වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
කොණ්ඩ කපා ගැනීම නතර කරවූ කොණ්ඩදෙණියේ හිමිවරු
කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් රජයේ ලියාපදිංචි සකලාංග ආයුර්වේද වෛද්‍ය යතිවරයාණන් වහන්සේ නමක් විය. එකල මහව ප්‍රදේශයේ මේ වෛද්‍ය වෘත්තියෙහි ජන සම්භාවනාවට පාත්‍ර වූ එකම හිමිනමද වූයේ උන්වහන්සේය.
හදිසි රෝගියකු පිළිබඳව පණිවිඩය ආ විගස ජීප් රථය පිළිසකර කරන තුරු බලා නොසිට කෙටි කැලෑ පාරවල් ඔස්සේ පාගමනින්ම හෝ වැඩ ආතුරයාට පිහිටවීම මේ හිමියන්ගේ පුරුද්දක් විය.
දිනක් උන්වහන්සේ ඩිංගිරි බණ්ඩා සමඟ කුරුණෑගල ආතුරයකුට පිහිට වී මහව දුම්රිය ස්ථානයේ සිට මෙසේ පාගමනින්ම පන්සල කරා වඩිමින් සිටියේ වෙනදා මෙන් ඡ්‍යොතිෂයට අනුව කාලහෝරාව බලා නොවේ. කැලෑ පාරේ වැඩිදුරක් යාමට මත්තෙන් හිමියන් ඉදිරිපිටට කඩා පැන්නේ වලස් රංචුවකි. මිටට බලගතු කෙටි මන්ත්‍රයක් මතුරා වලසුන් එන දෙසට විසිකර දිග කුඩය දැවැන්ත වලසාගේ ඇඟේ වැදී බිමට වැටිණි. පුදුමයක මහත! වලස් රංචුව සිටි ඉරියව්වෙන්ම ගල් ගැසිණි. හාමුදුරුවෝ ඩිංගිරි බණ්ඩා ද සමඟ වලසුන් මැදට වැටුණු කුඩය අහුලාගෙන නැවත ඉක්මන් ගමනින් වඩින අතර ආපසු හැරී බලන විටත් එම වලස් රංචුව ගල් පිළිම සේ සිටින අයුරු දැක අනුකම්පාවෙන් කුඩා ගල් අහුරක් අහුලා මතුරා උන් දෙසට විසි කළහ. පණලත් වලසුන් පසුබා වන රොදට වැදී වහා සැඟවිණි.
එහෙත් යා හැකි වූයේ මඳ දුරකි. මුළු කැලෑවම දෙවනත් කරමින් ඉදිරියට අවේ වල්අලි රංචුවකි. වහාම වැලි අහුරකට අලි මන්ත්‍රයක් මතුරා අහසට විසි කළ සැණින් අලි ඇතුන් රැළ ආපසු හැරී වන වැදිණි.
බාධක ඉන් අහවර වූයේ නැත. කුළුමීමුන් රැළක් එක පිම්මේ හිමියන් දෙසට දිව එන්නට විය. වලසුන්ට, අලිඇතුන්ට මැතිරූ මන්ත්‍ර ද පැය 24 යනතුරු බල රහිතය. වෙනත් කෙටි මන්ත්‍රයක් මතකයට නැඟෙන විට භයංකර කුළුහරකුන් හා අප හිමියන් අතර තිබුණේ අඩි 20ක් පමණ දුරකි. වහා අතට හසුවූ පස් අහුරකට එය මතුරා උන් දෙසට ක්ෂණිකව විසි කළ විට එම රංචුව ඒ පිම්මෙන්ම ගල්වී නතර වූයේ අඹන ලද කුළු මී රැළක් මෙනි. අලුතින් අත්හදා බැලූ මන්ත්‍රය දෙදෙනාගේම දිවි ගැළවීමට හේතු විය. හිමියන් ඉදිරියට පියවර කිහිපයක් වැඩමකොට ගසකින් වියළුණු කෝට්ටක් කඩා මතුරා රංචුව දෙසට විසිකර මොහොතකින් උන් වනගත විය.
