දරු පල ලබන්න ගුණ පිරි බත් කන්න

අප්‍රේල් 26, 2024

අපේ දේශීය ආහාරයට අනුව බත ප්‍රධාන ආහාරයයි. නිරෝගීව සිටීමට නම් ගුණාත්මක සහල් වර්ග ආහාරයට ගත යුතුය. සහල්වල ඖෂධීය ගුණය රැක ගැනීමට නම් ප්‍රථමව කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කළ යුතුයි

ඒ, වී කෙටීමේදී, පොතු ඉවත් කිරීමේ දී, සහල් සේදීමේ දී හා බත පිස ගැනීමේදී ය. මෙහිදී විශේෂයෙන් ඖෂධීය ගුණයෙන් යුත් සහල් සඳහා වූ වී ගැන ද අවධානය යොමු කළ යුතු ය. වී කෙටීමේදී සහල් ඇට නොකැඩෙන පරිදිත් කුරුට්ට ඉවත් නොවන පරිදිත් වැඩි පුර සහල් නොසෝදන ලෙසටත් වගබලා ගත යුතුය. ජලය පෙර පෙරා සහල් සේදීමෙන් එහි ගුණාත්මක භාවය අඩුවේ. සමහර සහල් දියවැඩියා සුවයටත් කුෂ්ඨ රෝග සමනයටත් සමේ පැහැයට මෙන්ම ශක්තිය ඇති කරලීමටත් සමත් වේ.

මා වී රතු පැහැති සහලක් වූ එම සහලින් බත් පිස කෑමෙන් තරබාරු බව අඩුවේ. එය නිසි ලෙස පාලනය කරගත හැකිය. දියවැඩියාව නොහොත් මධුමේහය රෝගීන්ට ද වඩාත්ම ගුණවත් වේ. මළබද්ධයට සුවයක් ගෙන දෙන අතර අර්ශස් රෝගීන්ට ද වඩාත්ම යෝග්‍ය වේ. වාජීකරණ ගුණයෙන් යුත් මා වී සහල් තෙහෙට්ටුවට මෙන්ම මත්වූවන්ට ද යහපත්ය. මා වී සහල් කැඳ ඉතාම ගුණදායකය.

මඩතවාලු වීවලින් ගන්නා ලද සහල්වල පිත් සෙම් සමනය කරන ගුණයක් පවතී.

කළු හීනටි රතු පැහැයෙන් යුත් මේ සහලින් බත්පිස ආහාරයට ගැනීමෙන් ශරීරගතව පවතින විෂ නැසීමේ පුදුම ඖෂධීය ගුණයක් පවතී. මේ සහලේ කැඳ ඉතාම රසවත් මෙන්ම ශරීරයට ගුණදායකය. කාය ශක්තිය බෙහෙවින් වර්ධනය කරයි. මළබද්ධය නැති කරන අතර දියවැඩියා පාලනයට ද හේතු වේ. කිරිදෙන මවුවරුන්ට මෙන්ම කුඩා දරුවන්ටද ඉතාම ගුණදායකය.

රත්දැල් වී රත්දැල් සහල් රෝස පැහැතිය. එම බත් ආහාරයට ගැනීමෙන් සමේ පැහැපත් බව ඇති කරයි. එමෙන්ම සමේ හට ගන්නා රෝග මර්දනයට ද දද, කුෂ්ඨ හා උෂ්ණාධික රෝග ද සමනය කරයි. මූත්‍රාශි‍්‍රත රෝග වළක්වාලන අතර මූත්‍රාගල්, පිත්තාශි‍්‍රත ගල් ඇතිවීම ද වළක්වාලන අතර ක්ෂය රෝගය, සුවනොවන හොරි, දද තුවාල ද සුවවීම ඉක්මන් කරයි. රත්හාලේ සහලින් සැකසූ කැඳ උණරෝගීන්ට දීම වඩාත්ම ගුණදායකය.

කුරුලු තුඩ නමින් ප්‍රකට සහල් මූත්‍රා ආබාධ නැති කොට සුවය ගෙන දේ. ඉතා මිහිරි රසයක් දැනෙන එය වාජීකරණයෙන් යුක්ත වේ.

පච්ච පෙරුමාල් රතු පැහැති සහලකි. දියවැඩියා පාලනයට බෙහෙවින් උදව් කෙරේ. වඩාත්ම මේ සහලේ බත දරුවන් සඳහා දීම සුදුසු වේ.

සුවඳැල් සහල් සුදු පැහැයෙන් යුත් කැකුළු සහලකි. පිසින විට අවට සුවඳ පැතිර යන ඉතා රසවත් ආහාරයකි. ශරීරයේ සමබරතාව රැකදෙන සුවඳැල් වාජීකරණ ගුණයෙන් යුක්ත වේ. කටහඩේ පවතින ගොරෝසු ගතිය නැතිකොට මිහිරි බවක් ඇති කෙරේ. කිරිබත්වලට ඉතාම යෝග්‍ය වන සහලකි.

රක්තශාලි සහල් ගැන කතා කරන විට රක්තශාලි නම් වූ රතු සහල් ද අමතක කළ නොහැකිය. රක්තශාලි බත් කෑමෙන් තුන්දොස් සමනය වේ.

