වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
දැනුමෙන් කෙරුමෙන් සමාජයට සේවය කරන ප්‍රවීණ ඡ්‍යොතිෂෙවිදියා අමුවල අමරසේන
ඡ්‍යොතිෂ ශාස්ත්‍රයටත් සාහිත්‍ය කලාවටත් ඒ ඔස්සේ සමාජයටත් සිදු කළ සේවය නිසාම කලාභූෂණ, කාව්‍ය ශිරෝමනී, සබරගමු වංශාභිමානි, කිවිපති යනාදී ගෞරව නාමයන් රැසකින් ඔහු පිදුම් ලබා ඇත්තේය. අමුවල අමරසේනයන් අද ද නිර්ලෝභීව තම ඡ්‍යොතිෂ ශාස්ත්‍ර ඥානය සමාජයට දායාද කරමින් සිටින්නේ ආධුනික ඡ්‍යොතිෂවේදීනට ද මනා ආදර්ශයක් ලබාදෙමිනි.
ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ දිදුළන නාමයන් අතරට නිතැතින්ම එක්වන්නෙක් ලෙස අමුවල අමරසේන නාමය හැඳින්විය හැකිය. එසේ වන්නේ ඔහු ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ඔස්සේ සිදු කළ හා සිදුකරමින් සිටින සේවය සමාජයේ පැසසුමට හා ඇගැයුමට ලක්ව ඇති බැවිනි.
ඡ්‍යොතිෂ ශාස්ත්‍රයටත් සාහිත්‍ය කලාවටත් ඒ ඔස්සේ සමාජයටත් සිදු කළ සේවය නිසාම කලාභූෂණ, කාව්‍ය ශිරෝමනී, සබරගමු වංශාභිමානි, කිවිපති යනාදී ගෞරව නාමයන් රැසකින් ඔහු පිදුම් ලබා ඇත්තේය. අමුවල අමරසේනයන් අද ද නිර්ලෝභීව තම ඡ්‍යොතිෂ ශාස්ත්‍ර ඥානය සමාජයට දායාද කරමින් සිටින්නේ ආධුනික ඡ්‍යොතිෂවේදීනට ද මනා ආදර්ශයක් ලබාදෙමිනි. මේ ලියැවෙන්නේ මේ ප්‍රවීණ ඡ්‍යොතිෂවේදියාණන් පිළිබඳ කතාවයි.
උපත
රත්නපුර දිස්ත්‍රික්කයේ අමුවල ගම් පියසේ දිවි ගෙවූ පාරම්පරික වෙද පවුලකි. ඒ පවුලේ ප්‍රධානියා වෛද්‍ය මන්ත්‍රාචාර්ය අමුවල ගමගේ පොඩි අප්පුහාමි මහතාය. ඔහු එම ප්‍රදේශයේ නම ගිය ඡ්‍යොතිෂ මන්ත්‍රාචාර්යවරයකු සේම දේශීය වෙදකම ප්‍රගුණ කළ වෙදැදුරෙකි. ගමේ කාට හෝ අසනීපයක් ලෙඩක් දුකක් වැලඳුණහොත් බෙහෙතක් හේතක් ගැන්මට පමණක් නොව ශාන්ති කර්මයක් සිදුකළ යුතු තත්ත්වයක් උදා වූ විට එය සිදුකර ගැනුමට ද අමුවල පොඩි අප්පුහාමි මහතා වෙත පිය නඟන්නට එගම් වැසියෝ දෙවරක් නොසිතූහ. එතරම්ම අත්ගුණයක් සහිත වෙදහෙදකමක් පොඩි අප්පුහාමි මහතා සතු විය. පොඩි අප්පුහාමි මහතාගේ බිරිඳ වනසුන්දර ආරච්චිලාගේ බාලවතී වනසුන්දර වූවාය. ඔවුන් දෙපළට 1941 ජනවාරි 19 වැනිදා සුවිශේෂී දිනයක් විය. ඒ තම කුලුඳුල් දරුවා උපත ලද දිනය වීමයි. කුලුඳුලේම පුත් රුවනකගේ කිරිසුවඳ විඳින්නට ලැබුණු මේ මව්පිය යුවළ සතුටට පත්වූහ. තම කුඩා පුතුට අමරසේන නාමය තැබුවේ ය. වේලාපත්කඩය සුබය. සමාජයට සේවය කරන ඡ්‍යොතිෂවේදයෙන් ඉදිරියට යන රජයේ රැකියාවකට උරුමකම් කියන බව මේ දරුවාගේ කේන්දරයේ ග්‍රහපිහිටීම් අනුව පොඩි අප්පුහාමි මහතාට අවබෝධ විය. ඒ අනුව කුඩා පුතුට සිප් සතර හැදෑරීමට අවැසි සියලු පහසුකම් ලබා දුන්නේ ය. තම බාල කාලය සිහිපත් කරමින් අමුවල අමරසේනයන් මෙලෙස පවසයි.
