අවුරුද්දට නැතිවම බැරි කැවුමේ

අප්‍රේල් 12, 2024

සිංහල අලුත් අවුරුද්ද හා කැවිලි පෙවිලි අතර පවතින්නේ ගහට පොත්ත මෙන් සහසම්බන්ධ වූ බැඳීමකි. අලුත් අවුරුදු කාලයට ලංකාවේ සිංහල-දෙමළ සෑම නිවෙසකම පාහේ ආහාර අනුභව නැකතේ දී කැවිලි මේසයක් තැබීම චාරිත්‍රයකි.

එමෙන් ම අලුත් අවුරුද්දට නෑගම් එන නෑදෑ හිතමිතුරන්ට ද එම කැවිලි මේසයෙන් සංග්‍රහ කිරීමට කිසිවෙකුත් අමතක කරන්නේ නැත. සිංහල අවුරුදු දාට සැකසෙන මේ කැවිලි වර්ගවලට ඇත්තේ ඉතා දීර්ඝ ඉතිහාසයකි. මේ අතුරින් සිංහල අලුත් අවුරුද්දේ සැකසෙන අපගේ විශේෂ රස කැවිලි වර්ගයක් ලෙස කැවුම් හැඳීන්විය හැකිය.

සිංහලයන් ආහාරයට සකසන කැවුම් වර්ග 18ක් පමණ ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි. මේ අතුරෙන් හැඳී කැවුම් , මුං කැවුම් , උළුඳු කැවුම්, කොණ්ඩ කැවුම්, නාරං කැවුම්, උඳු කැවුම්, දිය කැවුම්, පැණි කැවුම්, කුඩු කැවුම්, ගෑරුප්පු කැවුම්, පනා කැවුම් ආදී වශයෙන් ප්‍රධාන පෙළේ කැවුම් රැසක් අපගේ කැවිලි මේසය රස ගන්වයි. මේ අතර කොණ්ඩ කැවුම් විශේෂ වෙයි. එහි ඇති සිත් ගන්නා සුලු බවත්, රසවත් බව මෙන්ම පෝෂණ ගුණයත් මෙයට හේතු වේ.

අලුත් අවුරුදු කැවිලි මේසයේ පසුගිය වසර ගණනක් පුරා විවිධ කැවිලි වර්ග වෙනස් වී ඇතැම් කැවිලි නැති වී ගොස්, අලුත් කැවිලි වර්ග ඇතුළත් ව තිබුණත්, එදා මෙදා තුර වෙනස් නොවූ එක ම කැවිලි වර්ගය වන්නේ‍ කොණ්ඩ කැවුමයි.

අවුරුදු රස කැවිලි අතර කොණ්ඩ කැවුම් බෙහෙවින්ම ප්‍රමුඛ ස්ථානයක් ගනියි. කොණ්ඩ කැවුම් හා බැඳුණු ඉතා වටිනා හා පොහොසත් මෙන්ම රසයවත් සාහිත්‍යයක් අප සතුව තිබෙන බව හෙළ ජන සාහිත්‍යය, සංස්කෘතිය අධ්‍යයනය කරන විට පැහැදිලිව පෙනේ. අලුත් අවුරුදු උදාව, ගෙට ගෙවැදීම, විවාහ මංගල අවස්ථා, කොටහළු මංගල අවස්ථා, දරුවන්ට අකුරු කියවීම, දරුවන්ට ඉඳුල් කටගෑම ආදී සියලු සුබ මංගල අවස්ථාවන්හිදී මෙන්ම දානෙ ගෙදර, පිරිත් ගෙදර ආදී පුණ්‍ය කටයුතු අවස්ථාවන්හිදීත් සිංහලයන්ගේ රස කැවිලි අතර ප්‍රධාන තැනක් ගන්නේ මේ කැවුම් වන කැවිලි විශේෂය බව අපි කවුරුත් දන්නෙමු.

සියවස් ගණනාවක් අතීතයට යන කැවුමේ ඉතිහාසය, කැවුමේ  රසයට වඩා රසවත් බව ඒ පිළිබඳ ලියැවුණූ පතපොත ඇසුරු කිරීමේ දී පැහැදිලි වෙයි.

ඈත අතීතයේ පටන්ම සිංහල සිරිතට, සංස්කෘතියට අනුව අපගේ සෑම සුබ මංගල අවස්ථාවකදී මෙන්ම වෙනත් විශේෂ සුබ කටයුතු සිදුකරන අවස්ථාවන්වලදීත් අපගේ තේ මේසය රසවත් කළේ සිංහල රස කැවිලි අතර කැපී පෙනෙන කැවුම් බව පැහැදිලිව පෙනේ.

එවන් අවස්ථාවන්වලදී කිරිබත් කෙසෙල් ගෙඩි ආදී කෑම අතර ඉහළින්ම දැක ගත හැකි රස කැවිලි විශේෂය වූයේ ද කැවුම්ය. කැවුම් ගෙඩිය ගැන කතා කිරීමේදී එහි අතීතය කෙසේ වීදැයි සොයා බැලීම අත්‍යවශ්‍යය.

