කොණ්ඩදෙණියේ හිමිවරුන්ගේ අපූරු සිහින

ජනවාරි 26, 2024

කොණ්ඩදෙණිය නායක හිමියන් සාමණේර කාලයේ වැඩ විසුවේ මහව, යාපහුව ආසන්න වෙහෙරගල පන්සලකය. එහි එවකට නායක හිමියන් වූයේ පසිල්ලේගල ගුණාංග හිමිය. එහි විසූ කඩම්බාවේ සීලරතන පොඩි හාමුදුරුවන් තම පාරම්පරාවෙන් ආවේණිකව පැවත ආ පුස්කොළ පොත්වල ලියවුණු යන්ත්‍ර මන්ත්‍ර කියවීමට මහත් රුචිකත්වයක් දැක්වීය.

එහෙත් නායක හිමියන් පොඩි හාමුදුරුවන්ගේ මේ ක්‍රියා කලාපයට වැඩි මනාපයක් දැක්වූයේ නැත’

‘මොකද සාමණේර උන්නාන්සේ මේ කරන වැඩේ තේරුම’

උදේ ඉඳල රෑ ජාමේ වෙනකම් බණ පොත් කියවනව නොවෙයි. යන්තර මන්තර කට පාඩම් කරනව නේද? ‘මම ඕකට නම් කැමැති නැහැ’

‘නායක හාමුදුරුවනේ, ගුරු පරම්පරාවෙන් ලද යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලින් කාට හරි උදව් පදව් කරන්න පුළුවන්නේ”

“ තමුන්ගේ කතාවලින් මට වැඩක් නැහැ’ අපි මුළු දවසම ගත කරන්න ඕනෑ. අපේ දායකයන්ගේ දුක සැප බලන්න” “තමුන්ට තියෙන්නෙ පන්සල දියුණුූ කරගෙන ඉන්න මිසක් හදි හූනියම් යන්තර, මන්තර ගැන හිත හිතා ඉන්න එක නම් නොවෙයි”

සාමණේර හිමියෝ මින් වඩාත් කනස්සසල්ලට පත්විය.

ලොකු හාමුදුරුවන්ගේ අපූරු ස්වප්නය

දිනක් වෙහෙරගල පන්සලේදී සාමණේර හිමියන් අපූරු සිහිනයක් දුටුවේය. එය අපූරු සහ චමත්කාර එකක් විය. සුදු වර්ණයෙන් සැරසුණු එක් අතක සැරයටියකුත් අතින් අත දිලිසෙන රත්තරන් කෙණ්ඩියකුත් ගත් මහත්වූ තේජෝ බලපරාක්‍රමයෙන් යුතු තාපසයකු බඳු අමුත්තෙක් පැමිණීය. එතුමා තෙවරක් වෙහෙරගල පන්සල වටා පැදකුණු කොට දකුණතින් සීලරතන හිමියන්ගේ අත අල්ලාගෙන වෙහෙරගල පන්සලෙන් පිටත්වී ඉතා දුෂ්කර කැළෑ පාරවල් ඔස්සේ සැතැපුමක් පමණ පයින්ම ගොස් ගල් පර්වත ඇති ප්‍රදේශයක ගල්ගුහාවක් අසල නතර විය.

‘මම මෙතැනට ඔබ වහන්සේ එක්කරගෙන ආවේ වැදගත් දෙයක් පෙන්වන්නයි’ ඔබ වහන්සේ පෙර ආත්ම ගණනක ඉඳලා මහ කුසල් කරපු උත්තමයෙක්.’ ‘මේ රටේත් දේශ දීපංකරේත්. නමක් තියන්න පුළුවන් වීරයෙක්’ ඔබ වහන්සේ වෙනුවෙන් මෙහි තියෙන නිධානය භාරගන්න ඕන. ඒ නිධානය මෙච්චර කාලයක් ආරක්ෂා කළේ විශාල සුදු නාගයෙක්. හරියටම හෙට ඉර මුදුන් වන විට මේ නාගයා මෙතැනින් එළියට යනවා. ඉතින් ඔබ වහන්සේ මෙතැනට ඇවිත් ඒ නිධානය භාර ගන්න ඕන’ එසේ පවසනවාත් සමඟම තාපසවරයා අන්තර්දහන් විය.

