වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
කළු සිතිවිලි සුදු කරන බලි තොවිල්
ගලායන හිරු රැස් ටිකක් නතර වෙලා වගේ. හීල්මංජාමේ එළිය ලෝභකමින් වාගේ බලිපොළේ වැතිර යමින් ඇඹූ බලි මත තැවරී ගිය ආලෝකය ඒ ඒ පාට වෙන් කරලා පෙන්වමින්, තැවී ගිය කෙසෙල් පිති තවත් තද මළානික වෙලා. ඒ මත වැටුණු එළිය සුන්දර පරාවර්තනයක් කරනවා හීංවට වැටෙන ළා හිරුපානට. මුළු පළාතම නිහඬයි. බලි පොළින් මතුව එන්නේ නිවී පහන් වී ගිය විරාමයක්.
ගෙදර ගිහි පිරිතක් තිබුණා වගේ. පූළුටක් නෑ. පිළිහුඬුවක් නෑ,ඍලිප තැබී. සුරාවක් නෑ කට තබා. අනිසි වදනක් නැහැ දොඩා.
බුදුගුණ ගැයුමෙන් රැය පහන් වී නිවී සැනහී ගිය සිත් ඇතුව පිබිදුණු ආතුරයා උදේ රැයින් ගලා යන දියෙන් නාවා යන්නේ සියලු හෝ අපල ඇස්වහ, කටවහ, නවග්‍රහ දෝෂ දූරීභූත වෙලා යන්නට වාගේ. උදේ පාන්දර බලි ඇදුරන්ට කිරිබත් පිළිගැන්නුවේ පන්සලේ හාමුදුරුවන්ටත් වඩා බය පක්ෂපාතව වගේ.
ඒ කවුරුත් ඇදුරන්ට ඇති බිය හා සැකය නිසා. ඒත් බලි ඇදුරෙකු කරන්නේ දේව ශාන්තියක්. ඔවුන් දේව දරුවෝ. දෙවියන්ගෙන් කැප ගන්නෝ. ඒ නිසා ඔවුන් සෙත් කවියක් විනා වස් කවියක් නොවේ. එහෙත් සාමාන්‍ය මිනිසා යකැදුරන් කෙරෙහි බිය වෙයි. “හූනියමක් කරයි”, “යකෙන් බන්දයි”, “පිල්ලියක් එවයි”, එවන් බියක් සාමාන්‍ය ජන විඥානය අතර මුල් බැහැ ගෙන වේවා සාමාන්‍ය ජනී ජනයා අතර එවන් විශ්වාසයක් ගොඩනැඟී ඇත්තේ කෙසේද? ඒ මත කිසිම සත්‍යතාවක් නොමැත්තේ නම් පරම්පරාවෙන් පරම්පරාවට, දේශයකින් දේශයකට, බසකින් බසකට, ආගමකින් ආගමකට එවන් සිතුවිලි සංක්‍රමණය වෙන්නේ කෙසේද? එතැනදී භූතයෝ, යක්කුª, පිසාචයෝ, දෙවියෝ අපට කියා දෙන්නේ මහා දිග කතාවක්. ඒ කතාව අහගෙන අපි එය නොදන්නා ලෙස ඉන්නවා. එසේ ඉඳගෙන අපි එයට දොස් තබනවා. හෙළා දකිනවා. එසේ කිරීමෙන් අපි එයට වඩා ඉහළයි කියා පෙන්වනවා. මෙය විකල්පයක් නැති, පැවැති එම විශ්වාස හා ඇදහිලි පිළිබඳව අවංකව හැදෑරීමක් නැතිකම නිසා සිදුවන්නක් නොවේද?
එම සිදුවීම් නොඑසේ නම් එම අභිචාර විධි පිළිබඳව පුළුල් සංවාදයක් අද ඇතිවිය යුතුය. වත්මන් සමාජය අද සාකච්ඡා කරන්නේ කෘතිම බුද්ධිමතකු බිහිකිරීම (Artificial Intelligence) ගැනය. එහෙත් අපි අපගේ සංස්කෘතික මිනිසා නිර්මාණයෙහිලා ඔහු වටා ඇති පාදම විවර කර ගන්නේ නැත. එය අධ්‍යයනය කිරීමට යන්නේ නැත. එය මිනිස් මනසට ප්‍රත්‍යක්ෂ කරගත නොහැකි යථාර්ථයක් නොවේ. එය ස්වභාවික ලෝකය ඇසුරෙන් උපන් සන්තානමය සංසිද්ධීන් පිළිබඳව මේ ලෝකයෙන් එහා ලොවකට මිනිස් මනස රැගෙන යාමෙකි. භූතයෙකු ගැන කතාකරද්දීම ඔහුට වෙනව ම ලෝකයක් මවා දුන්නේ මිනිසා මිස ඔවුන් නොවේ. දෙවියන්ට සේම යකුන්ට ද එසේමය. එහෙත් අප අතර යක්කු, භූතයන් සේම පේ‍්‍රතයන් ද, දෙවියන් ද සිටින බව අපි පිළිගන්නේ නිර්මාණ සාහිත්‍යයේදී පමණකි. එහෙත් මේ සියල්ල මිනිස් මොළයේ ඇතිවූ භූත හා අභූත සිතුවිලිය. එම සිතුවිලි විසින් ඔවුන් මැවීම ද පාට ගැන්වීම ද, හැඩතල මතු කිරීම ද, නඩත්තු කිරීම ද කළේ මිනිසාමය. එහෙත් එය ආචීර්ණ කල්පිත නූගත් මතවාදයක් සේ නොසලකා එම සන්නිවේදනයේ ඇති ගැඹුරු සහ අවාචික සන්නිවේදනය අප විසින් අද අවබෝධ කරගත යුතුය. එය අධ්‍යයනය කළ යුතුය. එසේ නොවන්නට අද්‍යතන මිනිසා මවනු ලබන්නේ අද්භූත ලෝකයකි. එය බෙහෙවින් බියකරු විය හැකිය. එසේම රුදුරු විය හැකිය. ඒ සියල්ල මැඬගෙන එය ව්‍යාපාරික තෝතැන්නක් කරගත හැකිය.
