තනතුරු සමඟ අනතුරු ගෙනෙන සෙනසුරු ඒරාෂ්ටක

ඔක්තෝබර් 18, 2024

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු වූ සනත් ජයසූරිය මහතාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති කුම්භ ලග්න කේන්ද්‍ර සටහනට අනුව, ඒ මහතාට ඒරාෂ්ටක කාලවකවානුවලදී ලැබුණ සුබ පල පිළිබඳව අපි මීට පෙර කිහිප වතාවක්ම සාකච්ඡා කළෙමු.

ඒ මහතාට දැනට පවතින ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව 2025 වසරෙහි අප්‍රේල් 1 වැනිදා දක්වාම තවදුරටත් පවතියි. මේ ඒරාෂ්ටක කාලසීමාව තුළ ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තාවකාලික පුහුණුකරු තනතුරට පත් වූ අතර පසුගියදා නවසීලන්ත ක්‍රිකට් පිල සමඟ පැවති ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයෙහි බොහෝ ගෞරව ඒ මහතාට ලැබුණි. මෙහි විශේෂත්වය වන්නේ 2024 වසරෙහි ඔක්තෝබර් 7 වැනි දා සනත් ජයසූරිය මහතා පුහුණුකරු තනතුරෙහි වසර කිහිපයක් සඳහා ස්ථිර කිරීමය. ඒ අනුව ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකරු තනතුරෙහි ස්ථිර කරන විටද ඔහුට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව පෙනේ.

මා ඉතාම හොඳින් දන්නා පුද්ගලයකුගේ ලග්නය කුම්භ වන අතර චන්ද්‍රයා 12 වැනි භාවය තුළ තැන්පත්ව තිබුණි. ඔහුට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ලබා මාස කිහිපයකට පසු ඔහුගේ බිරියට කලකට පසු රැකියාවක් කිරීම සඳහා අවස්ථාව ලැබුණ අතර එය ඔහුගේ පවුලට එකතු වූ අතිරේක ආදායම් මාර්ගයක් විය.

කෙසේ වෙතත් යම් පුද්ගලයකුට ඉතා තදබල ඒරාෂ්ටක කාලවකවානු ලබද්දී සමහර විට එය, පවුලේ සමීපතම වැඩිහිටි සාමාජිකයකුට අපල ගෙන දීමට ඉඩ ඇති කාලසීමාවක් වනු ඇත. උදාහරණ ලෙස කුම්භ ලග්නය දරන මගේ මිතුරකු දැනට වසර දෙකක පමණ කාලයක් තිස්සේ ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරයි. ඒ අනුව මීට වසරකට පමණ පෙර ඔහුගේ පියා මියයන විටද ඔහු මේ ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරමින් සිට ඇත. එමෙන්ම මා ඉතාම හොඳින් දන්නා තවත් තැනැත්තියකගේ උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව ලග්නය කටක වන අතර 2023 වසරෙහි ජනවාරි මාසයෙහි ආරම්භ වූ ප්‍රබල අෂ්ටම ඒරාෂ්ටකය තවදුරටත් පවතියි. ඒ අනුව, මීට මාස කිහිපයකට පෙර ඇයගේ ආදරණීය මව මියයන විටද ඉහත කී තැනැත්තියට අෂ්ටම ඒරාෂ්ටකය ගත වෙමින් තිබුණි. මා දන්නා තවත් පුද්ගලයකු අනපේක්ෂිත හදිසි අනතුරකින් නොසිතූ ලෙස මියයද්දී, ඔහුගේ බිරියට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ද, ඔහුගේ වැඩිමහල් පුතුට ලග්න අෂ්ටම ඒරාෂ්ටකයද, වැඩිමහල් පුතකුගේ බිරිඳට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාවද, තවත් පුතෙකුගේ බිරියට අතිප්‍රබල ලග්න අෂ්ටම ඒරාෂ්ටකයද ගත වෙමින් තිබුණි. මෙයින් පෙනී යන්නේ යම් අයකුට ඉතා තදබල ඒරාෂ්ටක කාලයක් පවතින විට එම පුද්ගලයාගේ සමීපතම වැඩිහිටි පුද්ගලයන්ට අපල සිදුවීමේ අවදානමක් හට ගන්නා බව ය. එහෙත් සෑම විටම මේ ආකාරයටම සිදු නොවන බවද විශේෂයෙන් පැවසිය යුතු ය.