හීන් දාඩියෙන් පෙඟී සිටි ඩිංගිරි බණ්ඩා දුටු හිමියෝ සිනාසී ‘මම ඉන්නකම් කිසිවකුට බයවෙන්න එපා’ යැයි කියමින් ඉන් ඔබ්බෙහි වූ ඇළත් දිය කඩිත්තත් තරණය කරන්නට වූහ. දිය කලඹමින් ආවේ විශාල කිඹුල් රැලකි. හිමියන් අත තිබූ කුඩයට මතුරා එයින් ජලතලයට වැරින් ගැසූ විට කිඹුලන් සීසීකඩ පීනා ගියේ ආවාටත් වඩා වේගයෙනි. මේ සියලු බාධක මැඩ ඩිංගිරි බණ්ඩාත් සමඟ සීලරතන හිමියන් පන්සලට වැඩියේ සඳඑළියෙන් මුළු වනපෙතම නැහැවී තිබියදීය.
එදින සන්ධ්‍යා භාගයේ සීලරතන නායක හිමියන් හමුවීමේ අපේක්ෂාවෙන් අලුත්ම පොක්ස්වැගන් වර්ගයේ සුදුපැහැති වෑන් රථයකින් කොළඹ සිට තරුණ මවුපිය යුවළක් තම කුඩා දියණිය කැටුව පැමිණ සිටියහ.
එහෙත් රෑ බෝවී තිබූ බැවින් පන්සලට නුදුරින් පිහිටි හිමියන්ගේ නැඟෙණියගේ නිවෙසට මේ ආගන්තුක පිරිස පිටත්කර හැරීමට පියවර ගැනිණි.
පසුදින උදෑසනම ඔවුන් හිමියන් බැහැදැකීමට පැමිණියහ.
‘අවසරයි අපේ හාමුදුරුවනේ’
‘ඉතින් කොහොමද නවාතැන් කෑම බීම එහෙම?”
“අපේ නායක හාමුදුරුවනේ. ඔබ වහන්සේගේ නංගි හරිම කරුණාවන්තයි. අපිට ඊයේ රෑ ඉන්ට ගෙදර ලොකු කාමරයක් පිළියෙළ කරල දීලා කෑමබීමත් හොඳටම හදල දුන්නා. කොහොම ස්තුති කරන්ඩද මන්දා
“ඔව් අපේ නංගි ආගන්තුකයන්ට සත්කාර කරන්නේ තමන්ගේම අයට වගේ...හොඳයි එහෙනම් මහත්තයලා විහාර මන්දිරයටයි, බෝධියටයි වන්දනාමාන කරල තමන් ආපු කාරණය ඉෂ්ට සිද්ධ වෙන්න ප්‍රාර්ථනා කරලම එන්නකො.”
හිමියන්ගේ උපදෙස් පරිදි වතාවත් කළ පිරිස තමන් පැමිණි කාරණය පැවසන්නට විය.
“නායක හාමුදුරුවනේ...
අපි කොළඹ ඉඳල ඔබවහන්සේ මුණගැහෙන්න ආවේ අපේ මේ චූටි දුවගේ කාරණයක් සම්බන්ධව. දුව කොළඹ උසස් බාලිකා පාසලක 6 ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. මුලදී හරි කීකරුව, හොඳට ඉගෙන ගෙන කීපවරක්ම පන්තියේ පළමුවැනියාත් වුණා. ගුරුවරුත් ආදරෙන් හිටියා. ඒත් මෑතකදී ඉඳල මේ දරුවා හිටි හැටියේ අසිහියෙන් වගේ කතුරකින් එයාගේ කොණ්ඩය තැනින් තැන කපා ගන්නවා. මෙයාට ලස්සන දිග කොණ්ඩයක් තිබුණා. ඒත් එහෙම කපා ගත්තම අපි කොණ්ඩෙ කොටටම කැපුවා. අයෙත් ටික දවසකින් නැවත තැනින් තැන එයාම කතුරකින් කපා ගන්නවා. දැන් ඉගෙන ගන්නත් කම්මැළියි. හිටි හැටියේ කේන්ති ඇවිදින් ගෙදර අයත් එක්කයි, පන්තියේ යාළුවෝ එක්කයි රණ්ඩු සරුවල් කරනවා. වාර විභාගවල ලකුණුත් අඩුවෙලා. ූපන්තියේ අන්තිමයා. ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ කරන්නත් කම්මැළියි.
