හිතටත් ගතටත් සුවදෙන මුරුංගා

නොවැම්බර් 29, 2024

“මොකද. පුතා. මේ පැත්තෙ. අසනීපයක් වත්ද?”

“අසනීපයක් නම් නැහැ. වෙදමාමෙ.මම මාමා හමුවෙන්න ආවේ මට විශ්වවිද්‍යාලයේ නිබන්ධනයකට කරුණු ටිකක් දැනගන්න”

“හොදයි පුතා මොනව ගැනද දැනගන්න ඕනෑ? පුළුවන් දෙයක් නම් කියල දෙන්නම්.”

“වෙදමාමෙ. මට මුරුංගාවල තියෙන ඖෂධීය වටිනාකම ගැන තමයි විශේෂයෙන් දැනගන්න ඕනෙ.”

“පුතා දන්නවානේ... මුරුංගා කියන්නෙ අගනා ඖෂධාහාරයක්. ශ්‍රි ලංකාවේ වියළි කලාපය තුළ බොහෝ සෙයින් ඵලදරන ශාකයක් විදියට මුරුංගා ශාකය හදුන්වන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ගෘහණියන් ඉස්සන් පිසින වෙලාවට ඉස්සන්ගෙ සැර ගතිය අඩු කරන්නත් ව්‍යංජනය රසවත් කරන්නත් මුරුංගා කොළ එකතු කරනවා

ඒ වගේම තමයි උණ සනීප වුණාට පස්සෙ මුරුංගා කරල් ගත්තාම ශරීරයේ ශක්තිජනක බව ඇති කරනව වගේම ආහාර හොඳීන් දිරවීමත් සිදුවෙනවා.”

“එතකොට වෙද මාමේ... මුරුංගා අපේ රටේ විතරයි ද වැවෙන්නෙ?”

“නැහැ පුතා විදෙශීය රටවලත් හොඳින් වැවෙනවා.

බටහිර හිමාල වනාන්තරවල දකින්න ලැබෙනවා. ඒ වගේම ඉන්දියාව... මියැන්මාරය... මලයාව... පිලිපීන දූපත්... නැඟෙනහිර අප්‍රිකාව ආදී රටවල දකින්න පුළුවන්...

ඒ වගේම ශ්‍රී ලංකාවේ වියළි කළාපීයව විශේෂයෙන් යාපනය... මන්නාරම... පුත්තලම වගේ ප්‍රදේශවල සුලභව දකින්න ලැබෙනවා.

ඒ වගේම පුතා දන්නවා නේ මුරුංගා ගහ ගැන

සාමාන්‍යයෙන් මේ ගස් ශක්තිමත් බවෙන් අඩුයි නෙ. මීටර් 8 ක් විතර උසට වැවෙනවා. මේ ගස්වල පොත්ත කිරල ලියක් වගේ තද සුදු පාටින් යුක්ත ලීයක්. මුරුංගා අතුවල හැදෙන කිනිතිවල කොළ 3 බැගින් එකට තියෙනවා. මේ කොළ සෙ.මී.1-2 ක් විතර දිගයි. ඒ වගේම සුදු පාට මල්වලින් යුක්තයි. මුරුංගා කරල් සෙ.මී. 15-30 විතර දිගයි. ඒවා ගසේ එල්ලෙමින් පවතිනවා. ඒවා ඇතුළෙ තියෙන බීජ ත්‍රිකෝණාකාර පියාපත් වගේ.”

“එතකොට වෙද මාමේ මුරුංගාවලට කියන වෙනත් නම් මොනවද?”

‘පුතා. පොදු සිංහල නාමය වන්නේ මුරුංගාමයි.

සංස්කෘත භාෂාවෙන්

ශෝභාංජන, ශිග්‍රැ, කටුශිග්‍රැ, මධුශිග්‍රැ, තිලශිග්‍රැ, තීක්ෂණ මූල, තීක්ෂණ ගන්ධ, සුපත්‍රක, හරිත ශාක ආදී නාමයන් යෙදෙනවා.

හින්දි භාෂාවෙන්

සභිජන සහ සුතගා යන නම් යෙදෙනවා

දෙමළ භාෂාවෙන්

මුරුංගායි..අවුරම්..සහ සුතගා යන නම් යෙදෙනවා

ඉංග්‍රීසි භාෂාවෙන්

 Drum Stick Plant..

Drum Stick Tree
Indian Horse Radish
යන නාමයන් යෙදෙනවා.

මුරුංගාවල උද්භිද විද්යාත්මක නාමය,

 Moringa oleifera Lam වන අතර

කුලය වන්නේ

MORINGACEAE හෙවත් ශොභාංජන කුලයයි.

ඒ වගේම පුතා මුරුංගාවල පොතු... මුල්... කරල්... මල්... කොළ... බීජ.... ඖෂධ සඳහා ප්‍රයෝජනයට ගනු ලබනවා.”

“එතකොට වෙද මාමේ මුරුංගාවල වර්ග කීපයක් තියෙනවද?”

“ඔව් පුතා. මල්වල පාට අනුව ප්‍රභේද 3 ක් තියෙනවා.

