චීවරධාරීන්ගේ අණවින දුරු කළ පැන් කළය

දෙසැම්බර් 20, 2024

කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන්ගෙන් තම දිවිපෙවෙතේ නොයෙක් අරමුණුූ ඉටුකර ගැනීම සඳහා ලංකාවේ නන්දෙසින් ඇදී එන විවිධ පුද්ගලයන්, ආතුරයන් සැම දෙනා හට පිහිටවීම උන්වහන්සේගේ බලවත් අභිප්‍රාය විය.

හිමිදිරි පාන්දරම අවදිවන හිමියෝ යෝග ව්‍යායාම්වල නිරතව, පන්සල් භූමියත්, බෝමළුවත් ඇමැද, පහළ පොකුණෙන් දිය ස්නානය කොට, ඕලු මල් කිහිපයක්ද නෙළාගෙන, විහාර මන්දිරයටත්, දේව මන්දිරයටත් වැඩම කොට හීල් දානයට පෙර හා පසු දෛනික වතාවත්වල නිරතව පොදු ජනතාවට පිහිටවීමට තම කාර්යාල කාමරය කරා පැමිණ වදාළහ.

ඒත් සමඟ දේව මන්දිරයේ දේව පිළිම සෙලවෙන්නට පටන් ගැණින. එහි දල්වා තිබූ පහන් වැටිවල ආලෝකය ද කෙමෙන් වැඩිවී ප්‍රභාස්වර විය. වහා දේව මන්දිරයට වැඩම කළ අප හිමියෝ දේවාරාධනාව සිදු කොට බලගතු මන්ත්‍රයක් මතුරන්නට වූහ. දේව පණිවුඩය හිමියන්ට වහා අවබෝධ කරගත හැකි විය.

එයින් කියැවුණේ පළමුවෙන් පැමිණෙන ආගන්තුකයාගේ අවශ්‍යතාව අද දිනම ඉටුකරන ලෙසත් එය සාර්ථක කර ගත හැකි බවත්ය.

මොහොතකින් ක්‍රේම්බ්‍රිජ් කාරයක් කොණ්ඩදෙණිය පන්සල මහ ගේට්ටුව අසල නතර විය.

“ඩිංගිරි බණ්ඩෝ........හනික ඔය කාර්එක ගන්න ගේට්ටුව ඇරල දෙන්න.”

“එහෙමයි හාමුදුරුවනේ”

“දුර බැහැර ඉඳල එන ඉස්කෝලෙ මහත්තයා කෙනෙක් වගෙයි මට නම් පෙනෙන්නේ. උදේට උන්දැට කෑම ලෑස්ති කරල දෙන්න. අර පහළ පොකුණෙන් මුහුණකට හෝදාගෙන, ඕලුමල් කිහිපයකුත් කඩාගෙන, බෝධියයි, විහාර මන්දිරයයි වැඳ පුදාගෙන තමන් ආපු කාරණය ඉෂ්ඨ සිද්ධවෙන්න ප්‍රාර්ථනා කරලම මාව මුලිච්චි කරවන්නකෝ....”

ආගන්තුකයා හිමියන්ගේ කාර්යාල කාමරයට පිවිසීය.

“ඩිංගිරි බණ්ඩෝ... මට අමතක වුණානේ. අපේ උපාසක මහත්තයට අපේ පන්සලේ ගහේ ඉදුණු පුවාලු ඇවරියක් ගෙනත් තියන්න අතුරුපසට.”

ඩිංගිරි බණ්ඩා මුළුතැන්ගෙට වහා දිවගොස් හිමිගේ උපදෙස් පරිදි ලොකු පුවාලු කෙසෙල් ඇවරියක් ගෙනවිත් දුන්නේ හිමියන් ඉදිරිපිටමය.

“මං මෙතැන හිටියට කමක් නැහැ උපාසක මහත්තයා... කෙසෙල් ගෙඩි කාලා ඉන්නකෝ...”

“අවසරයි අපේ නායක හාමුදුරුවනේ”

“උපාසක මහත්තයා මොකැයි..මේ අරුමැක්කෙ තකහනියේම ආවේ.”