හොඳින් හිටි දරුවට මොනවද මේ වුණේ?...
මානසික රෝගයක්ද කියල විශේෂඥ මනෝ වෛද්‍යවරයකුටත් පෙන්නුවාම කිව්වේ එහෙම දෙයක් නැහැ කියලා....හමේ රෝගයක්ද බලන්න චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ටත් පෙන්නුව. බැරිතැන සෙත් ශාන්ති ගුරුකම් අතේ වැඩත් කළා. ඇස්වහ කටවහ කියලා දෙහිත් කැපුවා. කිසිදෙයක් ඇහුවෙ නැහැ හාමුදුරුවනේ...
දැන් දැන් තමන්ගේ පොත්පත් පැන්සල් විසිකරන්නත් පටන් ගෙන. පන්තියේ භාර ගුරුතුමිය අපිව ගෙන්වලා දරුවා කොහොම හරි හදාගන්න උත්සාහ කරන්න කිව්වා. ඉක්මන් ප්‍රතිකාරයක් කරන්න කියල විදුහල්පතිනිත් අපට උපදෙස් දුන්නා.
“අපි මේ නිසා හරිම දුකෙන් ඉන්නෙ. අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේවත් අපට පිහිට වෙන්න.”
මුළු කතාවට සාවදානව ඇහුම් කන් දුන් සීලරතන හිමියෝ ඉතා කාරුණිකව දියණියගේ හිස අතගා වෙන්ව කැඳවා තොරතුරු විමසූහ.
“හොඳයි. දැන් සියලු දෙනාම දේව මන්දිරයට එන්නකෝ” ඔවුන් දේව මන්දිරයට ඇතුළු වනවාත් සමඟ ප්‍රතිමා සියල්ල සෙලවෙන්නට විය. දේව ප්‍රතිමාවල ශීර්ෂයන් දෙස බලාගෙන වැඳගෙන සිටීමට උපදෙස් දුන් අප හිමියන් දේවාරාධනාව කොට බලගතු මන්ත්‍රයක් ජප කිරීමට පටන්ගත් සේක. ඒත් සමඟ දල්වා තිබූ පහන්සිළුවල ආලෝකය එක්වරම වැඩිවන්නට විය. දහස්වර පිරිත් කළ පිරිත් නූලක්ද ඔවුන් රැගෙන ආ රන්සුරයද, මන්ත්‍ර ජීවම් කරන තෙල් බඳුනක්ද දේව මණ්ඩලය අබියස සැකසුණූ මණ්ඩපයක් මත තැන්පත් කළ අප හිමියන් තවත් බලගතු මන්ත්‍රයක් ජප කරන්නට පටන්ගෙන ක්‍රමයෙන් එහි හඬ මහත්සේ වැඩි කළ සේක.
දේව මන්දිරයේ වසා තිබූ ජනේලයේ පියන්පත් විවර කරමින් තඩි කළු පූසෙකු දේව මන්දිරය තුළට පැන හිමියන්ගේ දෙපා මුල දැවටෙන්නට විය. ඒත් සමඟ සමන්පිච්ච මල් සුවඳක් දේව මන්දිරයේ සිට දසත පැතිරෙන්නට විය. ඩිංගිරි බණ්ඩා සුවඳ දුම් දේව මන්දිරය පුරා අල්වන්නට විය. හෝරාවකට පමණ පසු “ඕන්න මගේ වැඩ අහවරයි” පැවසූ හිමියන් දියණියගේ හිසේ ජීවම් කළ තෙල් බිඳක් තවරා ආශීර්වාද කොට, දකුණූ අතේ පිරිත්නූල ගැටගසා, ඔවුන් රැගෙන ආ රන්සුරයට ජීවම් කළ තෙල් බිඳක් දමා දරුවාගේ කර පැලඳවූහ. බලගතු තෙල් බිඳුවක් දියණිය පාසල් යන විට හිසේ ගාන ලෙසටද මවුපියන්ට උපදෙස් දුන්සේක. හිමියන්ගේ පාද නමස්කාර කළ ආගන්තුකයන් කොළඹ බලා පිටත්වූයේ සොම්නසිනි.