අවුරුදු සමයේ සෑම නිවෙසකම සැකසෙනු දැකගත හැකි මේ  කැවුම් ගෙඩිය පිළිබඳව අප දැන සිටිය යුතුමය. විද්වතුන් පවසන අන්දමට, කැවුම යන වචනය බැඳී ඇත්තේ කැවිල්ල යන වචනය සමඟිනි. මුල් කාලයේ දී පූප ලෙස හැඳීන්වූයේද කැවුම් බව ඔවුන්ගේ ගේ මතයයි. දුටුගැමුණු- එළාර ‍යුද්ධයේ දී තුවාල වන සෙබළුන්ගේ තුවාලවලට ඖෂධ ලෙස කැවුම් බැන්ඳා ය යන්න ඉතිහාසයේ සඳහන් වෙයි. එම කාලයේ කැවුම් ඉස්තරම්ම කිතුල් පිටි, හොඳ ම සහල්වලින් සකසන ලදී. ඒවායේ ඇති මනා ප්‍රතිශක්තිය නිසා මෙරටට පැමිණි වසංගත රෝග පවා පාලනය වූ බව සඳහන් වෙයි.

ඉතිහාස මූලාශ්‍ර අනුව කැවුම් හෙළ ජනයාගේ කැවිලි විශේෂයකි. අපේ අතීතයේ කැවුම්වලට විශේෂ තැනක් හිමි වූ බව ඉතිහාස කතා සාහිත්‍යයෙහි හමුවන කෘති  සාක්ෂි දරන බව ඉහත පවසන ලදී.

හෙළ රජ දවස රජවරුන්ගේ පළවෙනි රස කැවිල්ල වූයේ ද කැවුම් බව ඉතිහාස පතපොතේ ඇති කතාවලින් පැහැදිලි වේ. බෞද්ධ ජාතක කථා අතර මෙන්ම සෙල්ලිපිවලද කැවුම් පිළිබඳ විවිධ රසවත් කතා  ලියැවී තිබේ. උම්මග්ග ජාතක කතාවේ, කුස ජාතක කතාවේ කැවුම් ගැන රසවත් කතා තිබේ. ථූපවංශය වැනි වංශකථාවලද හෝපිටිගම සෙල්ලිපියේ ද අටුවා කතාවලද කැවුම් පිළිබඳ සඳහන්ය. කාලගෝල කතාවේ දික්තලා කැවුම් සාදාගෙන තම මවුපියන් බලන්නට යාම සඳහා ගංගාවක් අසලට පැමිණි බව සඳහන් වේ. එලෙසම කුස ජාතක කතාවේ කුස කුමාරයාගේ මුහුණ කැවුමකට උපමා කර තිබේ.

මසුරු සිටාණන් කෙනෙකු තම බිරිය සමඟ කැවුම් උඩුමහලට වී සැකැසූ අයුරුත්  මුගලන් හිමි විසින් එම ලෝභ සිටාණන්ව මෝහයෙන් මුදවා ගත් ආකාරත් කැවුම් පිළිබඳ සඳහන් කරමින් ජාතක කතා පුවතක සඳහන් වේ.

එලෙසම දුටුගැමුණු මහරජතුමා කරවූ රුවන්මැලි මහා සෑයේ වැඩ කළ සේවකයන්ට අතුරුපසට කැවුම් පිරිනැමූ බවත් ථූපවංශය සඳහන් කරයි.

රාජකීය කෑම වට්ටෝරුවෙහි කැවුම් තිබූ බව හෝපිටිගම සෙල්ලිපියේ සඳහන් වෙයි.

පාසාදිකා විනය අටුවාවේ රාජ සික්කා පදයෙහි එන අටුවා කතාවක ද කැවුම් පිළිබඳව කියැවෙයි.

තවද උම්මග්ග ජාතක කතාවේ මහෞෂධ පණ්ඩිතයන් අමරා දේවිය පිරික්සුවේ කැවුම් ඉවීමට සැලැස්වීමෙන් බව සඳහන්ය.

මේ ආකාරයට කැවුම් පිළිබඳව අතීතයේ පැවැති ඉහළම තත්ත්වය ගැන ජන සාහිත්‍යයේ මැනවින් පැහැදිලි වේ. බෞද්ධ සාහිත්‍යයේ එන පූජාවලිය ග්‍රන්ථයේ දී අනුරුද්ධ කුමරු ළමයින් සමඟ සෙල්ලම් කරන විට කැවුම්වලට ඔට්ටු අල්ලා පැරදුණේය. නිවෙසේ තිබූ කැවුම් ඉවර වී තිබුණු නිසා කුමරුගේ මව කුමරු රැවටීමට දාසියකගේ අත හිස් කැවුම් පෙට්ටියක් යැව්වේය. එහෙත් ඔහුගේ පින් බලයට ඒ හිස්ව තිබූ කැවුම් පෙට්ටිය කැවුමින් පිරී ගියේය. යනුවෙන් සඳහන් වෙයි.