“අපේ හාමුදුරුවනේ මම හබරණ ඉඳලයි ආවේ... හබරණ ඉස්කෝලෙක උගන්වනවා. ගිය අවුරුද්දෙ විශ්වවිද්‍යාලයක් බවට පත්කරපු පෑලියගොඩ විද්‍යාලංකාරයේයි ඉගෙන ගත්තේ. මාත් සමඟම එකට ඉගෙන ගන්න හාමුදුරුනමක් හිටියා. ඉතින් උන්වහන්සෙගේ ගැටලුවට පිහිට වෙන්න පුළුවන්ද බලන්නයි මම මෙහාට උදේ රැයින්ම ආවේ. මේ මගේ අයියාගේ කාර් එක. මගේ අයියා නම් ව්‍යාපාරිකයෙක්. හදිසි ගමන් බිමන්වලදී එයාගේ වාහනේ මම ඉල්ලා ගන්නවා.

“මහත්තයත්, ඒ දවස්වල මහණ වෙලා එහෙම හිටියද?”

“ඇයි අපේ හාමුදුරුවනේ එහෙම ඇහුවේ”

“උපාසක මහත්තයා දන්නවද දානෙකට හාමුදුරුනමක් වැඩියාම පලතුරු, කෙසෙල්ගෙඩි එහෙම වළඳින හැටි? මම බලාගෙන හිටියා, ඩිංගිරි බණ්ඩා කෙසෙල් ඇවරිය මහත්තයට පිළිගැන්නුවහම කෙසෙල් ගෙඩියේ ලෙලි ඇරලා දෙකට කඩාගෙන තමයි ඒක කෑවේ. අපට වලඳන්න පුරුදු කරල තියෙන්නෙත් ඔය විදිහටමයි.”

“අනේ අපේ හාමුදුරුවනේ ඒ කතාව හරියටම හරි, මමත් ඒ කාලෙ හාමුදුරුනමක් තමයි. මගේ ගුරුවරයෝ තමයි බඹරැන්දේ සිරිසීවලී හාමුදුරුවෝ, කොටහේනේ පඤ්ඤාකිත්ති හාමුදුරුවෝ, කිරිවත්තුඩුවේ නායක හාමුදුරුවෝ. ආහ්... අපිට හින්දි භාෂාව ඉගැන්නුවේ ඉන්දියාවේ ඉඳල ආපු රාහුල සංස්කෘත්‍යායන පඬිතුමා. හැබැයි ඉතිහාසය ඉගැන්නුවේ තෙන්නකෝන් විමලානන්ද මහත්තයා නෙ”

“ඉතින් උපාසක මහත්තයා ආපු කාරණය කියන්නකෝ”

“මම හීරළුවෙක් වුණත් මගේ හොඳම යහළුවා තවමත් හාමුදුරුනමක්. අපි දෙන්නටම පසු කාලෙකදී ගුරු පත්වීම් ලැබුණා. ඉතින් මගේ යහළු හාමුදුරුවෝ පාසලේ හොඳට උගන්වනවා. සිලබස් කවර් කරන්න හවස නොමිලයේම ගමේ ළමයින්ට අමතර පන්ති කරනව. ඒ දරුවෝත් කවදහරි විශ්වවිද්‍යාලයකට යවන්න උදවු වෙන්න.

ඒත් ඉතින් හාමුදුරුවනේ, මාතර පැත්තේ ඉඳල මාරුවෙලා ඒ ගමේ ඉස්කෝලෙට ආපු සමහර ගුරුවරු මේ හාමුදුරුවන් නොමිලයේ අමතර පන්ති දාල උගන්වනවට කැමැති නැහැ.

ඒ ගොල්ලන්ගේ ටියුෂන් පන්තිවලට ළමයිව ඇදගන්න මේ නිසා බැරිවෙන හින්දා.

ඉතිං මාතර පැත්තේ ගුරුකම් කරන කාණ්ඩයක් ගෙන්වා ගෙන ඒ ටියුෂන් කරන අය මගේ යහළු හාමුදුරුවන්ට මොනවාදෝ බන්ධනයක් කරලා.”

