පැහැපත් වන්න ඔබත් කැමැතිද?

ජුනි 14, 2024

 

සෑම කාන්තාවකම පංච කල්‍යාණියක නොවුණත් තම තමන්ට ආවේණික වූ රූප ශෝභාවකින් යුක්තයි. තමාට උපතින් උරුම වූ මේ රූප ශෝභාව රැක ගැනීම ඒ සඳහා නියමිත ඖෂධ භාවිතය, ආහාර සහ චර්යා රටා පිළිපැදීම රූපලාවණ්‍යවේදය ලෙස සරලව දැක්විය හැකියි.

ලොකු, කුඩා, තරුණ, මහලු සෑම දෙනාම තමාගේ රූ සපුව තව කෙනකු වර්ණනා කරනු අසන්නට ඉතාම කැමතිය. රූපලාවණ්‍ය රැක ගැනීමේදී පුද්ගල කායික, මානසික නීරෝගිබව සහ සමබරතාව අවශ්‍ය වේ. ආයුර්වේද ශාස්ත්‍රයේ නීරෝගි පුද්ගලයාගේ නීරෝගි බව ආරක්ෂා කර ගැනීම සහ ප්‍රසන්න වූ ආත්ම, ඉන්ද්‍රිය මනස පවත්වා ගන්නේ කෙලෙසද යන්න මනාව විග්‍රහ කර ඇත.

නූතනයේ සෑම කාන්තාවකම පාහේ පිරිමින් හා උරෙන් උර ගැටෙමින් තම පවුලේ ආර්ථිකය යහපත්ව පවත්වා ගැනීමට වෙහෙස වන්නීය. එම මෙහෙවරට දායක වන ඇයට ගේ දොර වැඩකටයුතු, දරුවන්ගේ සියලු කටයුතු, අධ්‍යාපනය, ඔවුන්ගේ රැකවරණය, පෝෂණය වැනි දහසක් දේ සොයා බැලීමට සිදු වනු ඇත. මේ සියල්ල විඳ දරා ගනිමින් ඇය රැකියාවේදී මනා පෞරුෂයකින් හෙබි සේවාදායිකාවක විය යුතුය. ඔබ මේ සියලු රාජකාරි මැනවින් ඉටුකිරීමට කාලය කළමනාකරණය කර ගැනීමට දක්ෂයෙකු විය යුතුයි. ලැබෙන පුංචි විරාමයේදි ඔබගේ රූ සපුව රැක ගැනීමට මොහොතක් මිඩංගු කර ගන්න. ඔබගේ සිත් ගන්නාසුලු ස්වභාවය පවත්වා ගැනීමට මනස ද බලපාන බව ඔබ දනී. සෑම විටම ධනාත්මක චින්තනයෙන් හෙබි විය යුතු අතර නැවුම් බලාපොරොත්තුවලින් සිත පුරවා ගන්න නිරන්තරයෙන් උත්සාහ ගත යුතුය. ඔබගේ සුන්දර සිනහවට ඔබට මිල මුදලක් වැය වන්නේ නැහැ නේද? නිතරම සුන්දර සිනවකින් මුව සරසාගෙන ඔබ ළඟට පැමිණෙන සේවා ලබන්නන් පිළිගන්න. එවිට ඔබ සුන්දර කාන්තාවක ලෙස ඔවුන් දකිනු ඇත. අගයනු ඇත. එලෙසම තමාගේ වයසට කාලයට, තත්ත්වයට දේශගුණයට ගැළපෙන ඇඳුමකින් සැරසෙන්න.

ඈත අතීතයේ සිට පංච කල්‍යාණය අතරින් ඡවි කල්‍යාණය වැදගත් ස්ථානයක් ගනී. එහිදී පුද්ගලයාගෙන් පුද්ගලයාට ආවේණික වූ පැහැයක් ඇත. එම ආවේණික පැහැය ඔබ සතු වටිනාම දායාදය කර ගන්න. ආයුර්වේදයට අනුව සමේ වර්ණ වර්ග හතරක් ප්‍රධාන වශයෙන් දක්වා ඇත.

1. අවදාත (සුදු)

2.ශාවවදාත (දුඹුරු මිශ්‍ර සුදු)

3. තෘෂ්ණ (කළු පැහැය)

4. ශ්‍යාව ( දුඹුරු පැහැය)

එසේම එක් එක් පුද්ගලයාගේ ප්‍රකෘතිය අනුවත් චර්මයෙහි ප්‍රභේද දක්වා ඇත. සාමාන්‍යයෙන් තළෙලු, වර්ණය යනු ද කළු සහ සුදු පැහැය අතර පැහැයකි. ඉතින් ඔබට උපතින් ලද මේ දායාදය රැක ගැනීමට ආයුර්වේදීය උපචාර විධි දක්වා ඇත. එසේම පුද්ගලයාගේ සමේ ස්වභාවය අනුවද ප්‍රභේද කිහිපයකි.