මා ඉතාම හොඳින් දන්නා පුද්ගලයකු මේ වන විට ලග්න ඒරාෂ්ටකයේ පළමු අදියර ගත කරමින් සිටියි. ඔහුගේ ලග්නය මීන වන අතර 2025 වසරෙහි අප්‍රේල් 1 වනදා සිට 2027 වසරෙහි ජූනි 9 වනදා දක්වා කාලසීමාව තුළ ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වීමට නියමිතය. ඒ අනුව ඔහුට එම කාලසීමාව තුළ වසර දෙකක් සඳහා විදේශගතවීමට අදාළ සැලසුම් මේ වන විටත් සකස් වී ඇත. ඒ අනුව ඔහුට එම වසර දෙක තුළ පවුලේ අනෙකුත් සමීපතම සාමාජිකයන්ගෙන් වෙන්ව විදේශයක ගත කිරීමට සිදුවනු ඇත.

ජනාධිපතිවරණයට පෙර ලියූ ලිපියකින්, ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ප්‍රධානතම අපේක්ෂකයන් තුන්දෙනකුටම ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත වන බව පෙන්වා දෙන ලදී. ඒ අනුව ජනාධිපතිවරණයෙන් ජය ගත් වත්මන් ජනාධිපතිතුමාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව සහ විශේෂයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති උපන් දිනයට අනුව ඒ මහතා උපත ලැබූ දිනය පුරාම චන්ද්‍රයා මකර රාශිය තුළ තැන්පත්ව ඇති බවට නිගමනය කළ හැකි ය. ඒ අනුව ඒ මහතාට වසර දෙකකට ආසන්න කාලසීමාවක් තිස්සේ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර පවතින අතර 2025 වසරෙහි අප්‍රේල් 1 වැනි දා දක්වාම එය තවදුරටත් පවතියි. ඒ අනුව පෙනී යන්නේ වත්මන් ජනාධිපතිතුමා 2024 වසරෙහි සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන විට ඒ මහතා ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගතකර ඇති බවය.

මාගේ ඥාතිවරයකුගේ ලග්නය ධනු වන අතර චන්ද්‍රයා 3 වැනි භාවය තුළ තැන්පත්ව ඇත. ඒ අනුව ඔහුට 2023 වසරෙහි ජනවාරි සිට 2025 වසරෙහි අප්‍රේල් 1 වැනිදා දක්වා ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථා ගත වෙයි. මේ කාලසීමාව ආරම්භ වනවාත් සමඟම ඔහුට කීර්තිමත් ආයතනයක ඉහළම තනතුරක් ලැබුණි. ඉහත කාලසීමාව ගතවද්දී ඔහුගේ නිවෙස නව මුහුණුවරකින් අලුත්වැඩියා කරන ලද අතර නිවෙසට අලංකාර ලෙස තවත් කොටස් කිහිපයක් ද එකතු කරන ලදී.

මා දන්නා තැනැත්තියක තම ස්වාමිපුරුෂයාගේ මවුපියන් සමඟ ස්වාමිපුරුෂයාගේ නිවෙසෙහි වාසය කළ ද ටික කලක දී ස්වාමිපුරුෂයාගේ මව සමඟ සහ එම නිවෙසෙහි සිටි ඥාතීන් සමඟ විරසකයක් ඇති කර ගන්නා ලදීි. ඒ අනුව ඔවුනොවුන් කතාබහද අත්හරින ලදී. කෙසේ වෙතත් ඇයගේ කේන්දර සටහනෙහි ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගතවද්දී වසර ගණනාවක් තිස්සේ පැවැති විරසකය යම් තරමකට අඩු වූ අතර නැවත ඔවුනොවුන් යම් තරමකට කතාබහ කරන්නට පටන් ගත්තේය. කෙසේ වෙතත්, තවත් වසර කිහිපයකට පසු ඔවුන් වෙනම නිවෙසක් තනා ගෙන එම නිවෙසෙහි පදිංචියට ගිය අතර ඒ අනුව ඇය තම සහකරුට හිමිව තිබූ සහකරුගේ මවුපියන්ගේ නිවෙසට යාම සම්පූර්ණයෙන්ම නවතා දමන ලදි. කෙසේ වෙනත් ඇයට නැවත වතාවත් 2023 වසරෙහි ජනවාරි මාසයෙහි ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ලැබූ අතර ඒ අනුව වසර ගණනාවකට පසු ඇය තම සහකරුගේ අනෙක් නිවෙසටද යාමට ඒමට තීරණය කරන ලදි.

මකර ලග්නය දරන මගේ සමීපතම ඥාති දරුවකුට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගතවද්දී ජයග්‍රහණ රැසක් ලැබුණි. එම කාලසීමාව තුළ ඔහුගේ ප්‍රසිද්ධිය විශාල ලෙස වැඩි වූ අතර නිවේදකයකු ලෙස සහ ළමා රංගන ශිල්පියකු ලෙස රූපවාහිනී වැඩසටහන්වලට සම්බන්ධවීමට පවා ඔහුට අවස්ථාව ලැබුණි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.