කැවුම් වර්ග සහ කැවිලි වර්ග වැඩි වශයෙන්ම දක්නට ලැබී ඇත්තේ නුවර යුගයේ බවට සඳහන් වේ. මෙයට කදිම සාක්ෂි ලෙස ඓතිහාසික සිදුවීම් කිහිපයක්ම ගෙනහැර දැක්විය හැකිය. දෙවැනි රාජසිංහ රජ සමයේ දී ලන්දේසීන් උඩරට රජු හමුවීමට ආ අවස්ථාවක ඔවුන්ට කැවුම්වලින් සංග්‍රහ කළ බවත් කැවුම්වල රසයෙන් කුල්මත් වූ ලන්දේසීන් කැවුම් කවර නම් ගසකින් කඩා ගන්නා ගෙඩි වර්ගයක් දැයි විමසූ බවත් සඳහන් වෙයි. එලෙසම සිංහල කැවිලි පිළිබඳව ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස්ගේ ඒද ඩ්ඪඵබධපඪජචත අඥතචබඪධද ධට බඩඥ ධ්ඵතචදඤ ඛ්ඥරතධද (එදා හෙළදිව) ග්‍රන්ථයේ සඳහන් ද වෙයි.

තවද කැවුම් මනුෂ්‍යයන්ගේ පමණක් නොව දෙවියන්ගේද අගනා ආහාරයක් බව අපගේ පුද පූජා සහ වත්පිළිවෙත් ඉතිහාසයේ දක්නට ලැබේ. බුද්ධ පූජාවට මෙන්ම දේව පූජාව සඳහා ද කැවුම් යොදා ගනු ලැබේ. විවධ ශාන්තිකර්ම සඳහා ද කැවුම් භාවිතයට ගැනේ.

කෙසේ නමුත් ආවාට ගියාට කැවුම් සැකසිය නොහැකිය. ඒ සඳහා මනා පුහුණුවක් අත්ගුණයත් පැවැතිය යුතුමය. නියම පදමට පිටි මිශ්‍රණය සකස් කර ගැනීමෙන් කැවුම මනා ලෙස සකස් කරගත හැකි බව ගෘහිණියන් අත්දැකීමෙන් දනී. කැවිලි වර්ගවල ඇති කැවුම්වලින් වැඩි ම පරිශ්‍රමයක් යොදා සාදන කැවිල්ල කොණ්ඩ කැවුම බව සත්‍යයකි. පිටි මිශ්‍රණය පදමට අනා ගැනීමේ සිට, මිශ්‍රණය ටිකෙන් ටික තාච්චියට දමා කැවුමේ කොණ්ඩය සකසා ගැනීම දක්වා ඉතා ඉවසීමෙන් එය සිදු කළ යුතු ය.

කැවුම් පිසීම සඳහා, හාල් පිටි, පැණි හා පොල්තෙල් අත්‍යාවශ්‍ය වේ. හාල් පිටි හා පැණි මිශ්‍ර කොට නියම පදමට සකසා ගත් පිටි මිශ්‍රණයෙන් , උණු පොල්තෙල් සහිත තාච්චියකට ප්‍රමාණවත්ව වත්කොට බදිනු ලැබේ. කොණ්ඩ කැවුම් සෑදීමට (කොණ්ඩය ගැනීමට) ඉරටු කූරක් භාවිතයට ගැනේ. රන් වන් පැහැ වී බැදුණු පසු එය පිටතට ගනු ලැබේ.

ඉහත දැක්වූයේ සෑම අවුරුදු කෑම මේසයකම වාගේ දක්නට ලැබෙන මූලිකම කැවිලි විශේෂය වන කැවුම් පිළිබඳ ඉතිහාසයයි. ගැමි ගෙවල්වල කාන්තාවට කැවුම් පිසීමට හැකියාවක් නොමැති වීම අඩුපාඩුවක් ලෙස පැරැණි සමාජය සැලකූහ. අවුරුදු කැවිලි පෙවිලි සම්බන්ධයෙන් අතීතයේ ගෙවිලියන් අතර තිබූ දැනුම වර්තමානය වන විට කෙමෙන් කෙමෙන් අහිමී වී යන ආකාරයක් දක්නට ලැබෙයි. එබැවින් අතීතයේ සිට පැවත එන අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සේම අවුරුදු කෑම මේසය වර්ණවත්ව හැඩ ගැන්වූ , අපටම අනන්‍ය කැවිලි විශේෂයක් වන කැවුම් සාදා ගැනීම සහ ඒ පිළිබඳ දැනුම පරිහානියට යා නොදී රැක ගැනීම අනාගත පරම්පරාවලටද ඒ දැනුම දායද කිරීම අප සැමගේ යුතුකමකි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.