1.වියළි සම, 2.තෙල් සහිත සම 3. සංවේදී සම

එසේම සමහර අයට වියළි සංවේදී සහ තෙල්සහිත සංවේදී සමක් තිබිය හැකියි.

වියළි සම :– සමෙහි තෙතමනය අඩු අතර වියළි ස්වභාවයක් ඇත. මෙවැනි සමක් වයසට යාමේදී ඉක්මනින් රැලි වැටේ.

තෙල් සහිත සම :– මුහුණේ සම අල්ලා බැලූ විට තෙල් මතු වෙන ස්වභාවයක් ඇත. මෙවැනි සමක් ඇති අයට කුරුලෑ ඇති වීමේ හැකියාව වැඩියි. එබැවින් කුරුලෑ මත බැක්ටීරියාවන් ආසාදනය වීම නිසා කළු පැහැති ලප ඇති විය හැකිය. මොවුන්ගේ සම කහ පැහැයට හුරු සුදු පැහැයක් ගනී.

සංවේදී සම - ආලේපන පැක් වර්ග භාවිත කරන විට පරිස්සම් විය යුතුයි. මෘදු සබන් වර්ග වෛද්‍ය උපදෙස් මත ස්වාභාවික ශාක සාරවලින් සැදූ ආලේපන සුදුසුයි. සමෙහි කැසිලි, බිබිළි ඇති වීම සහ දැවිලි ස්වභාවයක් රතු පැහැ වීම ඇති වීමේ ප්‍රවණතාව වැඩියි.

සමහර අයට තෙල් සහිත සංවේදී සමක් හෝ වියළි සංවේදී සමක්ද පැවතිය හැකිය.

තමාට ආවේණික සමෙහි ප්‍රභාමත් ගතිය රැක ගැනීමට නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හෝ සුදුසුකම් ලත් රූපලාවණ්‍ය ශිල්පියෙකු හමුවීම ඉතාම වැදගත්. එහෙත් පොදුවේ සමට හිතකර සමේ ස්වාභාවික ප්‍රභාමත් ගතිය රැක ගත හැක්කේ කෙසේද බලමු.

පිරිසුදුබව - සමෙහි සහ හිසෙහි පිරිසුදු බව, නිතරම සම පිරිසුදු වතුරෙන්, මෘදු සබන් වර්ගයක් භාවිත කර සේදීම. ඉස්හොරි ඇත්නම් එයට සුදුසු ප්‍රතිකාර යෙදීම.

ජලය - දිනකට ලීටර් 2 - 3ක් අතර ප්‍රමාණයක් හොඳින් පිරිසුදු ජලය පානය කරන්න. මෙමඟින් සමේ රැලි වැටුණු වියළි ගතිය යම්තාක් දුරට වළකාගත හැකියි.

වාතාශ්‍රය - හැකි සෑම විටම පිරිසුදු වාතාශ්‍රය ලබා ගැනීමට උත්සුක වන්න. රස්නය අධික දුම් සහිත දුහුවිලි පිරුණු පරිසරය තුළ වැඩි වේලාවක් නොරැඳෙන්න.

හිරු එළිය - අධික හිරු රශ්මියට නිරාවරණය නොවීම.

හිරු රශ්මියෙහි සමහර කිරණ වර්ග නිසා සම අවපැහැ ගැන්වීම කැසීම, දහදිය බිබිළි, කුෂ්ඨ ඇති විය හැකිය.

සරල කපු රෙද්දෙන් පිළියෙල කරන ලද සැහැල්ලු ඇඳුම් ඇඳීම සුදුසුය.

සිතිවිලි

අධික වේග සහිත සිතුවිලිවල නිමග්න නොවීම ආවේගශීලි නොවීම, ක්‍රෝධ, ශෝක, බිය, වෛරය මානසික ආතතිය ඇතිවීම් වළකන භාවනා, මෛත්‍රි කිරීම් ආගමික වතාවත්වල යෙදීම සිතට සතුට උපදන ක්‍රියාවල යෙදීම පි‍්‍රය යහළු මිතුරන් සමඟ වාසය දහමට යොමුවීම කළ හැකියි.