1 ශ්වේත ශිග්‍රැ (සුදු මල්)

2රක්ත ශිග්‍රැ ( රතු මල්)

3 නීල ශිග්‍රැ ( නිල් මල්) වශයෙන්

පොදු වශයෙන් සුදු මල් සහිත වර්ගය ප්‍රයෝජනයට ගනු ලබනවා.”

“එතකොට වෙද මාමේ මුරුංගාවල පෝෂණීය තත්ත්වය ගැන මොනවද කියන්න තියෙන්නෙ?”

“මුරුංගාවල පෝෂණය ගැන සැලකුවාම පුතා

මුරුංගා කොළ සහ කරල් ආහාරයට යොදා ගන්නවා. මුරුංගා කරල් සැහැල්ලු ආහාරයක්. මෙයින් වාතය හා සෙම සමනය කරනවා. ඒ වගේම ආහාර රුචිය වැඩි කරන එළවළුවක්. බඩගිනි වැඩි කරන සහ ආමය පැසවන ගුණ මෙහි තියෙනවා. ඒ නිසා දහඩිය වඩනවා. එයින් උණ සමනය වෙනවා.

එසේම මුරුංගා කරල්වල කාබෝහයිඩ්‍රේට් හා සීනි අඩුයි. පණු අමාරු, බඩේ අමාරු, මූත්‍රගල්, පීනස ආදියටත් ගුණයි. ඒ වගේම මුරුංගා කොළ ආහාරයට ගත්තාම පෙනීම වැඩි වෙනවා වගේම ශරීරයේ බලය වැඩි කරනවා.

“ගෙදර ගිහින් මේ පොතේ වගුව බලන්න මුරුංගාවල පෝෂණීය තත්ත්වය හොදින් දක්වල තියෙනවා.”

“ස්තූතියි වෙද මාමේ මම පොත ආපහු ගෙනත් දෙන්නම්. කොහොමද වෙදමාමෙ එතකොට මුරුංගා වල ඖෂධීය ගුණාගුණ?”

“මුරුංගා රසයෙන් කටුකයි.

ගුණයෙන් ලඝු ..රූක්ෂ...තීක්ෂණ හා සර ගුණයෙන් යුක්තයි.

වීර්යයෙන්. උෂ්ණයි.

විපාකයෙන් කටුකයි.

දෝෂ අනුව සැලකුවාම සෙම සහ වාතය සමනය කරනු ලඛනවා

ඒ නිසා පුතා මුරුංගා ශරීරයේ හොඳීන් ක්‍රියා කරන ඖෂධ ආහාරයක්.

බාහිර වශයෙන් ගත්තාම

මුරුංගා පොතු හා කොළ දැවිලි ඉදිමුම් නසන සහ තුවාල පැසවන ගුණ යුතුයි.

මුරුංගා ඇට චූර්ණය නස්‍යය ශිරෝ විරේචන ගුණ යුතුයි.

බීජ තෙල වේදනා සමන සහ ඉදිම‌ු‌ම් සමන ගුණ යුතුයි.

අභ්‍යන්තර වශයෙන් ගත්තාම

ස්නායු උත්තේජන ගුණ යුතුයි. ආමාශ..අන්ත්‍ර..සහ ශ්වාස නාලිකාවල ස්වරතන්ත්‍ර පේශිවල දැඩි ගතිය අඩු කරනවා. මේ නිසා ස්නායු දුබලතා.. පක්ෂාඝාත..අර්දිත..ආදියෙදි ප්‍රයෝග කරනු ලබනවා. ඒ වගේම වේදනා නාශක සහ පණුවන් නසන ගුණ යුතුයි.

රතු මල් සහිත මුරුංගා වර්ගයේ මල්වල මීපැණි සමාන සුවඳ නිසා මධුශිග්‍රැ නම් වෙනවා. මෙනිසා මෙය බඩගිනි අඩුකම . අජීර්ණ අරුචිය.. වේදනා.. ගුල්ම.. උදර රෝග, පණු රෝග ආදියට යොදනු ලබනවා.

ඒ වගේම මුරුංගාවල හෘද උත්තේජන ගුණ යුක්තයි. රුධිර පීඩනය වැඩි කරනවා. ඉදිමුම් සමනය කරනු ලබනවා. මේ නිසා හදවත් දුබලතා සහ ඉදිමුම් අවස්ථාවලදී යොදනු ලබනවා.

එසේම මුරුංගාවල සෙම නසන ගුණ තියෙන නිසා කැස්ස අවස්ථාවලදී යොදනු ලබනවා.

මුරුංගා කොළ කෂාය බීමෙන් ඇදුම හා හික්කාව නිවාරණය වෙනවා.

මුරුංගාවලින් වක‌‌‌ගඩු උත්තේජනය කරනවා. ඒ වගේම මූත්‍ර ප්‍රමාණයත්, මූත්‍රවල ක්ෂාරතාවයත් වැඩි කරන නිසා. මූත්‍ර කෘච්ජ්‍ර... මූත්‍ර අම්ල අධික බව ආදියෙදී උපයෝගී කර ගනු .ලබනවා.

