කැලණිපුර සුරකින විභීෂණ දෙවි රුවන

ජනවාරි 19, 2024

අනන්ත තේජෝ බල පරාක්‍රමයෙන් යුත් රාවණ රජුගේ බලය, ආඥාව උතුරු ඉන්දියාවේ හිමාලය තෙක් පැතිර පැවතිණි.

ඉන්දියාවේ ඇතැම් පෙදෙස් පාලනයටත් තානාපති පදවිවලටත් තමන් වෙනුවෙන් කාන්තාවන් පවා පත්කොට තිබිණි. සුපර්ණිකා එබඳු ප්‍රතිරාජ ධුරයක් දැරූ අතර ඇය රාවණ රජුගේ සොහොයුරියකි.

අයෝධ්‍යාධිපති දසරථ රජුගේ අණසක වශයෙන් රාම කුමරු සිය බිරිඳ සීතා දේවිය සමඟ වනාන්තරගත විය. මෙහිදී රාම කුමරුන්ගේ සහෝදර ලක්ෂ්මණ කුමාරයාද ඔවුන් හා කැටුව ආහ.

ලක්ෂ්මණ ද රාම ද යන දෙදෙන වශිෂ්ට හා විශ්වමිත්‍ර ගුරුවරුන්ගේ ශිෂ්‍යයින් වශයෙන් සියලු ශිල්ප යුද්ධ කාර්යයන් පිළිබඳ පෘථුල වැටහීමෙන් යුක්තයහ. මේ ලක්ෂ්මණ රටින් බැහැරව සිටියදී රාවණ ගෝත්‍රිකයින් හා යුද වදින්නට සිදුවිය. මෙහිදී රාම පක්ෂය රාවණයන්ගේ බර නම් සේනාධිපති පරාජය කළේය. එසේම ඉන්දියාවේ ප්‍රතිරාජ ධුරයක් දැරු රාවණයන්ගේ සොයුරිය සුපර්ණරේඛාවන්ගේ නාසය කපාලමින් වධ දී ඇය විරුපී බවට පත් කළේය.

නැඟණියට කළ අපරාධය තමනට කළ මහා අවමානයක් සේ කෝපයෙන් රාවණ රාම හා යුදයට පිවිස තම සොහොයුරියට කළ අපරාධයට පළියක් වශයෙන් රාමයන්ගේ බිරිඳ සීතාවන් පැහැර ගෙන ආහ. සීතාවන්ට කිසිදු හිරිහැරයක් නොකොට ආරක්ෂිතව සඟවා තැබූහ. රාම ලක්ෂ්මණ ගෙන්වා ගැනීම අරමුණ විය. ඔවුහු සටනට පිවිසියහ. එහෙත් දසවසකට ලංකාව ආක්‍රමණය කළ නොහැකිව රාමේශ්වරයෙහි බලා සිටියහ. ඒ රාවණ රකුස් බලයෙන් ලංකාව ආරක්ෂිත හෙයිනි. මෙහිදී රාවණගේ සොහොයුරු විභීෂණ සතුරු පිලට එක් විය. විභීෂණයන්ගේ උදව් උපකාර නිසා රාමපක්ෂයට ලංකාව ආක්‍රමණය කළ හැකි විය. විභීෂණයන්ගේ ඒ ක්‍රියාවලිය නිසා වානර සේනාව රාමේශ්වර සිට වහා ලංකාව ආක්‍රමණය කොට ලක්දිව වනසන්නට විය. ගිනි තබන්නට විය. රාවණ සහ ඔහු පුත් ඉන්ද්‍රජිත විනාශ කළහ.

මේ අති භයංකර යුද්ධයට සෑම අතින්ම උදවු කළ විභීෂණයන්ට ලංකාව පාලනය රාමයන් විසින් භාර කොට සිය සේනාවන් සමඟ ඉන්දියාවට ගිය අතර විභීෂණ කැලණිය තම රාජධානිය කර ගනිමින් දශරාජ ධර්මයෙන් ලංකා රාජ්‍යය පාලනය කරන්නට විය. ධාර්මික ගුණාංග ඔස්සේ කාගේත් සිත් සතන් පහදවමින් ගෙන ගිය පාලනය ප්‍රශස්ත විය. මේ විශිෂ්ටත්වය නිසා විභීෂණ නම් වූ පාලකයා මිය ගිය පසු දේවත්වයේ ලා සලකන්නට විය.