ආහාර

කාලගුණ තත්ත්වලට ගැළපෙන ලෙස හැකි සෑම විටම සමබල ආහාර වේලක් ලබා ගැනීමට උත්සාහ කරන්න. (කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන,විටමින, ඛනිජලවණ අඩංගු)

පලතුරු ලෙස :– පැපොල්, නෙල්ලි, බෙලි, කෙසෙල්, අලුත් පලාවර්ග, එළවළු, (උෂ්ණ ගුණ අඩු) රක්තය දූෂණය වන අසාත්මික, කෘත්‍රිම ආහාරපාන ගැනීමෙන් වැළකීම

උදා :– අබ, අච්චාරු, ඉස්සන්, දැල්ලන්, බලමාළු දෙල් වැනි ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම. (පැය 8 - 6ක)

පොදුවේ ඔබට ගෙදරදීම පහසුවෙන් යොදාගත හැකි ඖෂධ යෝග

මුහුණ සේදීමට

අමුකහ වෙනිවැල්ගැට තම්බා නිවා ගත් වතුර මඳ උණුසුමින්

අමුකහ - විෂබීජ නාසන ගුණය සහ සමේ වර්ණය පැහැපත් කිරීම

වෙනිවැල්ගැට විෂබීජනාශක කරයි

ඉරමුසු සහ වැල්මදට තැම්බූ වතුර මඳ උණුසුමින් මුහුණ සේදීමට

ඖෂධ වර්ග දෙකේම චර්ම ප්‍රසාදන ගුණය ඇති බැවින් පැහැපත් සමක් ලබා දෙයි.

ලප කැලැල් නැති කරයි.

පිරිසුදු සිසිල් ජලයට දෙහි ඉස්ම බින්දු 2ක් 3ක් දමා මුහුණ සෝදන්න.

පිරිසුදු රෝස වතුර මිශ්‍ර ජලයෙන් මුහුණ සේදීම

කුරුලෑ පිරුණු මුහුණකට ගෙදර හැදුණු හොඳට ඉදිණු පැපොල් මද හොඳින් සූරා ක්‍රීම් වන තුරු ගසා ගන්න. එයට මී පැණි බිංදු 5 - 6 ක දෙහි ඉස්ම බිංදු 5 - 6ක් හොඳින් අඹරා ගත් කහ තේ හැඳි 4/1ක් මිශ්‍රකර මුහුණේ ආලේප කර විනාඩි 15කට පසු පිරිසුදු ඇල්වතුරෙන් මෘදු සබන් වර්ගයක් ගා සෝදා හරින්න. සතියකට වරක් පමණ සෑහේ.

වියළි සමකට - නැවුම් එළකිරි, Frish milk  මෘදුව උඩු අතට ආලේප කරන්න. සෙමෙන් උඩු අතට පිරිමැද විනාඩි 15ක් පමණ ඇස් දෙක පියාගෙන නිසොල්මනේ සිට මඳ උණුසුම් වතුරින් මෘදු සබන් වර්ගයක් යොදා සෝදා හරින්න. ඇස් යට කළු වී ඇත්නම් නැවුම් පිපිඤ්ඤා පෙති සිහින්ව කපා ඇස් දෙක මත තබා ගෙන විනාඩි 30 ක් පමණ ඉන්න.

නැවුම් තැඹිලි වතුර හෝ පොල්වතුර සතියකට වරක් මුහුණ සෝදා ගැනීමට යොදා ගත හැකිය. අතීතයේ සමහර ගම්බද ප්‍රදේශවල මනමාලියක් වන යුවතියට මාස 3ක පමණ සිට සතියකට වරක් දෙවරක් මුහුණ සේදීමට මෙය දී ඇත.

තැඹිලි වතුරවල විටමින් ඒ, බී, නිකොටොනින් ඇසිඩ්. බයොටින්, රයිබෝප්ලේවින්, ෆෝලික්ඇසිඩ් ආදි චර්මයට හිත විටමින ඇත. පොල්වතුරේ සරල අම්ල වර්ග ක්ලෝරයිඩ් සුළු ප්‍රමාණයෙන් අඩංගු වේ. එබැවින් ඔබේ සම පිරිසුදු කිරීමට යොදාගත හැකියි. සතියකට වරක්වත් තැඹිලි වතුර හෝ කුරුම්බා වතුර පොල්වතුර යොදා ගෙන මුහුණු සෝදා වෙනස අත්විඳින්න.

එසේම මීපැණිද සමට ඉතාම හිතකර ආලේපනයකි. පිරිසුදු මී බැණි, බිංදු කීපයක් මුහුණේ ආලේප කර පැය 1/2කින් පමණ සෝදා හරින්න.

ඔබට පැහැපත් සමක් ලබා ගැනීම සඳහා ගෙදරදීම සොයාගත හැකි ඖෂධ රාශියක ඇති අතර, ආලේපන වර්ග පැක් වර්ග භාවිත කරන විට සුදුසුකම් ලත් රූපලාවණ්‍ය ශිල්පියෙකුගේ හෝ වෛද්‍ය උපදෙස් මත එම ප්‍රතිකාර යොදා ගැනීමට වඩාත්ම සුදුසුයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ

දේශීය වෛද්‍ය පීඨයේ

වෛද්‍ය අනෝමා ගොඩගම්පල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.