එසේම මූත්‍ර ගල් ආදියට මුරුංගා මුලේ පොතු කෂාය යොදනු ලබනවා.

ඒ වගේම ආර්තව වැඩි කරන ගුණ මුරුංගාවල තියෙන නිසා ඔසප් වේදනා සඳහා යොදා ගනු ලබනවා. සූතිකා උණ....ගර්භාෂගත වේදනා.. ශීතල සන්නි අවස්ථාවලදී මුරුංගා පොතු හෝ මුල් යුෂ, මාත්තු පහ වැනි දේශීය ගුලිවල අනුපාත විදිහට යොදා ගනු ලබනවා.”

“එතකොට වෙද මාමේ මුරුංගා අඩංගු ඖෂධ යෝග මොනවද තියෙන්නෙ?”

“පුතා මුරුංගා අඩංගු ඖෂධ යෝග ගොඩක් තියෙනවා.

කන් කැක්කුමට

1මුරුංගා ගහේ ලාටු කන වටේ ගානවා

2 මුරුංගා මුල් යුෂයට මීපැණි.. තලතෙල්.. සහ සහිඳලුණු දමා රත් කරල කනට දැම්මාම වේදනාව සමනය වෙනවා

හිසේ කැක්කුමට

1 මුරුංගා බීජ චූර්ණය නස්‍යය කරනු ලබනවා

2 මුරුංගා ලාටු (ගම්) එලකිරි සමග අඹරා හදාගත් තලපය නළල දෙපැත්තෙ ආලේප කරනවා

සැරව සහිත ගෙඩි පිපිරීමට

මුරුංගා පොතු යුෂයෙන් පෙරුංකායම් හා සහිඳලුණු අඹරා ගෙඩියේ ආලේප කරනවා

අණ්ඩ වෘද්ධියට

මුරුංගා කොළ අඹරා ගත් කල්කය රත්කර ගානවා.

දත් කැක්කුමට

මුරුංගා පොතු යුෂ දත් කූහරයට දමනවා

කණ මුල ඉදිමුමට

මුරුංගා පොතු හා අබ අඹරා ගත් ලේපය රෙදි කැබැල්ලක ගා ඒ රෙදි කැබැල්ල කණ ළග තබනවා

වායුගෙඩිවලට

මුරුංගා මල් ලුණු සමග අඹරා ආලේප කරනවා

වාත රක්තයට

මුරුංගා ඇට තෙල් හා රටකජු තෙල් සමව අරගෙන මිශ්‍රකර ගානවා

බල්ලන් සපා කෑවාම

මුරුංගා කොළ හුණු සමඟ අඹරා ගානවා

වාජීකරණ ඖෂධයක් ලෙස

මුරුංගා මුල්.. එළකිරි සමග තම්බා අඹරා යොදනවා

සන්නිපාතජ ඇස් රෝගවලට

මුරුංගා කොළ යුෂ හා මීපැණි සමභාගව ගෙන ඇසට එළීමෙන් වේදනා සමනය වෙනවා

ඉතින් පුතා මේ වගේ ඖෂධ යෝග ගොඩාක් තියෙනවා.”

“එතකොට වෙද මාමේ මුරුංගාවල ඖධාංග අඩංගු සංස්කාරිත ඖෂධත් තියෙනවද?”

ඔව් පුතා කීපයක් ම තියෙනවා

මුරුංගාදී ලේපය, මුරුංගා පැණිය, මුරුංගා පොතු තෛලය, මුරුංගා ඇට තෛලය, මුරුංගා මුල් ආදි ලේපය, රාෂ්නා ශිග්‍රැ ක්වාථය වැනි මේ ඖෂධ ඉන් ප්‍රධාන වෙනවා.

ඒ වගේම පුතා වාත රෝගවලට තැවීමට ගනු ලබන වායු භංග පොට්ටනිය සඳහා මුරුංගා මුල් හා ඇට ගන්නවා. එසේම උණ රෝගයේදී යොදා ගන්නා ප්‍රකට ඔසුවක වන සුදර්ශණ චූර්ණයට මුරුංගා ඇට ගන්නවා. සර්ව විෂාදි තෙල්වලට මුරුංගා කොළ සහ පොතු යොදා ගනු ලබනවා. ශුෂ්ක මූලාදී තෙල් සඳහා මුරුංගා මුල් යොදා ගන්නවා. ඒ වගේම සීතාරාම..වර්තිකාව..මාත්තු පහ ආදී දේශීය ගුලි වර්ග වලදී යොදනු ලබන දලුඅනුපාන වල එක් උපාදානයක් වන්නේත් මුරුංගායි. මෙන්න මේ නිසා පුතා මුරුංගා කියන්නෙ අගනා ඖෂධාහාරයක්.”

“ඔව්. වෙදමාමෙ මට මේ ගැන හොදට තේරුණා. මට මේ තොරතුරු ටික කියල දුන්නට වෙදමාමට ගොඩක් ස්තුතියි.”

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.