බාස්මති සහල ද ඉතා ගුණදායක ආහාරයකි. පහසුවෙන් දිරවිය හැකි පෝෂ්‍යදායී ආහාරයකි. එමෙන්ම තුන්දොස් සමනය කිරීමේ ගුණයක් ද පවතී.

අපගේ ප්‍රධාන ආහාරය වූ බත, ධාන්‍ය වර්ගයන්ට අයත් වූවකි. එනම් වී ප්‍රධානතම ධාන්‍ය වර්ගයයි. එම ප්‍රධාන ධාන්‍ය වර්ගයට අයත් වූ බොහෝමයක් මේ වනවිට අභාවයට ගොස් ඇත. අද පවතින බොහෝ වී වර්ග පර්යේෂණ මඟින් ලබාගත් ඒවාය. එදා රත්ඇල්, හැටදා වී, සුවඳැල් ඖෂධීය වශයෙන් ප්‍රධාන තැනක් ගනු ලැබීය. එහෙත් වර්තමානයේදී හීනටි හාල් වැනි සහල් වර්ග ලබාගැනීමට සිදු වී තිබේ. අද අප රටේ වැඩියෙන්ම ප්‍රයෝජනයට ගනු ලබන්නේ කැකුළු සහ තම්බපු සහල්ය.

වීවල කාබෝහයිඩ්‍රේට් අධිකව අඩංගු වන අතර තෛල පදාර්ථ අඩුවෙන් පවතී. ලෝහ පදාර්ථ ඇත්තේ ද අඩුවෙනි. විටමින් බී පවතින්නේ නිවුඩු සුද්ධ පවිත්‍ර නොකළ සහල්වල පමණකි. එය ද සහල් වැඩිපුර සේදීමෙන් ඉවත් වේ. කලකට පෙර ගොඩ ඇල්, මඩ ඇල්, රත් ඇල්, වැනි වී වර්ගවලින් පිසූ බත් කෑමට හැකි වුවත් වර්තමානයේ වෙළෙඳ පොළේ ඇත්තේ ඔප දැමූ නිවුඩ්ඩ ඉවත් කරන ලද සුදු පැහැති සහල් ය. සහල් වගේම රතු පැහැති නිවුඩ්ඩ සහිත බතුත් ඇත. බත්වල ඇති තෙල් ගතිය හා සීනි හේතුවෙන් සිරුර තරකිරීමේ තත්ත්වයක් ද පවතී. රතුහාලේ බත කෑමට ගැනීමෙන් සමේ කාන්තිය වැඩි කරයි. විස වන දාහ පීඩාද නසයි. දියබත ද පෝෂ්‍යදායී ආහාරයක් මෙන්ම ඖෂධයකි.

දේශීය වශයෙන් වීවලට කියනු ලබන්නේ වී කියාමය. එයට කියනු ලබන සංස්කෘතික නාමය ශාලි වන අතර, විද්‍යාත්මක නාමය ර්‍ණපරලචඵබඪමච දෙමළෙන් අරිසි ඉංගී‍්‍රසියෙන් අඪජඥ යනුවෙනි. ඈත අතීතයේ සිට අපේ රටේ වී ප්‍රභේද කිහිපයක්ම තිබී ඇත. කුඹුරු ඇල්, කිරි නාරං, කවුඩු ඇල්, ඇදි හාල්, කළු ඇල්, කිතුල් පත් ඇල්, කලුතුරු වී, අල් වී, කළු බාල වී කහ ඇල්, උඩරට මා, කළුකඳ වී, ඌරු ඇල් කහට, මා කළු හීනටි කිරිබරු ඇල්, කළු හී ඉදිපත් ඇල් කහට ඇල් කළුවැල් ඉන් සමහරකි. කළු හීනටි සහල රතු පැහැයෙන් යුක්තය. ශරීරගත විෂ නැසීමේ බලයක් පවතී. කාය ශක්තිය වර්ධනය කරන එම සහල් මල බද්ධයට ගුණවත් වේ. කුඩා දරුවන්ගේ ආහාරයට එය වඩාත්ම සුදුසු වේ.

අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් ද ඇති පච්ච පෙරුමාල්වල ශරීරගත තුවාල සුවවීමේ ගුණයක් ද පවතී. රතු රුධිරාණු සෛල වර්ධනය කිරීමේ ශක්තියක් ද ඇති මේ සහලේ බත් ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ද යුක්ත වේ. කළු හීනටි මේ සහල් යකඩ හා සින්ක් සංයුතියෙන් ඉහළ තත්ත්වයෙන් පවතී. දියවැඩියාවටත් අක්මා රෝගවලටත් ඉතාම ගුණදායකය.