ජන සමාජයක අතිශය වැදගත් කාර්ය භාරයක් ඉටු කරමින්, ජනප්‍රසාදය දිනූ තේජෝබල පරාක්‍රමයෙන් යුත් ධීරවීර ගුණයෙන් අනූන ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ඔවුන්ගේ මරණයෙන් පසුද ජන හදවත්හි ජීවත්වෙයි. ඔහු වෙනුවෙන් ගෞරව බහුමාන පවත්වයි. කෘතවේදී ජනතාව ඔවුන් දේවත්වයෙහි ලා පුද සිරිත් පවත්වති. මින්නේරි දේවි, රාසිං දේවි, ආදිහු එබදුන්හ.

උලකුඩය දේවියට පුත් රුවනක් ලබා දෙන ලෙස ඉල්ලමින් කැලණියේ විභීෂණ දෙවියන් වෙත හසුන් ගෙන යන සැලළිහිණියාට විභීෂණ දෙවියන් පිළිබඳ විභීෂණ කාව්‍යමය ප්‍රකාශනයක් තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියෝ සැලළිහිණි සන්දේශයෙහි දක්වති. එහි විභීෂණ දිව්‍ය රාජයා පුලස්ති ඍෂිවරහුගේ වංශයෙහි වූ රාවණ රජුගේ සොහොයුරු බව ද, රාම කුමරුගේ කල්‍යාණ මිත්‍රයෙකු බව ද යනාදි තොරතුරු වෙයි.

‘තුන්ලෝ තමා නතු කළ රවුළු සොහොවුරු

තුන් කල් බලා රමිදුටුවු ඉටු මිතුරු

තුන්වේ ඇදුරු පුලතිසි කුල මිණි මිතුරු

තුන් විටෙකම වඳු ඒ සුරිඳු පා තඹුරු

(සැලළිහිණි සංදේශය 91 පද්‍යය)

කැලණිපුර අධිපතිව පාලනය ධාර්මිකව ගෙන ගිය විභීෂණ දෙවියන් උදෙසා ඓතිහාසික කැලණි රජ මහා විහාරය සම්බන්ධ වීමට විභීෂණ දේවාලය වන්නේය. ප්‍රධාන දේවාලය කැලණියේ වුවද විභීෂණ දෙවියන් පිළිබඳ දේවාල දිවයින පුරා බොහෝ වන්නේය. ප්‍රාග් බෞද්ධ සමයේ සිටම අප රට ජනතාව අතර වැඩියෙන් පුද පූජාවනට ලක්වන දෙවියෙකි. බෞද්ධ සාහිත්‍යයේ ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සතරවරම් දෙවිවරු වෙති. එසේ වුවද ලක්දිව සතර දිශාවට අධිපති දෙවිවරුන් ලෙස දෙවිනුවර, විෂ්ණු කැලණියේ – විභීෂණ, සබරගමුවේ සමන් හා කතරගම, කන්දකුමාර, යන දෙවිවරු සඳහන් වේ. කැලණිය ප්‍රධාන ස්ථානය වුවද දිවයින පුරා සියල්ලන්ගේ පුදපූජාවලට ලක්වන බලය පතුරුවන දෙවියෙක් ලෙස විභීෂණ දෙවිඳු පෙනේ.

එදා තොටගමුවේ ශී‍්‍ර රාහුල මාහිමියන් උලකුඩය දේවියට පුත්රුවනක් ලබා දෙන්නැයි ඉල්ලීම් කළා සේ අද ද ශ්‍රී ලාංකික ජනතාව විභීෂණ දෙවිඳුන් වෙත සිය දුක් ගැනවිලි ප්‍රශ්න යොමු කරමින් සෙත අභිවෘද්ධිය අපේක්ෂා කරති. කැලණිය විභීෂණ සුරිඳුන් රුව අබියස මෙබන්දන් නිරන්තර දක්නට ලැබෙන අතර විභීෂණ දෙව් බල මහිමය ඔවුහු මහත්සේ පිළි ගනිති.

ආචාර්ය සිරිපාල මාදුවගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.