හිටි හැටියේම අවදි වූ උන්වහන්සේ පසුවදාම සිහිනෙන් කළ මඟ සලකුණු ඔස්සේ නිධානය සොයා යාම ආරම්භ කෙරූහ. කැළෑ දුෂ්කර මාර්ග ඔස්සේ මහා වර්ෂාවක් මැද්දේ මේ ගමන යාමට සිදු විය. කොණ්ඩදෙණිය ප්‍රදේශයේ මහ ගල්කුළක් අසලට සාමණේර හිමියන් වැඩම කරනවාත් සමඟ මහා වර්ෂාව දෙගුණ, තෙගුණ විය. ඒ සමඟම හෙණ හඬ පතුරුවමින් විශාල අකුණක් ගල් පර්වත ලෙනට වැදුණි. ඒ සමඟම ස්වභාවිකවම ගල්ලෙන අපූර්ව හාස්කමක් පරිද්දෙන් දෙකඩ වී දෙබෑ වී ගල්ලෙනින් ගල් දොරටුව හාමුදුරුවන් අබියසදීම විවෘත විය.

එය තුළ රත්තරනින් නිම කළ බුද්ධ ප්‍රතිමාවක්, යන්ත්‍ර, මන්ත්‍ර ශාස්ත්‍රය අඩංගු විශාල පුස්කොළ පොත් රැසක්ද, සිංහ තෙල් අඩංගු බෝතල් කිහිපයක්ද, වෙනත් පූජා භාණ්ඩ රැසක්ද දක්නට ලැබිණි.

ගල් කුළ ඉදිරියෙහි පැරණි නෂ්ඨාවශේෂව පැවතුණු බුදු ගෙය තුළ මේ නිධානය තැන්පත් කළ හිමියන් කිසිවක් නොදන් අයකු මෙන් වෙහෙරගල පන්සලට වැඩම කළහ. පසුව නායක හිමියන්ගේ දෙපා නැමැද තමන් වහන්සේට වනගත තපස් දිවියක් ගත කළ යුතු යයි පවසා ඊට අවසරය ලබා ගත්හ.

නැවත කොණ්ඩදෙණියට පසු දිනම වැඩම කළ උන්වහන්සේ ගල්ලෙන අබියස ගම්මුන්ගේ උදව් උපකාරයෙන් දින 2ක් ඇතුළත කටු මැටි බිත්තියෙන් නිම කළ පුංචි ආවාස ගෙයක් ඉදි කර ගන්න. තමන් වහන්සේ පෙර ආත්මභාවයන්ගෙන් ලද මෙම ආශිර්වාදය තම අසල්වැසි ජනතාවට සේවයක් ඉටුකිරීමට තදින් අධිෂ්ඨාන කර ගත්හ.

වත්මන් කොණ්ඩදෙණියේ රජමහා විහාරයේ විහාරාධිපති කඩම්බාවේ අනුරුද්ධ හිමියන් ඥාතීත්වයෙන් මුත්තණුවන් වූ කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගෙන් දායාද වූ සිංහතෙල් අඩංගු ඉතා වටිනා තෙල් බෝතල් දෙකක් තවමත් උන්වහන්සේ සතුව පවතියි. එය දැක බලා ගැනීමට මමද භාග්‍යවන්ත වීමි.

රත්රන් සුරයක බහා එම සිංහ තෙල් බිඳක් ගෙන එය ජීවම් කොට උන්වහන්සේගෙන් මා වෙතද ලැබුණි. මම එය තවමත් සුරක්ෂිතව තබා ඇත්තෙමි. එය මහා බලපරාක්‍රමයෙන් යුක්ත බව මා හට පසක් වුණි.