අධ්‍යාපනය
“මගේ බාල කාලය හරිම සතුටින් ගෙවුණු කාලයක්. මම මූලික අධ්‍යාපනය ලැබුයේ හංගොමුව මහා විද්‍යාලයෙන්. උසස් අධ්‍යාපනය ලැබුවේ හිදැල්ලෙන සීවලී මධ්‍ය මහා විද්‍යාලයෙන්. පාසල් වියේ දී අධ්‍යාපන කටයුතුවලට දක්ෂයි. කවියට, සාහිත්‍යයට, බුදුදහමට, විශේෂ ඇල්මක් දැක්වූවා. එනිසාම කුඩා කල පටන් පොත් පත් කියවන්නට වගේම සඟරා, පුවත්පත්වලට ලිපි ලියන්න ලොකු උනන්දුවක් තිබුණා. එකල පළ වූ කැකුළු, සීවලී, ළමා සුමග, දහම් පාසල, සිංහල බෞද්ධයා, නවයුගය ආදී පුවත්පත් හා සඟරාවලට ගද්‍ය සාහිත්‍යයෙන් වගේම පද්‍ය සාහිත්‍යයෙන් ද ලිපි හා කවි ලිව්වා. මම එලෙස යැවූ නිර්මාණ රැසක් ඒවායේ පළවුණා. මේ අතර ඡ්‍යොතිෂවේදයටත් මගේ සුවිශාල ඇල්මක් පැවැතුණා. ඡ්‍යොතිෂ පත පොත නිතර පරිශීලනය කළා. මම හිතන්නේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රය මගේ ජානවලින් ආ දෙයක්. මෙය ශාස්ත්‍රයක් ලෙස කුඩා කල සිටම හදාරන්නට මට අවශ්‍ය වුණා. එයට මම හැදී වැඩුණු පරිසරය බලපෑවා. බෞද්ධ දර්ශනය, සාහිත්‍ය කලාව පිළිබඳ මා තුළ පැවැති දැනුම ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ දැනුම උකහා ගැනීමේ දී මට අතිශය ප්‍රයෝජනවත් වූවා.” යනුවෙන් ඔහු තම අතීතය සිහිපත් කරන්නේ සතුටිනි.