යකඩ තත්ත්වයෙන් ඉහළ කළුහීනටි සහල් දියවැඩියාවට ඉතාම ගුණදායකය. ගර්භණී මවුවරුනට මෙන්ම කිරිදෙන මවුවරුන්ට ද ඉතාම ගුණදායකය. රත්හැල් සහල් රෝස පැහැති සහලකි. මේ සහලේ බත් ආහාරයට ගැනීමෙන් සමේ පියකරු බව වැඩිවේ. දද, කුෂ්ට හා උෂ්ණාධික රෝග පාලනය කරයි. මූත්‍ර රෝග හටගැනීම වළක්වන අතර මූත්‍ර ගල් හටගැනීම ද වළක්වාලයි. කල්ගිය හා හටගෙන ඇති තුවාල සුව කිරීම ඉක්මනින් සිදු කෙරේ. රත්හාල් සහලේ කැඳ උණ රෝගීන්ට කදිම ඖෂධයකි. ශරීර ශක්තිය ලබා දෙයි. සුවඳැල් සහල් පැහෙන විට සුවඳවත් වේ. වාජීකරණ ගුණයෙන් යුක්තවන සුවඳැල් ශරීරයේ සමබරතාව ඇති කරයි. මිහිරි කටහඬක් ඇති කරයි. ගොඩ හීනටි විටමින් ඊවලින් යුක්ත වේ. ප්‍රතිශක්තිකරණ පද්ධතියට ශක්තිමත් භාවයක් ගෙන දේ. දියවැඩියාවට ස්නායුවලට හා පිළිකාවලට ගුණදායකය. ඕලු හාල් බත දියවැඩියාව රෝගීන්ට ඉතා ගුණදායකය. අක්මාවේ රෝග, වකුගඩු රෝගවලට හා පිත්තාශයේ ගල් දියකර ගැනීමට සමත් වේ.

වෙළෙඳ පොළේ අලෙවියට තබා ඇති සහලේ අලංකාරයටත් සැහැල්ලු භාවයට හා ප්‍රමාණයටත් රැවටී සහල් ගන්නා අය ද එමටය. ගුණාත්මක භාවයෙන් වැඩි සහල්වල පවතින අධික මිල නිසා ද එම සහල් ගැනීමෙන් වැළකී සිටින අයද බොහෝ ය. අපේ හෙළ සහල්වල ගුණාත්මකභාවය ගැන එතරම් දැනීමක් නොමැතිකම නිසා වෙළෙඳපොළට යන ගෘහණියෝ සම්බා, මිල්චාඩි, සුදු සහල්, කෝරා තම්බපු ආදී වශයෙන් සහල් ගැනීමට පුරුදුව සිටිති.

සමාජය වෙනදාට වඩා අද රට සහල්වලට වැඩි කැමැත්තක් දක්වන බව පෙනේ. එහෙත් සමහර සහල් බත දරුවන්ට අගුණ වී උදරාබාධවල ට ද හේතු වේ. මෙවැනි තත්ත්වයන් අපේ දේශීය සහල්වලින් සිදු නොවේ. වී කෙටීමේදී, පොතු ඉවත් කිරීමේ දී, සහල් පිස ගැනීමේදී එහි ගුණාත්මකභාවය ඉවත් නොවන අයුරින් සිදුකර ගත යුතුය. බතක් පිස ගන්නා විට කැඳ උතුරායාමෙන් බතේ ගුණාත්මකභාවය අඩුවේ.

රත්පිත් දොස් නසා ශරීරය ශක්තිමත්භාවයට පත් කෙරෙන කිරිබත අනෙකුත් බත්වලට වඩා විශේෂත්වයක් ගෙන දෙන බතකි. සෑම සුබ කටයුත්තකදීම පිසිනු ලබන කිරිබත ද පුද පූජාවලදී ප්‍රධාන තැනක් ගනු ලබයි. විධිමත්ව කිරිබත පිසගනු ලබන්නේ හොඳින් සෝදාගත් සහල්වලට විශේෂයෙන් ගනු ලබන රතු පැහැති කැකුළු සහල්වලට ජලය නොදමා පොල්කිරි පමණක් දමා සාදා ගැනීමෙනි. එම කිරිබත පොල්කිරිවල සහ අලුත් සහල්වල තෙල් ගතිය නිසා තෙල් ගතියෙන් යුක්ත වේ. සමහරුන්ට කිරිබත් කෑමෙන් නිදිමත ගතියක් ඇතිවේ. කිරිබත රසායන ඖෂධයක් බව පැරැන්නෝ පවසති. කිරිබතෙහි බතට වඩා ගුණ අටක් ඇති බවත් එය පෝෂණ ගුණයෙන් ඉහළ බවත් පෙන්වා දී ඇත. ඇසට වඩාත්ම හිතවත් කිරිබත බලය හා ශක්තිය වර්ධනය කරයි. රජ දවස කිරිබත සකස් වූයේ අද මෙන් පොල්කිරි පමණක් දැමීමෙන් නොව ගිතෙල්, මී පැණි හා උක් සකුරු ද එක් කිරීමෙනි. එමෙන්ම මුං පියලි එක් කිරීමක් ද විය.

කිරිබතට උක්සකුරු මුසු කිරීමෙන් මූත්‍රා පිරිසුදු කොට වා, පිත්, දොස් නසයි. ධාතු පෝෂණය කරවයි. පිපාසය සංසිඳුවයි.

 

 

මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.