පොඩි නමගේ සිහිනයේ අරුත

කොණ්ඩදෙණිය පොඩි හාමුදුරුවන් කඩම්බාවේ අනුරුද්ධ හිමියන් මහණවීමට පෙරාතුව කුඩා අවධියේදී පටන් තම කිරිඅප්පා නැතහොත් මුත්තණුවන් වූ කොණ්ඩදෙණිය සීලරතන හිමියන් ඇසුරේ වැඩෙන්නට විය. බොහෝ දිනවල සීලරතන හිමියන්ගේ කාර්යාල කාමරයේ සිටියදී එහිදී නින්ද ගිය අවස්ථා බොහෝය. එවන්විට එවකට දායක සභාවේ සභාපති වශයෙන් කටයුතු කළ ඩී.එම්. සිරිසේන මහතා විසින් මේ කුඩා දරුවා නින්දෙන්ම ඔසවා ගෙන ගොස් කුඩා ඇඳක නිදා ගැනීමට ඉඩකඩ සලස්වන ලදී.

එක් දිනක් තම කිරිඅප්පා සමඟම සිට නින්ද යාමට මොහොතකට පෙර කොණ්ඩදෙණියේ සීලරත්න හිමියන් සමඟම වයස යන්තම් අවුරුදු 7ක් පමණ වූ මෙම දරුවාට අසල ඇඳකින් තබා රෙද්දකින් පොරවා තැබුවා පමණි. කුඩා දරුවාට නින්දත් නොනින්දත් අතරදී ශෝභමාන ස්වප්නයක් දකින්නට විය.

එක් පැත්තකින් සුදු රෙදි ඇඳ පැලඳ අති ශෝභමාන දිව්‍යාංගනාවක් බඳු කාන්තාවක් තමන් දෙස අත දිගුකරමින් සිට ඇත. අනිත් පැත්තෙන් තවත් එබඳුම අති ශෝභමාන දිව්‍යාංගනාවක් බදු රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී සිනහ මුසුව තමන්ව වඩා ගැනීමට ළංවත්ම දරුවා උඩ බැලීය. අති අලංකාර බුදුරුවක් අහසෙහි ඉහළින් දිස්විය . එය ඉතා චමත්කාරජනක විය. ඒ මොහොතේම අවදි වූ දරුවා

‘කිරි අප්පේ’ – ‘කිරි අප්පේ කියා මහ හඬින් කෑගසන්නට විය.

එතැනට කඩිනමින් වැඩිය කොණ්ඩදෙණිය සීලරතන හිමියන්ද එහි සැපැමිණි සිරිසේන මහතාද ඉදිරියේ තමා දුටු මේ සිහිනය දරුවා විස්තර කරන ලදී.

වහාම ක්‍රියාත්මක වූ කොණ්ඩදෙණිය සීලරතන හිමියන් නූලක් මතුරා දරුවාට දැමීය. මීට පස්සේ කාලිඅම්මායි, පත්තිනි දේවියෝයි පුතාට කරදරයක් වන එකක් නැතැයි පැවසීය.

පසුකාලීනව වයස අවුරුදු 12 දී මෙම කුඩා දරුවා කඩම්බාවේ අනුරුද්ධ හිමියන් නමින් සසුන් ගත විය.

අද දක්වාම එම සිහිනය වත්මන් කොණ්ඩදෙණිය රජමහා විහාරාධිපති අනුරුද්ධ හිමියන්ගේ මතකයේ රැඳී පැවතුණි. කාලිමෑණියන්ගේ සහ පත්තිනි දෙවියන්ගේ සියලු රැකවරණ හා ආරක්ෂාව ලැබෙන බවටත් බුදුරුවක් අහස් කුසෙහි වැඩම සිටි ආකාරය දැක්මෙන් අනාගතයේදි මේ දරුවා සසුන් ගතවී යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඇසුරින් ඡ්‍යොතිෂ්‍ය නමැති අඹරේ දිදුළන තරුවක් බවට පත්වීමේ පෙරනිමිත්තක් ලෙස විග්‍රහ විය.

උන්වහන්සේ එය අද සනාථ කරමින් ඉතා නිහඬව උදාර සේවාවක් තම ජනතාවට සිදු කරනු ලබති. කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් කොණ්ඩදෙණිය පූජාභූමිය සොයා ගැනීමේ ස්වප්නයද මේ හා සමාන යැයි ඒ පුවත ඇසූ මට සිතුණි.

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර් / ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.