අවුරුදු 16 දී පමණ අමුවල ශ්‍රී සුමනාරාම දහම් පාසලේ දක්ෂ ලෙස ඉගෙනගෙන සේවයට එක් වූ අමුවල අමරසේනයන් 1962 වසරේ දී රජයේ මධ්‍ය ලිපිකාර විභාගය සමත්ව රාජ්‍ය නිලධාරියකු ලෙස කොළඹ රජයේ බඩු ගබඩා දෙපාර්තමේන්තුවේ සේවයට එක් වන්නේය. එහි වසර 5ක් පමණ සේවය කර 1969 වසරේ දී රත්නපුර දිසාපති කාර්යාලයට එක් වන ඔහු තමාගේ සාහිත්‍ය දැනුමෙන් නිසි පළ ලබන්නේ ‘පුරහඳ’ වෙසක් සඟරාව සංස්කරණය කරමිනි. මේ කාල සීමාවේ දී සාහිත්‍යයෙන් ජයග්‍රහණ බොහොමයක් මම ලැබුවා. කාව්‍ය තරග කීපයකදීම ප්‍රථම ස්ථානය දිනා ගත්තා. 1969 සිට 1977 දක්වා රත්නපුර කාච්චේරියේ සේවය කළ සමයේ සබරගමු සාහිත්‍ය කලා සංගමය පිහිටුවීමට මුල් වී ක්‍රියා කිරීම මගේ ජීවිතයේ මතක සටහනක්. කලක් එහි ලේකම්වරයෙකු ලෙසද මා කටයුතු කළා.
ඒ වගේම මගේ සාහිත්‍ය කලාව මෙන්ම ඡ්‍යොතිෂ කටයුතු පිළිබඳව ද කෙටියෙන් වුවත් මෙහිලා සඳහන් කළයුතයි. වයස අවුරුදු 15ටත් අඩු කාලයක සිට ලිපි, කවි ලියූ මම 1993 වසරේ සිට ඡ්‍යොතිෂ පත්‍ර සඟරාවලට ඡ්‍යොතිෂ ලිපි, ඡ්‍යොතිෂ කවි ලියුවා. සුබසෙත ඒ අතර ප්‍රධානයි. දෛවය, හඳහන, ඉරහඳ, නැකත, දොමිණි සඟරාව, මෙන්ම ඉරිදා පුවත්පත්වල මගේ ඡ්‍යොතිෂ ලිපි බොහෝ ගණනක් පළ වුණා. ඇත්තටම මට අවශ්‍ය වුණේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් ජනතාව දැනුම්වත් කරන්නයි. ඒ අනුව ඡ්‍යොතිෂ ලේඛකයෙක් ලෙසත් සෙත් කවි රචකයෙක් ලෙසත් ජනතා ප්‍රසාදය මට නොඅඩුව ලැබුණා. ඡ්‍යොතිෂය හා සාහිත්‍ය වෙනුවෙන් අමුවල අමරසේන මහතා ලබා ඇති සම්මාන මෙසේය.
1. කාව්‍ය විශාරද සම්මානය - සපරගමුව පළාත් සභාව - 1998
2. සපරගමු වංශාභිමානි - සබරගමු කලා හා දිය ඇලි සංවිධානය
3. සපරපුර කවිධජ - අගනුවර තරුණ කවි සංවිධානය
4. කාව්‍ය ශිරෝමණි - ශ්‍රී දළදා මාලිගාවේ පහන්ක්‍රම සංගමය
5. ඡ්‍යොතිෂ විද්‍යාශූරී - ශ්‍රී දළදා මාලිගාව
6. ශාස්ත්‍රශූරී - ශ්‍රී දළදා මාළිගාව
7.ඡ්‍යොතිෂ නන්දන - සුබසෙත පත්‍රය
8. කලාභූෂණ රාජ්‍ය සම්මානය - 2018 සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
9. ඡ්‍යොතිෂ ඉඳුවර 2019 - සුබසෙත පත්‍රය
10. ඡ්‍යොතිර්විද්‍යා ප්‍රභාෂ්වර - දෝමිණ ඡ්‍යොතිෂ සඟරාව
ගමට කළ සේවය