සම්ප්‍රදායික නර්තන ශිල්පීන් ප්‍රදර්ශනය උදෙසා හෝ සිය ශිල්පය සංචාරක හෝටලයට, මහ මාවතට, වේදිකාවට අත්‍යවශ්‍ය ලෙස ගෙනාවේ නැත. එසේ කළේ ඔවුන් වෙනස් වන සමාජය සමඟ පෙරට යාමේ වැදගත්කම නොදැන නොවේ. එසේ සිදුවීමෙන් ශිල්පයේ ඇති ගෞරවාන්විත බව සේම එහි අන්තර්ගතය ද කෙමෙන් කෙමෙන් විනාශ වී යා හැකි බැවිනි.
අපි එය අද භුක්ති විඳිමින් සිටිමු. දෑස පුරා දකිමින් සිටිමු.
මේ නිසා වර්තමානයේදී යකැදුරා යනු ඇප නූලක් දමන්නාය. බලි ඇදුරා යනු සාත්තුවක් පමණක් කරන්නාය. එහෙත් අය කිරීම එදා තොවිලයකට වැයවූ මුළු මුදල් මෙන් විශ්වාස කළ නොහැකි ගුණයකින් වැඩි වී ඇත. නැවත මේ සියලු ශිල්පීන් විසින් විචිත්‍රවත් කළේ එදා පැවැති සමාජයයි. එම සමාජයේ අවශ්‍යතාවයි. ඇයි අපට නොහැකි ඔවුන් එසේ වූයේ කෙසේද? ඇයි ද යන්න ගැඹුරින් විමසා බලන්නට. දියුණු මනසක් ඇති උගත් මානවයා කෘත්‍රිම බුද්ධිමතෙකු යන්ත්‍රානුසාරයෙන් නිපදවන්නට උත්සාහ ගනිද්දී අපගේ සාහිත්‍යය තුළ අස්පර්ශනීය සන්නිවේදනය තුළ මුල්බැස ඇති අභිචාර විධි, ශාන්ති කර්ම, හදි හූනියම්, පිල්ලු පැන්නුම් ගැන තවමත් අපි සොයා නොබලන්නේ ඇයි, අපට එම ශිල්පීය විශේෂතා ලෝකයා ඉදිරියට ගෙන යා නොහැක්කේ ඇයි? එය වෙළඳාමක් කර නොගෙන එම මත විමසා බැලීම මඟින් නවීනතම ලෝකයාට අලුත්ම ශිල්පීය ඥානයක් දිය හැකි නොවේ ද?
අන්‍යදේහ ප්‍රවේශය ගතහොත්, නොපෙනීයාම ගතහොත් යන්ත්‍ර මන්ත්‍ර වශයෙන් මුදාහරින රශ්මි තරංග ගැන කිවහොත් එය වෙළෙඳාමක් නොකොට ආදායම් මගක් කර ගත හැකිය. එය ලාභ ප්‍රයෝජනයට එහා ගිය අපේකම ලෝකයාට දීමකි. හුදු නූගත් බවක් ලෙස හංවඩු ගැසූ ග්‍රාමීය ශිල්පයක ඇති විශ්ව මතවාද සහ පිළිගත හැකි තර්කය ලෝකයට ලබා දීමෙනි. ආතුරයකුට “ඇප නූලක් දැමීම, දෙහි කැපීම, මුරුංගා අත්තක් ගෙන මැතිරීම, තෙල් සාත්තුවක් කිරීමක්, බටහිර නවීන විද්‍යාවට හුරු වූවෙකුට වැදි ක්‍රියාවෙකි. එහෙත් සිංහල බුදුදහම සමඟ ජීවත් වන අයෙකුට අනුව එය අරුමයක් නොවේ. බලි ඇදුරා කරන්නේ බුදුගුණ ගායනයෙන් රෝගියාගේ මනසට නිරවුල් කරවීමයි.
යකැදුරා විවිධ යක් වෙස් රැගෙන වර්ණාලෝකය යොදා ගනිමින් කරන්නේ දිගු කාලයක් පුරා මිනිසාගේ මනසේ රඟදැක්වූ සිතුවිලිවලට හරයක් ලබාදීමය. කළු වූ සිතුවිලි සුදු කරවීමයි. නැතිනම් දුරස්ථ කරවීම හෝ නැතිකර දැමීමයි.
එය පුරසාරමක් නොවේ. එහෙත් පුරාණෝක්තියක් විය හැකිය. එහෙත් ආදිකාලීන මිනිසාගේ බුද්ධි මහිමය එහි ඇත. ඒ නිසාම ඔහු තත්කාලයේ මෙරට සමාජයේ සිටි දක්ෂ ගැඹුරු කැපවීමක් තිබූ මනෝ චිකිත්සකයෙකි මනෝ විශ්ලේෂකයෙකි. එසේම මනෝ වෛද්‍යවරයෙකි. එම ක්‍රියාවේදය සපුරා නොදැන මෑතකාලීනව එම සිදුවීමට ඈදුණු වශාලාප පමණක් දැන සිටීමෙන් ඵලක් ඇති නොවේ. අපි සෙවිය යුත්තේ එයයි.