වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
රුහුණේ ඇත් පන්තියේ මුල්ම රජුගේ දළ යුගල
දුටුගැමුණු කුමරු රජවිමට පෙර ඔහුගේ මලනුවන් වන සද්ධාතිස්ස කුමරු හා යුද වැදුණේය. බුත්තල යුදඟනාව පිහිටි බිමට යුද වැදිම සඳහා සද්ධාතිස්ස කුමරුවන් පැමිණියේ කණ්ඩුල හෙවත් කඩොල් ඇතු පිට වන අතර දුටුගැමුණු කුමරුවන් පැමිණියේ අශ්ව වෙළඹක පිට නැඟීය. යුද්ධය ඇරැඹීමට සුදානම්ව පවතින මොහොත වන විට දුටුගැමුණු කුමරුවන් අශ්ව වෙළඹ කඩොල් ඇතුගේ පිටට උඩින් පන්නා ශිල්ප දැක්වීය. විටින් විට කිප වරක්ම සද්ධාතිස්ස කුමරුවන් පිට මත හිඳවාගෙන ගෙන සිටි කඩොල් ඇතුගේ පිටට උඩින් අසු පන්නවා දුටු ගැමුණු රජු ශිල්ප දැක් වූ අතර මේ අසු පන්වන විට දී අවශ්‍ය නම් කඩු පහරක් තම සහෝදරයාට එල්ල කළහැකි වුවත් ගැමුණු කුමරු එසේ කළේ නැත.
මේ මොහොතේ දි ඉතාමත් බුද්ධිමත් සත්ත්වයකු වන කඩොල් ඇතු තම පිටට උඩින් අශ්ව වෙළඹක දෙතුන් පාරක් මෙසේ පැන්නවීම ඇත් පරපුරටම අවමානයක් බව සිතුවේය. තම පිට උඩ සිටින සද්ධාතිස්ස කුමරු ඉතාම දුර්වල පුද්ගලයකු බැවින් මෙසේ සිදු වූ බව දැන ඔහු ඇතු පිටින් ගසා දමා බිමට වට්ටවනු ලැබිය. ඉන්පසු කඩොල් ඇතා දුටුගැමුණු රජු ඉදිරියට ගොස් වැඳ නමස්කර කළේය.
මේ සිදුවීම බලා සිටි සියලුම යුද සෙබළුන් ජය ඝෝෂා පවත්වා දුටු ගැමුණු කුමරුට ජය පැතූ අතර දුටුගැමුණු කුමරුවන් පළමුවෙන්ම රජ වු දිනය එදින බව පැරැනන්ගේ විශ්වාසයයි.
එදා සිට දුටු ගැමුණු රජතුමා මිය පරලොව යන තෙක් විශේෂ කර්යභාරයක් ඉටු කළ අප රටේ ඉතිහාසගත වු හාස්තියෙකි, දුටුගැමුණු රජතුමාගේ කඩොල් ඇතු.
දුටු ගැමුණු රජතුමා එළාර රජු සමග කළ යුද්ධයේදී ඉතා ඥානවත්ත ලෙස සතුරන්ට එරෙහිව සටන් කිරිමට උරදුන් මේ කඩොල් ඇතා දුටු ගැමුණු රජතුමාගේ වයස හා සමාන එක දා උපන් මිතුරු සත්ත්වයකු බව පැවසේ.
මේ කඩොල් ඇතු පිළිබඳව අදහස් දැක් වූ කතරගම මහා දේවාලයේ පාරම්පරික ලේකම් මහා බේත්මේ දායානන්ද අධිකාරම් මහතා පැවසුවේ කතරගම දේවාලයේ දෙවියන් වැඩම කර වූ පළමු ඇතා වන්නේ ද කඩොල් ඇතු බවයි. දුටු ගැමුණු රජතුමා රුවන්වැලි සෑය ගොඩනඟන විට මෙන්ම රෝගාතුර වූ විටත් මේ කඩොල් ඇතු රජු සමග සිටි අතර දැඩි ලෙස රෝගාතුර වූ දුටු ගැමුණු රජතුමා මිය ගිය පසුව එම දුක දරාගත නොහැකිව කඩොල් ඇතු ද රෝගා තුර වු බව ඉතිහාසයේ සඳහන් වෙයි.
