් වූයේය.

නැන්දණියගේ මන්දිරයෙන් එළියට බසිද්දී ගෙන ආ වටිනා ඇඳුම් පැළඳුම් කීපයද, වටිනා සාක්කු ඔරලෝසුව, පෑන ආදී සියල්ලද බඩගිනි නිවා ගැනීම උදෙසා අලෙවි කිරීමට සිදු වූ අතර, ඇඳුමකට කියා ඉතිරි වූයේ කිසිසේත්ම අලෙවි කළ නොහැකි තරමට පරණ වූ කබායත් , අඩිය හිල් වී ගිය සපත්තු ජෝඩුවත් සහ කබල් හිස් වැස්මත් පමණි.

මේ සියලු ව්‍යයසනයන් හේතුකොටගෙන තම හදවතත් සිරුරත් පොඩිපට්ටම් වන සෑම මොහොතකම ඔහුව මේ තත්වයට ඇද දැමූ අනිස් නම් ගැහැනිය පිළිබඳව සිය හදවත ක්‍රෝධයෙන් උමතු වූයේය. ඇතැම් විටක මෙය කොතෙක් දරුණු හැඟීමක් වූයේද යත් ඇයව සදහටම පොළවට සමතලා කර දැමීමට ඉඩක් ලැබෙන්නේ නම් ඒ සඳහා තම මුළු ආත්මයම බිලි දීමට වුව ඔහු තුළ කැමැත්තක් ඇති වූයේය.

එහෙත් ඔහුට එය කිසිසේත්ම ලෙහෙසි පහසු කටයුත්තක් නොවූ අතර, ඇත්තම කියන්නේ ඔහු ඒ් වන සිටි තත්වය අනුව එසේ සිතීමත් මෝඩකමක්ම වූයේය. ඒ වෙනුවට සිදු වූයේ බාහිර සමාජයෙන් සදහටම වහන් වී සිටිය යුතු තරමට ඔහු තවත් පහළටම ඇද වැටීම පමණය.

ඉක්බිති රාත්‍රී අන්ධකාරයට ඔහු දැඩිලෙස ආදරය කරන්නට පටන් ගත්තේ එය තම සිතට සැනසිල්ලක් ගෙන ආ බැවිනි. රාත්‍රිය, අවට ලෝකයෙන් ඔහුට වසන් කර තැබුවේය. මේ නිසා ඔහු නගරයේ ඇවිදින්නට පටන් ගත්තේ හිරු අස්ථානගත වීමෙන් අනතුරුවය.

මේ නිසා තමා සෞභාග්‍යමත්ව සිටි සමයේ දන්නා අඳුනන අය විසින් පෙන්වනු ලබන ව්‍යාජ අනුකම්පාවෙන් සහ තමන්ගේ පරිහාණිය හේතුකොටගෙන ඔවුන්ගේ සිත් සතන් තුළ ජනිත කරවනු ලබන ගුප්ත සන්තෝෂය බෙදා දීමෙන් ද, තමා ලැජ්ජාවට පත්වීමෙන්ද වැළකිය හැකි වූයේය.

එය ශීත සෘතුවේ ආරම්භය වූ දෙසැම්බර් මාසයේ එක් දිනක් විය. ඔහු තමාගේ නවාතැන්පොළ වූ පැරණි තට්ටු නිවාසයෙන් එළියට බැස ගත්තේ අරමුණකින් තොර තමන්ගේ සුපුරුදු රාත්‍රී සංචාරය ආරම්භ කරනු පිණිසය. ගෑස් වීදි ලාම්පුවලින් ආලෝකමත් වූ මඟ දෙපස සුළු වශයෙන් හිම පතිත වන්නට පටන්ගෙන තිබූ අතර හෙතෙම නගර මධ්‍යයේ වූ සුප්‍රකට උද්‍යානය දක්වා වූ මාවත කරා පිය නගන්නට වූයේ පෙර පරිදි නිසි අරමුණකින් තොරවය. නගරයේ බොහෝ දෙනෙකු හොඳීන් දන්නා පරිදි ඒ් සඳහා පස්වැනි වීදිය ඔස්සේ ගමන් කළ යුතු වූයේය.

මෑත භාගයේ සෑහෙන කලකින් දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේද ඔහු එම වීදිය දිගේ ගමන් කර නැත. එයට හේතු වූයේ එකල තමා හා ප්‍රිය සමාගමෙහි යෙදුණු බොහෝ මිතුරන් මෙහිදී හමුවනු ඇතැයිද, තමා දැන් සිටින තත්ත්වය නිසා ඔවුන් ඉදිරියේ ලැජ්ජාවට පත්වීමට වඩා එහි නොයාම මැනැවැයිද ඔහු සිතා සිටි බැවිනි. එහෙත් මේ මොහොතේදී ඒ වීදිය ඔස්සේ පිය නගනු සඳහා හදිසියේම ඇති වූ ගුප්ත ආශාවකින් ඔහු පොලඹවනු ලැබීය. දෙවරක් නොසිතූ රූපට් කලෙකට ඉහත තමාට ඉතා හොඳීන් හුරු පුරුදු මාවත ඔස්සේ සෙමෙන් ඉදිරියට ඇදෙන්නට පටන් ගත්තේය.

ඒ් කාලයේ තමාගේ තරුණ හදවත විචිත්‍ර ආනන්දයන්ගෙන් මන් මත් කළා වූ මේ වීදියේ දෙපස විනෝදාගාර පිළිබඳ ස්මරණයන් කරමින් පිය නැගූ රූපට් ඔරේන්ජ්ගේ ගමන එක් වරම නවතනු ලැබුවේ අද්භූත මහලු මිනිසෙකු විසිනි.

(මතු සම්බන්ධයි)

(වින්සන්ට් ඕ සලිවන්ගේ කතාවක් ඇසුරිනි)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.