කළු වලාවේ රිදී රේඛා පෙන් වූ ඒරාෂ්ටක අත්දැකීම්

ඔක්තෝබර් 4, 2024

වසර 1978හි මාර්තු 3 වැනිදා උපත ලද ‘සිංහ’ ලග්නය දරන මගේ පාසල් මිතුරෙකු ඉතා තදබල අෂ්ටම ඒරාෂ්ටක කාලවකවානුවකදී ලද අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කිරීමට අද දිනයේදී බලාපොරොත්තු වෙමි. ඔහුගේ ලග්න අෂ්ටම ඒරාෂ්ටක කාලසීමාව 1995 වසරෙහි ජුනි 1 වැනිදාත් 1995 වසරෙහි අගෝස්තු 9 වැනිදාත් අතර කාලසීමාව තුළද 1996 වසරෙහි පෙබරවාරි 15 වැනිදාත් 1998 වසරෙහි අපේ‍්‍රල් 16 වැනිදාත් අතර කාලසීමාව තුළද යෙදී ඇත.

1995 වසරෙහි අපේ‍්‍රල් මාසයේදී ඔහු ප්‍රදේශයේ විශිෂ්ටම පාසලින් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් හොඳම ප්‍රතිඵලය ලබන විට ලග්න අෂ්ටම ඒරාෂ්ටක කාලය ආරම්භ වීමට තිබී ඇත්තේ මාස එකහමාරක් වැනි ඉතා සුළු කාලයකි. ඔහුට මේ ලග්න අෂ්ටම ඒරාෂ්ටක කාලසීමාව තුළ අ.පො.ස. උසස් පෙළ අධ්‍යයන කටයුතු වෙනුවෙන් වෙනත් කීර්තිමත් පාසලක් වෙත ඇතුළත්වීමට අවස්ථාව ලැබුණි. කෙසේ වෙතත් ඉහත අෂ්ටම ඒරාෂ්ටක කාලසීමාව තුළ ඔහුට ආරෝග්‍යශාලාවක නේවාසිකව සිටිමින් ශල්‍යකර්මයක් කිරීමට සිදු විය. තවද උසස් අධ්‍යාපන කටයුතුවලදී අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූ ඔහුට උසස් පෙළ විභාගයෙන්ද කිසිවකු නොසිතූ ලෙස දුර්වල ප්‍රතිඵලයක් ලබාගැනීමට සිදු විය.

මාගේ තවත් සමීපතම පාසල් මිතුරකුගේ ලග්නය “තුලා” වන අතර, චන්ද්‍රයා 5 වැනිභාවය තුළ තැන්පත්ව ඇත. ඔහුගේ උපන් දිනය 1978 වසරෙහි නොවැම්බර් 10 වැනිදාය. ඒ අනුව ඔහුට 1993 වසරෙහි මාර්තු 5 වැනිදාත්, 1993 ඔක්තෝබර් 15 වැනිදාත් අතර කාලය තුළද 1993 නොවැම්බර් 9 වැනිදාත් 1995 ජුනි 1 වැනිදාත් අතර කාලසීමාව තුළ ද ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත විය. මේ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාවට පෙර පැවති වසරක පමණ කාලසීමාව තුළ සහ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ආරම්භ වී ගත වූ පළමු මාස කිහිපය තුළ ඔහුට දැඩි අභියෝග රැසකට මුහුණ දීමට සිදු විය. එනම් ඔහු දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් වරින් වර මාස කිහිපයක් පාසල් ගමන නතර කළ ඔහුට වරින්වර සුළු රැකියාවන්වල නිරත වෙමින් පවුලෙහි ආර්ථිකය ශක්තිමත් කිරීමට සිදු විය. මොහු අධ්‍යාපනයට දක්ෂ දරුවෙකු බව දන්නා ගුරුවරුන් විසින් කෙසේ හෝ ඇවිටිලි කරමින් ඔහු පාසලට ගෙන්වා ගන්නා ලදී. කෙසේ වෙතත් ඔහු 10 වසර වාර පරීක්ෂණයකදී වරක් ගණිතයට 26ක් වැනි සුළු ලකුණු ගණනක් ලබා ගත්තේය. වරෙක ඔහුට පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ නිවසෙන්ද තවත් වරෙක යහළුවකුගේ නිවසෙහිද මාස ගණනාවක් නවාතැන් ලැබිණි. එම පාසලේ සිටි ඇතැම් මිතුරන් විසින් ඔහුට ද්‍රව්‍යමය වශයෙන් ආධාර සපයන ලදී. ඒ අනුව ඔහු මේ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව තුළ නැවත වතාවක් දක්ෂතා අතරට පිවිසුණේය. 1994 වසරෙහි අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙහි ප්‍රතිඵල 1995 වසරෙහි අපේ‍්‍රල් මාසයේදී නිකුත් කරන ලද අතර, එම විභාගයෙන් ඔහු හට විද්‍යාව සහ ගණිතය යන විෂයයන් ඇතුළු විෂයන් කිහිපයකට විශිෂ්ට සාමාර්ථ ලැබුණි. මෙහි විශේෂත්වය වන්නේ හාරසීයක පමණ සිසු පිරිසක් අතරින්. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් විද්‍යාව විෂය සඳහා විශිෂ්ට සාමාර්ථ්‍යයක් ලැබුවේ ඔහුම පමණක් වීමය. මේ විශිෂ්ට ජයග්‍රහණය ඔහුට ලැබුණේ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරද්දීය. තවද ඔහු හට 1996 වසරෙහි පෙබරවාරි 15 වැනිදාත් 1998 අපේ‍්‍රල් 16 වැනිදාත් අතර කාලසීමාව තුළ ඔහුගේ කේන්දර සටහනට අනුව, ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගතවිය. එම කාලසීමාව තුළ ඔහු ඉතා දක්ෂ ලෙස ගණිත අංශයෙන් උසස් පෙළ අධ්‍යාපන කටයුතුවල නිරත වූ අතර, අමතර පන්ති කිහිපයකට ද නොමිලේ සහභාගි වන්නටද අවස්ථාව ලැබුණි. 1997 වසරෙහි පැවති අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විදුහලේ ප්‍රථමස්ථානය සහ දිස්ත්‍රික්කයේ තෙවැනි ස්ථානය ලබාගනිමින් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට පිවිසෙන්නට ඔහුට අවස්ථාව ලැබුණු අතර, මේ සියලු ජයග්‍රහණ ලැබුණේ ඔහු ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත කරද්දීය.