මහා බේත්මේ දායානන්ද අධිකාරම් මහතා පැවසුවේ දුටුගැමුණු රජතුමා මිය ගිය පසු නැවත කඩොල් ඇතා කතරගම දේවාලයට පැමිණිමේ දී දැඩි ලෙස රෝගාතුර වූ බවයි. බුත්තල ගෝනගං ආර මයිමේ පිහිටි දියකිරිත්ත නම් ස්ථානයෙන් දිය නහවා කතරගමට රැගෙන එමට ඇත් ගොව්වන් ක්‍රියා කළ ද ඇත් රජු ගෙන ඒමට නොහැකි විය. පසුව දින කිපයකින් ඇතා මිය ගිය අතර පසුව එවකට සිටි බස්නායක නිළමේවරුන් හා දේවාලයේ රජකාරිකරුවන් පැමිණ ඇත් දළ යුගල ඉවත්කර බුත්තල හොරමැඬිල්ල නමැති ස්ථානයේ ඇතා ගේ සිරුර මිහිදන් කළ බව පැවසෙයි
මේ වටිනා ඇත් දළ යුගල මේ වන විට කතරගම දේවාලයේ පුජණීය වස්තුවක් ලෙස තැන්පත් කරන ඇති අතර සෑම වසරකම ඇසළ මංගල්‍යයේ හයවැනි පෙරහැර දින මේ දළ යුගල දේවාල මාලිගාවෙන් පිට මණ්ඩපයට රැගෙන විත් ප්‍රදර්ශනය කර නැවත දිය කැපු පසු දේවාලයට රැගෙන යනු ලබයි.
දුටු ගැමුණු රජතුමාගේ නියෝගයකට අනුව කඩොල් ඇතුගේ ඇත් දළ යුගල, මහා දේවාලයේ තැන්පත් කළත් 1602 දි ඌව අල්ලා ගත් ඕලන්දකාරයින් විසින් ඌව වෙල්ලස්සේ වැව් අමුණු විහාරස්ථානයන් විනාශ කරන විට දි දේවාලයේ ඇති වස්තුව රැක ගැනීමට කපුමහතුන් හා නිළමේ වරුන් ක්‍රියා කළ බැවින් මේ ඇත් දළ යුගලද සගවා තැබීමට කටයුතු කරනු ලැබිය.ඇත් දළ යුගල සැඟ වූ කපු මහතා නොබෝ දිනකින් මිය ගිය අතර ඇත් දළ යුගල සැග වූ ස්ථානය කිසිවකුටත් සොයාගත නොහැකිවිය. පසුව 1818 ඌවේ වෙල්ලස්ස කැරැල්ලෙන් පසුව 1890 දශකයේ පමණ මේ ඇත් දළ යුගල ඇති ස්ථානය පිළිබඳ කතරගම දේවාලයේ පාරම්පරික කපුමහතකු හට හීනයෙන් පැවසිම නිසා එය සඟවා තබන ලදු ගල් කුළ සොයා ගැණිමට හැකිවිය.
කතරගම දේවාලයට නැගෙනහිරට වන්නට ඇති යාල අංක 02 කලාපයේ ගල් පර්වතයක් හාරා මේ ඇත් දළ යුගල සගවා තිබු අතර ඇත් දළ යුගල සොයාගත් කපු මහතුන් පෙරහැරකින් මේ ඇත් දළ යුගල රැගෙන පැමිණ ඇති බව කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා පවසයි.
මේ දළ යුගල සැඟ වූ ගල තවමත් එ ලෙසම පවතී. දළ යුගල සැඟවීමට හැරූ කුහරයන් අදත් දක්නට ඇති අතර මේ දළ යුගල මෙසේ සගවා නොතිබෙන්නට පරදේ්සක්කාරයන් විසින් මේ වටිනා සම්පතක කොල්ලා කැමට ඉඩ තිබුණි. මෙවැනි උතුම් සම්පතක් මතු පරපුරට දැක බලා ගැනීමට රැක දුන් කතරගම දේවාලයේ සි්ටි පැරණි කපු මහතුන්ට ජාතියේ ප්‍රාණාමය හිමිවිය යුතුය. මෙසේ මේ කණ්ඩුල ඇතුගේ දළ යුගල කතරගම ඇසළ මංගල්‍යයේදී ප්‍රදර්ශනය කිරීමට එක් හේතුවක් වන්නේ කදිර දෙවිඳු ලෙස පෙනී සිටින්නේ දුටුගැමුණු රජු බවට ඇතැමුන් දරන විශ්වාසයයි.
කතරගමට වන්දනාවේ එන ඔබ මේ ඇත් දළ යුගල දකින්නේ නම් එහි ඉතිහාසය දැන සිටීම ඔබේ භක්තිය මෙන්ම ප්‍රීතිය වැඩීමට හේතු වනු නිසැකය.