“අර යාළු හාමුදුරුවන්ට මොනවද දැන් වෙලා තියෙන්නේ.”

“අනේ අපේ හාමුදුරුවනේ මගේ යහළු හාමුදුරුවෝ පාසල ළඟ තියෙන විශාල නුග ගහට නැඟල හූ කියනවා. නුග අතු හොලව, හොලවා ගහෙන් බිමට පනින්න හදනවා. මුළු පළාතෙම මිනිස්සු නුග ගහ වටේ වටවෙලා බලන් ඉන්නවා. උන්නාන්සේ ගහෙන් බහින්නෙත් නැහැ නේ.

“හරි මට දැං තේරෙනවා. වෙලා තියෙන සංගදිය. මහත්තයාගේ ආව වාහනෙන්ම මහත්තයා එන්න. මට දායකයෝ අරං දුන්න ජීප් එකක් තියෙනවා. ඩිංගිරි බණ්ඩාත් එක්කම මම ඒකෙන් එන්නම් කෝ.”

“එහෙමයි හාමුදුරුවනේ”

මහව කොණ්ඩදෙණියේ සිට පොලොන්නරුව අසල හබරණට යාමට හෝරා කිහිපයක් ගතවෙයි. එසේම එකල ගමන් මඟ අවුරමින් වනසතුන් අපමණ ලෙස කෙළිදෙළෙන් ගත කරනු දක්නට පෙනෙයි.

වාහන දෙක ගමන් කරන මඟ අවුරමින් මහා අලි රංචුවක් පාර මැද්දේ ඉදිරියට එන්නට විය.

අප හිමියන් බලගතු මන්ත්‍රයක් වැලි අහුරකට මතුරා අලි රංචුව සිටින මඟදෙසට විසි කළ සේක. ගත වූයේ මොහොතකි. අලි රැලි, හොඬවැල් ඔසවා හිමියන්ට ආචාර කොට වන වැදිණි. මාර්ග බාධක ඉවත් විය.

කේම්බ්‍රිජ් කාරය පදවාගෙන ගිය ආගන්තුකයා විස්මයට පත්වූයේ හිමියන්ගේ දස්කම් ඔහු ඇස් පනාපිටම දුටු බැවිනි. හබරණ කිට්ටුවත්ම මඟ අවුරා සිටි මහා ඇතින්නියක ගමන යාමට මහත් බාධකයක් විය. නැවත හිමියන් තම ජීප් රථයෙන් එළියට බැස වියළි කෝටුවක් කඩාගෙන මඟ අවුරා ඇතින්නිය සිටින දිසාවට විසි කළ සේක. ගත වූයේ නිමේෂයකි. මහ හයියෙන් කුංච නාදකොට ඇත් පැටවුන් හනික වත්තන් කරගත් මහ ඇතින්නිය වන වැදී නොපෙනී ගියාය.

මහා විශාල නුග රුකක් මැද උස දෙබලක තමන්ගේ යහළු හිමියන් විප්‍රකාරයෙන් යුතුව හූ හඬ නඟමින් සිටිනු දක්නට ලැබුණි.

ආගන්තුක මහතා මේ විප්‍රකාර තත්ත්වය අප කොණ්ඩදෙණියේ සීලරතන හිමියන්ට පෙන්වා දුනි. සියලු වත් පිළිවෙත් කිරීමට සූදානම්ව පැමිණි අප හිමියන් නුගගහ යට මල්පැලක් සිටුවා එහි පහනක් දල්වා බලගතු මන්ත්‍රයක් මැතිරීමට පටන්ගත් සේක. ගතවූයේ මොහොතකි. මෙතෙක් නුග ගහ උඩ ගස් දෙබලක වුන් හිමියන් සන්සුන් වූ සේක. හෙමින් සැරේ නුග ගසෙන් බිමට බැසගත් ඒ හාමුදුරුවන් වහන්සේ අප හිමියන් පාමුල වැඳ වැටී නමස්කාර කළ සේක.