මා ඉතාම හොඳින් දන්නා කුම්භ ලග්නය දරන මාධ්‍යවේදියෙකුට 2023 වසරෙහි ජනවාරි මස සිට 2025 වසරෙහි අපේ‍්‍රල් 1වැනිදා දක්වා අති ප්‍රබල ලග්න ඒරාෂ්ටකය පවතියි. ඔහුට මේ ඒරාෂ්ටක කාලසීමාව තුළ අනපේක්ෂිත සුබදායක අවස්ථා කිහිපයක් ලැබුණු අතර, ඒ නිසාම විශේෂ දියුණුවක් ලැබුණි.

මගේ හිතවතෙකුට මේ දිනවල ජන්ම ඒරාෂ්ටකයේ පළමු අදියර ආරම්භ වී ඇති අතර, මේ කාලවකවානුව 2025 වසෙරහි අපේ‍්‍රල් 1වැනිදා දක්වාම පවතියි. මේ කාලවකවානුව තුළ ඔහුගේ නමට හානියක් වන ආකාරයේ සිදුවීමක් පිළිබඳව කථිකාවක් ඇති විය.

හදිසි අනතුරු ආදිය තීරණය කිරීමේදී ද ඒරාෂ්ටක කාලවකවානුවලින් ප්‍රයෝජන ලබාගත හැකිය. උදාහරණ ලෙස මගේ සමීපතම ඥාතියකු මෝටර් සයිකලය ලොරියක ගැටීමෙන් මිය ගියේය. එම මෝටර් රථය මිලදී ගෙන නිවෙසට ගෙන ආ දින කේන්දර සටහනට අනුව චන්ද්‍රයා තැන්පත්ව සිටියේ වෘශ්චික රාශිය තුළය. ඒ අනුව 2015 වසරෙහි අගෝස්තු මාසයෙහි ඔහු මිය යන විට එම මෝටර් රථය මිලදී ගෙන නිවසට ගෙන ආ දින කේන්ද්‍ර සටහනට අනුව එම කේන්ද්‍ර සටහනට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වෙමින් තිබූ බව ඉතා පහසුවෙන් නිගමනය කළ හැකි විය.

2024 වසරෙහි සැප්තැම්බර් 27 වැනි දින “සුබසෙත” පුවත්පතෙහි නැවත වතාවක් මාගේ ඒරාෂ්ටක ලිපි පෙළ පිළිබඳව විවේචනාත්මක ලිපියක් පළ වී තිබුණි. එම ලිපිය තුළින් පවසා ඇත්තේ “ඩන්කන් වයිට්” මහතා ඔලිම්පික් රිදී පදක්කමක් ලබාගත්තේ ඒ මහතාට ඒරාෂ්ටක කාලවකවානුවක් ගත වීමේ හේතුව නිසා නොවන බවය. සැබැවින්ම මගේද අදහස එයමය. එනම් ඩන්කන් වයිට් මහතාට ඔලිම්පික් පදක්කමක් ලැබී ඇත්තේ ඒ මහතාට ඒරාෂ්ටක කාලවකවානුවක් ගත වීමේ හේතුව නිසා නොවිය හැකි වුවත් මගේ අවශ්‍යතාවය වූයේ ඒ මහතාටය ඒරාෂ්ටක කාලවකවානුවක් ලබා තිබියදීත් ඔලිම්පික් පදක්කමක් ලැබුණ බව ජනගත කිරීම පමණි. එම විවේචනාත්මක ලිපිය ලියූ ලියුම්කරු ඩන්කන් වයිට් මහතාට ඔලිම්පික් පදක්කමක් ලැබුණේ ඒරාෂ්ටක කාල වකවානුවකදී බව පිළිගනියි. මට එම පිළිගැනීම ප්‍රමාණවත්ය. එසේ නොමැතිව ඩන්කන් වයිට් මහතාට ඔලිම්පික් පදක්කමක් ලැබුණේ ඒරාෂ්ටක කාලවකවානුවක් ගත වීම නිසාය යන්න දැනුවත් කිරීමට සහ ජනගත කිරීමට මා හට අවශ්‍යතාවයක් නොමැති බව නැවත වතාවක් අවධාරණයෙන් පවසමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.