මේ ප්‍රදේශයේ ආගමික ජාතික කලා සංගම් බොහෝ ගණනකට සම්බන්ධ වී සේවය කිරීමට ලැබීම මම භාග්‍යයක් කොට සලකනවා. රත්නපුර බෞද්ධ සංගමය, අමුවල විහාරයේ දායක සංගමය, මිණිපුර අග නුවර තරුණ කවි සමාජය, නිවිතිගල කවි සමාජය ආදියේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස ද යාවජීව සාමාජිකයකු ලෙස ද අමුවල ග්‍රාම සංවර්ධන සමිතියේ ගරු ලේකම් ලෙස ද සේවය කිරීමට අමුවල අමරසේනයන්ට හැකිවිය. ‘අපේ ගම තරමක් දුෂ්කරයි. අඩුපාඩු බොහොමයි. ගමනා ගමනයට තිබුණෙ අඩි පාරක්. මේ පාර අඩි 24ක් පළලට හදාගන්න වගේම බස් රථයක් ද ගමන් කරවීමට කටයුතු කරන්නට මට හැකි වුණා. තවද ගමට අවශ්‍ය අමුවල සිට ගුරු පස්ගොඩවත්ත දක්වා මාර්ගය, ළිං කීපයක් සෑදීම ආදී මාර්ග සහ ජල සම්පාදන ක්‍රම සෑදීම, ඉඩම් නැති අයට ඉඩම් බෙදාදීම ආදී බොහෝ සුබසාධන කාර්යයන්වල නියැළීමට මට හැකි වුණා. ඒ මම ඡ්‍යොතිෂවේදියකු ලෙස සමාජයට කර ඇති සේවය නිසා. ඒ වගේම 1972 දී මම හංගොමුව ජනතා කොමිටියේ සභාපති තනතුරද සාමවිනිසුරු පදවියද ලැබුවා. ගමේ පන්සලේ ප්‍රතිසංස්කරණ වැඩට හා ස්ථානයට තිබූ අඩු පාඩු සකස් කර ගැනීමට ප්‍රධාන දායකයෙක් වී කටයුතු කරන්නට භාග්‍යය ලැබුණා. මට මතකයි, 1977 වසරේ දී අනුරාධපුර දිසාපති කාර්යාලයට රාජකාරී කටයුතුවලට ගොස් සිටියදී පොසොන් හඬ නමින් පොසොන් රාජ්‍ය උත්සවය වෙනුවෙන් දහම් සඟරාවක් පළ කිරීමට සංස්කාරකත්වයෙන් එක්වූවා. 1992 වසරේ දී සිට අද දක්වා පූර්ණ කාලීනව ඡ්‍යොතිෂය කටයුතුවල නිරත වෙමින් එම කටයුතු කරගෙන යනවා. මේ ප්‍රදේශයට පමණක් නොව දිවයිනේ නොයෙක් ප්‍රදේශවලට ද මුළු රටට ද මගේ සේවය පුළුල් ලෙස ලබා දෙනවා.
අමුවල අමරසේනයන්ට දැන් වයස අවුරුදු 82කි. එහෙත් තවමත් පෙර සිට කරගෙන ආ ආගමික, සමාජයීය, කලා, ඡ්‍යොතිෂ වැඩකටයුතු ඔහු සිදු කරන්නේ සද්භාවයෙනි. ඔහු මේ වන විට සාහිත්‍ය කෘති මෙන්ම ජ්‍යෝතිෂ පත පොත ද ලියා පළකර ඇත. අමර දම්සර, අමුවල සුලමුල, දඹදිව වන්දනාව, අමර කාව්‍ය සංග්‍රහය, අතුකැට කතා, ඒ නිර්මාණ අතර වේ. ලබන වසර මුලදී දැනට මුද්‍රණයේ පවතින දහම් පොත බෙදාදීමට අදහස් කරන බව ඔහු පවසයි. සැබැවින්ම මේ අපූර්ව මිනිසාට රට දැය සමයට තව තවත් සේවය කරන්නට ඡ්‍යොතිෂය ශාස්ත්‍රය ඔස්සේ හැකිවේවායි අපි පතමු.