හිමියන් රැගෙන ආ පැන් කළය හිස මුදුනේ සිට ආගන්තුක හාමුදුරුවන් වෙත වත්කර එයින් පිරිත් පැන් දෝතක් බීමට සැලැස්වූහ. පිරිත් පැනින් මුහුණ කටසෝදා ගන්නට ඒ හාමුදුරුවන්ට උපදෙස් දුන් සේක. සියල්ල හොඳින් නිම විය.

අප හිමියන් රැගෙන ආ දහස්වර පිරිත් කළ පිරිත් නූලට බලගතු මන්ත්‍රයක් මතුරා ආතුර හාමුදුරුවන්ගේ කරට දැමූහ. බන්ධනය කපා හැරිණි. අප හිමියන් විසින් ඒ යාළු හිමියන්ට ආරක්ෂක සුරයක්ද ප්‍රබල මන්ත්‍රයක් ජීවම් කළ තෙල් බිඳක් දමා ලබා දුන් සේක. සියල්ල සමථයකට පත්විය.

ඉන් මතු දරුවන්ට නොමිලයේම දිගටම අමතර පන්ති පැවැත්වීමටද උසස් පෙළ දරුවන්ට ඉගැන්වීම ද හොඳින් සිදුවිය. එම පාසලින් විශ්වවිද්‍යාලවලට දරුවන් හතර දෙනකුට ඇතුළත් වීමට අවස්ථාව සැලසිණි.

පසුකාලීනව හබරණ විද්‍යාලය ක්‍රමානුකූලව දියුණු පාසලක් බවට පත්විය.

ආගන්තුක මහතා තම මිත්‍ර හාමුදුරුවන් සමඟ කොණ්ඩදෙණිය පන්සලට පැමිණ අප හිමියන් මුණ ගැසී තුති පිදීමට අමතක නොකළේය.

කොණ්ඩදෙණියේ රජ මහා විහාරයේ වත්මන් විහාරාධිපති ශාස්ත්‍රවේදි කඩම්බාවේ අනුරුද්ධ හිමියන් හමුවීමට මාතර දිසාවේ ප්‍රධාන සංඝනායක හිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි සංඝයා වහන්සේ දෙනමක් වැඩම කළේ ඉන් එක් හිමිනමකට මාතර යකැදුරන් විසින් මෙවැනිම බන්ධනයක් සිදුකොට උන්වහන්සේ නොමිලයේ පන්සල් බිමෙහි සිදුකරන අමතර පන්ති පැවැත්වීම නතර කරනු ලැබීමට විවිධ බාධක ඇති කිරීම හේතුවෙනි.

නිරන්තරයෙන් සිහිනෙන් භය බිරාන්ත කිරීමත් තදබල හිස රුදාවක් නොකඩවා පැවැතීමත් හේතු කොට ගෙන කෙතරම් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගත්ත ද ඉන් පලක් නොවීය. මානසික වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර කළත් එයින් නිට්ටාවට සුව නොවිණි.

අප අනුරුද්ධ හිමියන් විසින් ද ආතුර වූ හිමියන්ට හොඳින් සත්කාර සංග්‍රහ කොට දේව මන්දිරයේදී දහස්වර පිරිත් කළ ප්‍රබල මන්ත්‍රයෙන් ජීවම් කළ පිරිත් නූල ආතුර වූ හාමුදුරුවන්ගේ කර පැලඳවීමට කටයුතු කළ සේක. එතැන් සිට මෙතෙක් කල් තිබූ හිසරදය නිට්ටාවට සුව විය. ප්‍රධාන සංඝනායක හිමියන්ගේ උපදෙස් පරිදි එම හිමියන් විසින්ද තම පන්සලේ අමතර පන්ති පවත්වා දරුවන්ට ඉගැන්වීමද දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමද සිදු කරන ලදහ.

මෙලෙසින් අනුරුද්ධ නායක හිමියන් ද සිය ගුරු හිමියන් හා සමානවම නිහඬ සේවයක යෙදෙන බව දන්නේ සමීපතමයන් කිහිප දෙනකු පමණි.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.