දරුවාගේ ඉගෙනුම් කටයුතු සහ ඉදිරි දියුණුව පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් යාබද නිවෙසක ඥාතියක බන්ධනයක් කර ඇති බව වැටහුණත් ඒ කිසිවක් මවුපියන්ට නොකීමට හිමියන් තීරණය කළේ ඔවුන්ගේ ඥාතිත්වයට හානි වීම වැළැක්වීම පිණිසය.
එතැන් පටන් දියණිය පෙරපරිදිම ඉතා දක්ෂ ලෙස ඉගෙනුම් කටයුතුවල යෙදුණු අතර කිසි දිනෙක තම මිතුරියන් සමඟ රණ්ඩු සරුවල් කළේද නැත. පන්තිභාර ගුරුවරියන් මෙන්ම විදුහල්පතිනිය ද, පුදුමයට පත්විය. පසුකාලීනව ඇයට විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුර ද හිමිවිය.
තිලොවටම සුන්දරියක් බඳු වූ ඇය සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ඉහළින්ම සමත්ව විශ්වවිද්‍යාලයෙන් ද ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් ලබා අධ්‍යාපන පරිපාලන සේවයට එක්ව, විදුහල්පතිනියක් ලෙස මූලිකව කටයුතු කළා පමණක් නොව මෙරට ළමා අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව විශේෂඥවරියක් ද වූවාය.
එම සිදුවීමෙන් වසර ගණනාවක් ගත වී තිබියදී පසුගිය දා වත්මන් කොණ්ඩදෙණියේ රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදි කඩම්බාවේ අනුරුද්ධ හිමියන් හමුවට රාගම කුරුකුලාවේ සිට මවුපියන් සමඟ පබළු මාලයක් මෙන් හුරුබුහුටි පුංචි දියණියක් පැමිණියේ නොදැනුවත්වම තමාගේම කොණ්ඩය තම අතින් ඇද ගලවා ගැනීමේ තත්ත්වයකට එම දියණිය පත්ව සිටි බැවිනි. මේ හේතුවෙන් ඇගේ හිසේ තැනින් තැන තට්ටය පෑදී තිබුණි.
මහත් කනස්සල්ලට පත් වූ මවුපියන් මුලදී චර්ම රෝග විශේෂඥයකුටද, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ට ද පෙන් වූ නමුත් ඔවුන් පවසා තිබුණේ දරුවාට එවැනි රෝගයක් නොමැති බවය.
කොළඹ බොදු බාලිකා විදුහලක 5 වැනි වසරේ ඉගෙනුම ලබන දරුවාට පෙර සිදුවීමේ මෙන්ම කේන්ති ඒම, අධ්‍යාපනයට අලසවීම දක්නට ලැබුණි.
අනුරුද්ධ හිමියන් හමුවට මේ පිරිස පැමිණිවිට එම කුඩා දියණිය වෙනම ගෙන ඉතා කාරුණිකව කතාබස් කොට සත්‍ය තොරතුරු අනාවරණය කරගත් අප හිමියන් දියණිය ඇතුළු මවුපියන් දේව මන්දිරයට කැඳවා බලගතු මන්ත්‍රයකින් ජීවම් කර දහස්වර පිරිත් කළ පිරිත් නූලක් දියණියගේ දකුණතෙහි ගැටගසා ඔවුන් රැගෙන ආ සුරයට ජීවම් කළ තෙල්බිඳක් දමා කරට පලඳවා ජප කළ තෙල් කුප්පියක් ලබාදී පාසල් යන විට තෙල් බිඳක් හිසේ ගාගෙන යාමට උපදෙස් දුන්සේක. එදින පටන් තම කොණ්ඩය කපා ගැනීමේ පුරුද්ද සහමුලින්ම ඒ දියණිය වෙතින් මඟ හැරී ගිය බව මවුපියන් පවසන්නේ මහත් අස්වැසිල්ලකිනි. අසල්වාසි ඥාතියකු ඇයට කර තිබූ බන්ධනය කපා හැරි හිමියන් දියණියගේ අනාගත කටයුතු ද සාර්ථක කර ගැනීමට සුදුසු අයුරින් පිහිට වූ සේක.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